Wednesday, October 26, 2011

පාකිස්තානයට අවුරුදු 5කින් නෑ ලංකාවට තරග 12 කින් ජයක් නෑ අද මොනවා වෙයිද?

ටෙස්‌ට්‌ තරග 12 කට පසුව ජයග්‍රහණයක්‌ බලාපොරොත්තුවෙන් ලතවෙන ශ්‍රී ලංකාව අද (26 දා) පාකිස්‌තානය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සහභාගි වෙයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙ.ව. 11.30 ට ආරම්භ වන අතර සී.එස්‌.එන්. නාලිකාව ඔස්‌සේ තරගය සජීවි විකාශය කෙරේ.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ ටෙස්‌ට්‌ තරග 12 තුළදී පරාජයන් තුනක්‌ ලබා ඇති අතර එහිදී එකදු ජයග්‍රහණයක්‌ හෝ ලබාගැනීමට අපොහොසත් වී තිබේ. ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්‌ට්‌ ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට සමත් වූයේ ඉකුත් වසරේ ඉන්දියාවට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදීය. එම තරගය මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමේ තරගයද විය.

දෙරට අතර පැවැති පළමු ටෙස්‌ට්‌ තරගය විසඳුමකින් තොරව නිමා වුවද එහිදී කණ්‌ඩායම් දෙකේ සිදුවූ වැරැදි හඳුනාගනිමින් අද පැවැත්වෙන තරගයට අවතීර්ණ වන බව කණ්‌ඩායම් දෙකේම විශ්වාසය වී තිබේ.

"දින පහේ තරග ක්‍රීඩා කරන හැමෝම කණ්‌ඩායම වෙනුවෙන් කුමක්‌ හෝ විශේෂ දෙයක්‌ කළ යුතුයි. විශේෂයෙන් ටෙස්‌ට්‌ තරගයක පළමු ඉනිම ඉතාම විශේෂයි. පළමු ඉනිමේදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියොත් තරගය බේරා ගන්න ගොඩක්‌ අමාරුයි. නමුත් අපි පළමු ටෙස්‌ට්‌ තරගයේ පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිහිල්ලත් තරගය විසඳුමකින් තොරව නිමා කර ගැනීම, අද තරගයේදී කණ්‌ඩායමේ මානසිකත්වය ඉහළ දමන්නක්‌ වී තිබෙනවා. විශේෂයෙන් අපේ නවක පන්දු යවන්නන්ට විශ්වාසයෙන් පන්දු යවන්න නම් පිතිකරුවන් විදිහට ලොකු ලකුණු ගණනක්‌ ලකුණු පුවරුවේ පෙන්වන්න ඕන." යනුවෙන් ඩිල්ෂාන් අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වයි.

පිතිකරුවකු ලෙස පසුබෑමකට ලක්‌ව සිටින ඩිල්ෂාන් එහිදී අද තරගයේදී තමාගේ දායකත්වය පිළිබඳව අදහස්‌ දක්‌වමින් "මම පෞද්ගලිකව විශ්වාස කරනවා. අද තරගයේදී ලකුණු අතරට පැමිණෙන්න පුළුවන් කියල. මැද පෙළ පිතිකරුවකු විදිහට කණ්‌ඩායමට ලබා දිය යුතු ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට හැකි වෙතැයි මම විශ්වාස කරනවා" යනුවෙන් පැවසීය.

පළමු ටෙස්‌ට්‌ තරගය ජය ගැනීමට බොහෝ අවස්‌ථාවක්‌ තිබුණත් තරග විසඳුමකින් තොරව නිමා වූයේ තම පන්දු යවන්නන් තීරණාත්මක උඩපන්දු හයක්‌ අතහැරීම බව පාකිස්‌තාන් පුහුණුකරු මොෂින් ඛාන් මේ අතර පවසයි.

"පළමු තරගය අපට ජය ගන්න බැරි වුණේ පන්දු රැකීම දුර්වල වූ නිසා. ඒත් පිතිහරඹය සහ පන්දු යෑවීම උසස්‌ මට්‌ටමේ තිබුණා. අපි මේ තරගයට එන්නෙ පන්දු රැකීම පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කරලා. පළමු තරගයේ ස්‌ලිප් ස්‌ථානයේ තවුෆික්‌ උමාර් අතින් උඩපන්දු කිහිපයක්‌ අතහැරුණා. ඔහුගේ අතේ ඇඟිල්ලක සුළු ආබාධයක්‌ තිබුණ නිසා එහෙම වෙන්න ඇති. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ එවැනි දේවල් වෙනවා. නමුත් ආබාධයක්‌ තියෙන විට පන්දු යවන්නන් මාරු කරමින් ස්‌ථානගත කිරීම අවශ්‍යයි." යනුවෙන් මොෂින් ඛාන් සඳහන් කරයි. පාකිස්‌තාන කණ්‌ඩායම අවසන් වරට 2006 දී අස්‌ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් අනතුරුව ගෙවුණු වසර 5 කට අධික කාලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්‌ට්‌ ජයක්‌ ලැබීමට අපොහොසත් වී තිබේ. ශ්‍රී ලංකාව අවසන් වරට 2009 දී එස්‌.එස්‌.සී ක්‍රීඩාංගණයේදී පාකිස්‌තානය ටෙස්‌ට්‌ තරගයකදී පරාජය කිරීමට සමත්ව ඇත.

අද තරගය පැවැත්වෙන අබුඩාබි ක්‍රීඩාංගණයේ තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇති එකම ටෙස්‌ට්‌ තරගය පාකිස්‌තානය සහ දකුණු අප්‍රිකාව අතර ඉකුත් 2010 වසරේ පවත්වා තිබේ. එම තරගය විසඳුමකින් තොරව නිමා වුවද දෙපිළම කඩුලු 18 ක්‌ දැවී ලකුණු 1386 ක්‌ ලබා තිබීම මත මෙම තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක්‌ ලෙස නිගමනයකට පැමිණිය හැක.

ශ්‍රී ලංකා පිතිකරු මහේල ජයවර්ධන මෙම තරගයේදී ලකුණු 116 ක්‌ ලබාගතහොත් ඔහු ටෙස්‌ට්‌ ලකුණු දස දහස (10000) සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා මෙන්ම එවැනි දස්‌කමක්‌ කළ ලොව 9 වැනි ක්‍රීඩකයා වීමේ භාග්‍ය ලබනු ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක්‌ ටෙස්‌ට්‌ ලකුණු 10,000 ක්‌ වාර්තා කිරීමට කිසිම ක්‍රීඩකයකු සමත්වී නොමැත.

පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එක්‌ වෙනස්‌කමක්‌ පමණක්‌ අද තරගයේදී අපේක්‍ෂා කළ හැක. එහිදී නුවන් ප්‍රදීප් වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක සුරාඡ් රන්දිව් ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී. යම් හෙයකින් රන්දිව් ක්‍රීඩා නොකළහොත් ඒ වෙනුවට ධම්මික ප්‍රසාද් හෝ කෝසල කුලසේකර ක්‍රීඩා කිරීමේ අවස්‌ථාවක්‌ ඇති බවද නිල නොලත් ආරංචි මාර්ගවල සඳහන් වේ.

පළමු තරගයට ක්‍රීඩා කළ පාකිස්‌තාන් කණ්‌ඩායම අද තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී.

අද තරගයට ක්‍රීඩා කිරීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්‌ඩායම - තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස්‌, ප්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, සුරංග ලක්‌මාල්, චානක වෙලගෙදර, නුවන් ප්‍රදීප් හෝ සුරාඡ් රන්දීව්.

පාකිස්‌තානු කණ්‌ඩායම - ඉම්රාන් µර්හත්, මොහොමඩ් හෆිස්‌, යුනිස්‌ ඛාන්, මිස්‌බා උල් හක්‌(නායක), අසීස්‌ චීමා, ෂොයෙබ් මලික්‌, අද්නන් අක්‌මාල්, උමාර් ගුල්, වහාබ් රියාස්‌, අබ්දූර් රෙහෙමාන් සහ සයීඩ් අඡ්මාල්.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්