Tuesday, October 18, 2011

මුරලි නැතුව තවත් ටෙස්ට් තරග පරාජයක්ද? නැතිනම් එය වෙනස්කල හැකිවේද?

තමන්ට සුපුරුදු තණතීරුවල ක්‍රීඩා කිරීමේදී කණ්‌ඩායමකට භූක්‌ති විඳිය හැකි වාසියට කිසිදු කණ්‌ඩායමක්‌ හිමිකම් නොකියන ශ්‍රී ලංකා - පාකිස්‌තාන ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරනු ලබන පළමු ටෙස්‌ට්‌ තරගය අද (18 දා) අබුඩාබිහි ෂෙයික්‌ සහීඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.30 ට ආරම්භ වේ.

ෂෙයික්‌ සහීඩ් ක්‍රීඩාංගණයේදී මීට පෙර පාකිස්‌තාන කණ්‌ඩායම සහ දකුණු අප්‍රිකාව අතර එක්‌ ටෙස්‌ට්‌ තරගයක්‌ පමණක්‌ පවත්වා ඇති බැවින් එම තරගය මත පදනම්ව තණතීරුව පිළිබඳව ස්‌ථීර නිගමනයකට පැමිණීම එතරම් කාලෝචිත නොවේ. එහෙත් නිරන්තරයෙන්ම වියළි කාලගුණික තත්ත්වයක්‌ මෙන්ම පැවැති එකම සහ පළමු තරගයේදීම දෙපිළම ලකුණු 400 ඉක්‌මවා ලබා ගැනීමට සමත්වූ බැවින් මෙම තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය බව අනුමාන කෙරේ.

මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමේ තරගය වූ ගාල්ලේදී පැවැති තරගය ජය ගැනීමෙන් පසු මෙතෙක්‌ සහභාගි වූ තරග 11 දීම ටෙස්‌ට්‌ තරග ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම අපොහොසත්ව සිටියි. එමෙන්ම ටී. එම්. ඩිල්ෂාන් නායකත්වයට පත්වීමෙන් පසු නායකත්වය ලබා දුන් තරගාවලි ද්විත්වයේදීම (එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව) පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකා පිල අද ආරම්භ වන තරගාවලියට පිවිසෙන්නේ වසර 2 කට අධික කාලයක්‌ තිස්‌සේ වාර්තා කිරීමට නොහැකිව තිබූ ටෙස්‌ට්‌ තරග ජය ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතිවය.

ප්‍රතිවාදී රටවල් පාකිස්‌තානයේදී තරග වැදීම ප්‍රතික්‍ෂේප කිරීම මත පාකිස්‌තාන පිල ටෙස්‌ට්‌ තරග හිඟයකට මුහුණ දී සිටියත් අවසන් වරට සිම්බාබ්වේ සමග පැවැති ටෙස්‌ට්‌ තරගය ජය ගැනීමට සමත්වීම මත අද ආරම්භ වන තරගාවලියට ඔවුන් පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.

ටෙස්‌ට්‌ කණ්‌ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ඉහළ ස්‌ථානයකට පැමිණීමට ඇති හැකියාව මත මෙම තරගාවලිය දෙපිළටම බෙහෙවින් වැදගත් වේ.

ශ්‍රේණිගත කිරීම්හි පස්‌වැනි ස්‌ථානයේ සිට මෙම තරගාවලියට අවතීර්ණ වන ශ්‍රී ලංකා කණ්‌ඩායම(ප්‍රසාද ලකුණු 103), තරගාවලියේ ජය අත්කර ගැනීමට සමත් වුවහොත් ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්‌ථානය දක්‌වා ඉදිරියට පැමිණීමට අවස්‌ථාව උදාවනු ඇත. ප්‍රසාද ලකුණු 94 ක්‌ ලබා එහි හයවැනි ස්‌ථානයේ පසුවන පාකිස්‌තානු පිල මෙම තරගාවලිය ජය ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාව අභිබවා පස්‌වැනි ස්‌ථානය දක්‌වා ඉදිරියට පැමිණෙනු ඇත.ටෙස්‌ට්‌ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්‌ථානයට පැමිණීමට සමත් වූ හිටපු නායක කුමාර් සංගක්‌කාර, අවසන් තරගාවලි කිහිපයේදී කැපී පෙනෙන තරමේ දක්‍ෂතා දැක්‌වීමට අපොහොසත් වීම හේතුවෙන් මේ වන විට එම පස්‌වැනි ස්‌ථානය දක්‌වා පහත බැස තිබේ. මෙම තරගාවලියේදී හෙතෙම පිත්තෙන් දස්‌කම් දැක්‌වීමට සමත් වුවහොත් එහිදී අංක 02 ස්‌ථානය දක්‌වා පැමිණිමට අවස්‌ථාව උදා වී තිබේ.

මෑත කාලයේදී කණ්‌ඩායමෙන් ඉවත් කර සිටි ෂොයෙබ් මලික්‌ නැවතත් කණ්‌ඩායමට එකතු වීම මත පාකිස්‌තානු කණ්‌ඩායමේ ශක්‌තිය තවත් වර්ධනය වී ඇති බැවින් එහිදී තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන ප්‍රධාන අභියෝගය වන්නේ එතරම් අත්දැකීම් අඩු පන්දු යවන්නන්ගෙන්, පාකිස්‌තානු කණ්‌ඩායමේ කඩුලු 20 දවා ගැනීම වේ.

එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායම සතු ප්‍රබලම පන්දු යවන්නා රංගන හේරත් වන අතර ඔහු හැර සෙසු පන්දු යවන්නෝ පසුගිය තරගවලදී එතරම් සාර්ථකත්වයක්‌ පෙන්නුම් කිරීමට අපොහොසත් වූහ.

ඔස්‌ටේ්‍රලියාව සමඟ පැවැති තරගාවලියේදී ටෙස්‌ට්‌ වරම් ලද ශමින්ද එරංගද ආබාධයකට ලක්‌වී කණ්‌ඩායමෙන් ඉවත් වීම මත අද තරගයේදී ඔහුගේ ස්‌ථානය බොහෝ දුරට නුවන් ප්‍රදීප්ට හිමිවීමට ඉඩ තිබේ. ලසිත් මාලිංගගේ පන්දු යෑවීමේ ඉරියව්වට සමාන ඉරියව්වක්‌ සතු නුවන් ප්‍රදීප් අද දිනයේදී ටෙස්‌ට්‌ වරම් දිනාගත හොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ වරම් දිනූ 119 වැනි ක්‍රීඩකයා බවට පත්වනු ඇත.

මෙම තරගාවලිය මහේල ජයවර්ධනටද ඉතා සුවිශේෂී තරගාවලියක්‌ වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ ලකුණු 10,000 සීමාව පසු කළ පළමු පිතිකරුවා වීඹට ආසන්නව සිටින හේතුවෙනි. මේ වන විටත් ටෙස්‌ට්‌ තරග 122 ක්‌ නියෝජනය කර ඇති ජයවර්ධන මුලු ලකුණු 9852 ක්‌ රැස්‌ කරගෙන සිටින අතර ඔහුට ලකුණු 10,000 සීමාව පසු කර යැමට තවත් ලකුණු 148ක්‌ අවශ්‍යව ඇත.

1 comment:

  1. මේ පාර සමරවීරත් නැති එකේ.. මහේලටයි සංගටයි ඩිල්ෂාන් ටයි බැරි වුණොත් සොරි වෙයි නේද? මුරලි, වාස් නැති අඩුව නං කියලා වැඩක් නෑ..

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්