Tuesday, November 1, 2011

ඇසේ සුද නිසා වන අන්ධ බව ඉවත් කල හැකියි

මෙවර ලෝක දෘෂ්ටි දිනයේ තේමාව "ඇසේ සුද නිසා ඇති වන අන්ධ භාවය වළක්‌වා ගනිමු" යන්නයි. අන්ධභාවය අද ලෝකයට ම ප්‍රධාන ගැටලුවක්‌. සැම තත්පර 12කට වරක්‌ ලෝකයේ කොතැනක හෝ කෙනෙක්‌ අන්ධ භාවයට පත් වෙනවා. අන්ධ භාවයට පත් අවුරුදු 50ට වැඩි අය ගෙන් සියයට 82ක්‌ ඇසේ සුද නිසා අන්ධ වූ අයයි.මේ අනුව ලොව පුරා මිලියන 39ක්‌ පමණ දෙනා විවිධ හේතු නිසා අන්ධ භාවයට පත් වී සිටිනවා. මේ අය ගෙන් සියයට 80කට කවර හෝ ප්‍රතිකාරයක්‌ කළ හැකියි. ලෝකයේ මිලියන 18ක්‌ දෙනා ඇසේ සුද නිසා අන්ධ වූ අයයි." යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල පැවසී ය.
පසුගිය 10 වැනි දින ලෝක දෘෂ්ටි දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය මහීපාල, "ලෝක සෞඛ්‍ය සංවිධානය වසර 1999 දී අයි. ඒ. ඒ. පී. කියන සංවිධානය සමග එකතු වෙලා විෂන් 2020 කියන වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙහි අරමුණ වසර 2020 වන විට වළක්‌වාගත හැකි අන්ධභාවය වළක්‌වා ගැනීමයි. කලකට පෙර කළ පුරෝකථනයකට අනුව වර්ෂ 1980 දී ලෝකයේ මිලියන 30ක්‌ අන්ධභාවයට පත් වී තිබෙනවා. වර්ෂ 1990 දී මෙය මිලියන 38ක්‌ වූ අතර වසර 2000 වන විට මිලියන 45 වේ යෑයි සිතුවත් ප්‍රමාණයෙන් අඩු වීමක්‌ පෙන්නුම් කරනවා. හේතුව විෂන් 2020 වැඩසටහන ක්‍රියාත්මක වීමයි. මේ හේතුවෙන් වසර 2010 වන විට ලෝකයේ බිලියන 76ක ජන කොටසක්‌ අන්ධභාවයට පත් වේ යෑයි සිතුවත් එහි අඩු වීමක්‌ පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාවෙත් ඇසේ සුද නිසා අන්ධභාවයට පත් වන්නන් සිටිනවා.
අන්ධභාවයට බලපාන ප්‍රධාන හේතු අතර, ඇසේ සුද, ග්ලුකෝමාව, ළමා වියේ අන්ධ බව, දෘෂ්ටි අබාධ, දියවැඩියාව, අක්‍ෂි ආබාධ හේතු වෙනවා. ඇසේ සුද රජයේ රෝහලක අක්‍ෂි ඒකකයෙන් සැත්කමකින් ඉවත් කළ හැකියි. ශල්‍යකර්මයකින් සුද ඉවත් කර කෘත්‍රිම කාචයක්‌ තැන්පත් කිරීමෙන් පෙනුම යථා තත්ත්වයට පත් කළ හැකියි. රජයේ රෝහල්වල වසරකට සැත්කම් 75000ක්‌ පමණ සිදු කරනවා. උතුරුමැද පළාතේ පසුගිය මාස කීපය තුළ සැත්කම් 500කට වඩා ප්‍රමාණයක්‌ සිදු කළා. වසර 2010 දී විෂන් 2020 වැඩ සටහනට ශ්‍රී ලංකාව අත්සන් කළා. එතැන් සිට මේ කාලය තුළ විෂන් 2020 වැඩසටහන යටතේ අක්‌ෂි ඒකකවලට අවශ්‍ය ශල්‍ය උපකරණ සැපයීම හා එමගින් ඇසේ සුද ඉවත් කිරීම සඳහා රිඡ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් මිලියනයක්‌ වැය කළා.
රත්නපුර, අම්පාර, දික්‌ඔය මොණරාගල, කල්මුනේ සහ යාපනය යන රෝහල් සඳහා පමණක්‌ රුපියල් ලක්‌ෂ 17ක මුදලක්‌ වැය කළා. නව අක්‍ෂි ඒකක ඉදි කිරීම හා වැඩි දියුණු කිරීම තුළින් ඇසේ සුද ඉවත් කිරීම සඳහා කන්තලේ, බලපිටිය, කෑගල්ල, හොරණ, රිඡ්වේ ආර්යා ළමා රෝහල, යාපනය මන්නාරම, දික්‌ඔය යන රෝහල් සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 137ක්‌. රිඡ්වේ ආර්යා ළමා රෝහලට පමණක්‌ රුපියල් මිලියන 90ක්‌ හා දික්‌ඔය රෝහලට රුපියල් මිලියන 20ක්‌ වැය කළා. යාපනය රෝහලට වැය කළ මුදල රුපියල් මිලියන 6ක්‌. පසුගිය පොසොන් පොහොය දින කිලිනොච්චිය රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 198ක්‌ සිදු කළා. වෙසක්‌ පෙහොය දිනයේ දී වව්නියාව දිස්‌ත්‍රික්‌ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 350ක ප්‍රමාණයක්‌ සිදු කළා.
අපේ රටේ අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් දුෂ්කර ප්‍රදේශවලට ගිහින් අක්‍ෂි රෝගීන් හඳුනාගෙන ශල්‍යකර්ම කිරීමේ ක්‍රමවේදයක්‌ දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අවශ්‍ය ශල්‍යකර්ම කිරීම හා අවශ්‍ය කාච ලබා දීමත් විෂන් 2020 හරහා හැකි වී තිබෙනවා." යනුවෙන් පැවසී ය.

 



 

 

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්