Friday, November 4, 2011

සංගාගෙන් ලෝක වාර්තාවක්

තිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වුවද තීරණාත්මක මොහොතේදී යළි ලකුණු අතරට පැමිණීමට නායක ටී. එම්. ඩිල්ෂාන් සමත්වීම සහ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක ලාභී කුමාර් සංගක්‌කාර සමග එක්‌ව ගොඩනංවන ලද ලකුණු 172 ක ලකුණු සබඳතාවත් හේතුවෙන් පාකිස්‌තානයට එරෙහිව ක්‍රියාත්මක වන තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු දිනට (03 දා) ක්‍රීඩාව නිමා කරන විට කඩුලු 2 ට ලකුණු 245 ක්‌ ලබා ස්‌ථාවර තත්ත්වයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.

මෙම තරගාවලිය යටතේ පෙර පැවැති තරග දෙකෙහිදී පළමු ඉනිමේ දැඩි අසාර්ථක භාවයකට පත්වුණු ශ්‍රී ලංකා කණ්‌ඩායමට ශක්‌තියක්‌ වූ කුමාර් සංගක්‌කාර සහ නායක ටී. එම්. ඩිල්ෂාන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 172 ක්‌ එක්‌ කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්‌තිමත් කිරීමේ මූලික අඩිතාලම සකස්‌ කළේය.

ඊයේ දිනයේදී සාජා ක්‍රිකට්‌ පිටිය වර්ණවත් කළ සංගක්‌කාර තමා මුහුණ දුන් 232 වැනි පන්දුවේදී මිඩ් විකට්‌ කලාපයට ඉහළින් රෙහ්මාන්ට එරෙහිව හයේ පහරක්‌ එල්ල කරමින් තම 27 වැනි ශතකය සම්පූර්ණ කර ගත්තේය. පාකිස්‌තානයට එරෙහිව 7 වැන්න ලෙසින් වාර්තා වූ මෙම ශතකයත් සමග දිනය අවසන් වන විට පන්දු 263 කට මුහුණදී සිටි සංගක්‌කාර හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 11 ක්‌ සමග සිය ඉනිම ශක්‌තිමත් කර ගැනීමට සමත් විය.

එමෙන්ම ඊයේ දිනයේදී සංගක්‌කාරගේ ඉනිමට ලකුණු 29 ක්‌ එකතුවනවාත් සමග සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ ලකුණු 9000 සීමාව පසු කර යැමට හෙතෙම සමත්වූවේය. අදාළ ලකුණු සංඛ්‍යාව පසු කර යැමත් සමග ලොව වේගයෙන්ම ලකුණු 9000 සීමාව පසු කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාවට සංගක්‌කාර හිමිකම් කීම ඊයේ දිනයේදී සිදුවූ තවත් සුවිශේෂතම සිදුවීමක්‌ විය. තමාගේ 172 වැනි ඉනිම වූ මෙම ඉනිමේදී සංගක්‌කාර විසින් බිඳ හෙළන ලද්දේ ඉන්දීය පිතිකරු රාහුල් ඩ්‍රාවිඩ් විසින් ඉනිම 176 කදී සම්පූර්ණ කරන ලද ලකුණු 9000 ලෝක වාර්තාව විය. ඒ අනුව සංගක්‌කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 9000 සීමාව පසු කළ දෙවැනි සහ ලොව 10 වැන්නා බවටද පත්විය. සංගක්‌කාර මීට පෙර තම ලකුණු 8000 සීමාවද පසුකර ගියේ එම ලෝක වාර්තාවද තමා සතුකර ගනිමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස තරංග පරණවිතාන (04) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 05 ක්‌ව සටහන්ව තිබියදී දැවී ගිය නමුත් තේ පානය තෙක්‌ තම කඩුලු ආරක්‍ෂා කර ගත් ඩිල්ෂාන් සහ සංගක්‌කාර යුගල ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක්‌ කඩුල්ලකට ලකුණු 170 දක්‌වා ඉහළ දැමීමට සමත්වූහ.

තේ පානයෙන් පසු යවන ලද තරගයේ 61 වන පන්දුවාරයේදී ශතකයට තවත් ලකුණු 08 ක්‌ ආසන්නව සිටි ඩිල්ෂාන්ව තම පළමු ගොදුරු බවට පත් කර ගැනීම සයිඩ් අඡ්මාල් සමත්වීම මත තම 13 වැනි ටෙස්‌ට්‌ ශතකය වාර්තා කර ගැනීමට ඩිල්ෂාන්ට තිබූ පහසුම අවස්‌ථාව අහිමිව ගියේය.

දිවා භෝජනයට පෙර ගුල් විසින් එවන ලද පන්දුවක්‌ ඩිල්ෂාන්ගේ අත් ආවරණවල වැදී කඩුලු රකින අක්‌මාල්

රැකගත්තද තම මංගල ටෙස්‌ට්‌ තරගයට විනිශ්චය දෙමින් සිටි ශවීර් තරපෝරෙ විසින් එය නිෂ්ප්‍රභා කරන ලදී. එම දුර්වල තීරණය නොවන්නට ලකුණු 92 ක්‌ දක්‌වා දුර ගිය ඩිල්ෂාන්ගේ ඉනිම ලකුණු 33 කදී අවසන් වනු ඇත.

ඩිල්ෂාන් දැවී යැමත් සමග සංගක්‌කාරට එක්‌වූ මහේල ජයවර්ධන දිනය අවසනදී ලකුණු 32 ක්‌ ලබා සිටියේය.

ළහිරු තිරිමාන්න වෙනුවට කෝසල කුලසේකරත් සුරංග ලක්‌මාල් වෙනුවට සුරාඡ් රන්දිව් ශ්‍රී ලංකා කණ්‌ඩායමට කැඳවා තිබිණ. ඒ අනුව මෙම තරගාවලිය යටතේ ටෙස්‌ට්‌ වරම් දිනූ දෙවැනි ක්‍රීඩකයා බවට සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ වරම් ලද 121 වැනි ක්‍රීඩකයා බවට කෝසල කුලසේකර පත්විය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්