Thursday, November 3, 2011

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ අද වෙනසක් කරයිද?

තමන්ට සුපුරුදු තණතීරුවල ක්‍රීඩා කිරීමේදී කණ්‌ඩායමකට භුක්‌ති විඳිය හැකි වාසියට කිසිදු කණ්‌ඩායමක්‌ හිමිකම් නොකියන ශ්‍රී ලංකා/පාකිස්‌තාන ටෙස්‌ට්‌ තරගාවලියේ පළමු තරග දෙකෙහිදී දුර්වල ක්‍රීඩා විලාශයක්‌ පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්‌ඩායමට ගිලිහී ගොස්‌ තිබෙන අභිමානය යළි ළඟා කර ගැනීම සඳහා ලැබෙන අවසන් තරග අවස්‌ථාව අද (03 දා) එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයෙහි පිහිටි සාජා ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී උදා වේ.

දිගින් දිගටම පිතිකරුවන් අසාර්ථක වීම මත මෙම තරගාවලියේදී පසුබෑමකට ලක්‌ව සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්, තමන්ට හිමිවී තිබෙන වගකීම කුමක්‌ද යන්න වටහා ගනිමින් මෙම තරගයට අවතීර්ණ වීමට තමා ඇතුළු කණ්‌ඩායම උපරිම උත්සාහයක නිරත වන බව ශ්‍රී ලංකා නායක ටී. එම්. ඩිල්ෂාන් සඳහන් කරයි.

දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය 1-0 ක්‌ වශයෙන් පෙරමුණ ගැනීමට පාකිස්‌තානය සමත්ව සිටින බැවින් අද තරගයේ ජය ශ්‍රී ලංකාවට තවත් පැත්තකින් වැදගත් වනුයේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල පස්‌වැනි ස්‌ථානය තවදුරටත් රැක ගැනීම සඳහා වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම පසුගිය තරග දෙකෙහිදීම පිතිකරුවන් 7 දෙනකුගෙන් සහ ප්‍රධාන පන්දු යවන්නන් සිව්දෙනකු සමගින් අවතීර්ණ වූ නමුත් අද තරගයේදී එය බොහෝ විට ප්‍රධාන පිතිකරුවන් 6 දෙනෙකුගෙන් සහ පන්දු යවන්නන් 5 දෙනෙකුගෙන් සමන්විත වීමට ඉඩ තිබෙන බවද ඩිල්ෂාන් සඳහන් කරයි.

මෙහිදී 'දිවයින' හමුවේ වැඩි දුරටත් අදහස්‌ දක්‌වා සිටි ඩිල්ෂාන්, 6 යි 5 සංයුතියෙන් ක්‍රීඩා කළහොත් බොහෝ විට තමන් නැවතත් ආරම්භක පිතිකරුගේ ස්‌ථානයේ ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවද සඳහන් කර සිටියේය. මෙහිදී ඒ සඳහා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙෆ් මාෂ්ද කැමැත්තෙන් පසුවන බවද සඳහන් කර සිටි හෙතෙම, ඒ සියල්ලම උදෑසන තණතීරුව නිරීක්‍ෂණය කිරීමෙන් පසු තීරණය කිරීමට නියමිත බව පැවසීය.

අපි බලන්නේ කොහොම හරි මේකේ පිතිකරුවන් හය දෙනෙකු සහ ප්‍රධාන පන්දු යවන්නන් පස්‌දෙනෙකු සමගින් අවතීර්ණ වීමට. එසේ වුවහොත් අනිවාර්යයෙන්ම මට ඉනිම ආරම්භ කරන්න සිදුවෙනවා. මම ඉනිම ආරම්භ කිරීම සම්බන්ධව අපේ පුහුණුකරුත් කැමැත්තෙන් ඉන්නේ. හෙට උදෑසන තණතීරුව බලලා ඒ සියල්ල තීරණය වේවි' යනුවෙන් ඩිල්ෂාන් අදහස්‌ දැක්‌වීය.

ඒ අනුව අද තරගයේදී ඩිල්ෂාන් ඉනිම ඇරඹීමේ කටයුත්තේ නිරත වුවහොත් ආධුනික ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට සිය ස්‌ථානය අහිමිව යනු ඇති අතර ඒ සඳහා වන හොඳම ආදේශකයා වන්නේ සංචිතයට ප්‍රථම වරට එක්‌ව සිටින කෝසල කුලසේකර වේ. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්‌ඩායමට එක්‌ව සිටින කුලසේකර, අද තරගයට ක්‍රීඩා කළහොත් පිතිකරුවකුගේ මෙන්ම පන්දු යවන්නකුගේ වාසියද ශ්‍රී ලංකා කණ්‌ඩායමට ලබාගත හැකි වනු ඇත.

"අද තරගයේ කෝසලට හොඳ අවස්‌ථාවක්‌ තියෙනවා. මොකද මැතිව්ස්‌ පන්දු යවන්නෙත් නැති නිසා මේ තරගයේදී පිතිකරුවකුගේ මෙන්ම පස්‌වැනි පන්දු යවන්නා ලෙස ඔහුගේ සේවය කණ්‌ඩායමට ලබා ගන්න පුලුවන්." යනුවෙන් සඳහන් කරන ශ්‍රී ලංකා නායකයා, පිට දඟ පන්දු යවන සුරාඡ් රන්දිව්වද අද තරගයේදී යොදා ගැනීමේ අදහසක්‌ පවතින බවද සඳහන් කළේය. වේග පන්දු යවන සුරංග ලක්‌මාල්, ආරම්භක තරග දෙකෙහිදී එතරම් දස්‌කම් අතරට පැමිණීමට අපොහොසත්වී සිටීම මත අද තරගයට ක්‍රීඩා කිරීම සඳහා රන්දිව්ට වැඩි ඉඩ කඩක්‌ පවතිනු ඇත.

මෙම තරගාවලිය ආරම්භවීමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ ලකුණු 10,000 සීමාව පසුකර යැමට ලකුණු 148 ක්‌ අවශ්‍යව සිටි මහේල ජයවර්ධන, මෙම තරගාවලිය යටතේ ක්‍රීඩා කළ ඉනිම හතරේදීම රැස්‌ කිරීමට සමත්වූයේ ලකුණු 48 ක්‌ පමණි.

අද තරගය පැවැත්වෙන සාජා ක්‍රීඩාංගණය සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ ඉතා සුන්දර මතක සටහනකි. මෙම ක්‍රීඩා පිටියේදී ප්‍රථමයෙන්ම පවත්වා ඇති ජාත්‍යන්තර තරගය වන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර 1984 වසරේ පැවැති එක්‌දින තරගය වේ. එම තරගයේදී පාකිස්‌තානය හමුවේ කඩුලූ 5 ක ජයක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායම අත් කර ගන්නා ලද්දේ සාජා ක්‍රිකට්‌ ක්‍රීඩාංගණ ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර ජය ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන් වෙමිනි.

ඊයේ දිනය ශ්‍රී ලංකා කණ්‌ඩායමට විවේක දිනයක්‌ වූ නමුත් පාකිස්‌තානු කණ්‌ඩායම සවස්‌ යාමයේදී සිය පුහුණුවීම් වල නිරතවනු දක්‌නට ලැබිණ. එහිදී අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි පාකිස්‌තානු නායක මිස්‌බා උල්හක්‌ සඳහන් කරන්නේ, තම කණ්‌ඩායමේ සියලූම සගයන් තමන්ගේ වගකීම කුමක්‌ද යන්න වටහා ගනිමින් ක්‍රීඩා කිරීම මත තමාට පැවරී ඇති නායකත්වයේ වගකීම ඉතාම පහසු එකක්‌ බවට පත්වී තිබෙන බවයි. "අපේ ක්‍රීඩකයන් හරි අවස්‌ථාවෙදි හරි තීරණ ගත්තා. එහිදී ඔවුන් සෑම විටෙකම ධනාත්මක චින්තනයෙන් යුතුව ක්‍රීඩා කිරීම කණ්‌ඩායමට මහත් පිටිවහලක්‌ වුණා. එය මගේ වගකීමත් ඉතාම පහසු කරවන්නක්‌" යනුවෙන් වැඩිදුරටත් ඔහු පැවසීය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්