Friday, November 18, 2011

මහේලට එක්‌දින ලකුණු 10,000 ට තව ලකුණු 13 යී


ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්‌දින තරගාවලි ජයක පහස විඳ නොමැති ශ්‍රී ලංකා කණ්‌ඩායම අදාළ පරාජිත ගමනට තිත තැබීමේ ප්‍රධාන අරමුණ ඇතිව අද (18 දා) පාකිස්‌තානය සමගින් පැවැත්වෙන තෙවැනි එක්‌දින තරගයට පිවිසෙන්නේ තරගාවලිය 2/1 ක්‌ ලෙස පෙරමුණ ගැනීමේ ධනාත්මක බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රි තරගයක්‌ වශයෙන් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.15 සිට සී. එස්‌. එන්. නාළිකාව ඔස්‌සේ විකාශනය කෙරෙනු ඇත.

ඉකුත් සඳුදා පැවැති තරගයේ ජය ශ්‍රී ලංකාව අත්කර ගැනීමට සමත්වීමත් සමග තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී සිටින බැවින්, අද තරගයද ජය ගනිමින් තරගාවලියේ ඉදිරි තරග සඳහා ඉහළ මානසිකත්වයකින් යුතුව අවතීර්ණ වීම තමන් ඇතුළු කණ්‌ඩායමේ බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා නායක ටී. එම්. ඩිල්ෂාන් සඳහන් කළේය.

එම පරාජිත ගමන අවසන් කිරීම වෙනුවෙන් වන සියලු උපාය මාර්ග සකස්‌ කරමින් ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (17 දා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම්වලට සහභාගි වූ අතර ඒ අතරතුර පැවැති මාධ්‍ය හමුවේදී ඩිල්ෂාන් ඉහත අදහස්‌ පළ කර සිටියේය. මෙම තරගයට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායම පෙරේදා (16 දා) සිය පුහුණුවීම්වල නිරත වූ නමුත් පාකිස්‌තාන කණ්‌ඩායම ඊයේ දිනයේදී පමණක්‌ පුහුණුවීම් වල නියෑළුණේය.

මෙම තරගය දෙපිලටම ඉතාම වැදගත් තරගයක්‌. ඒ මොකද කියනවා නම් මේ තරගය දිනන පිලට පුළුවන් සාජාහි පැවැත්වෙන මීළඟ තරගයට හිස කෙළින් තියාගෙන සහභාගි වන්න. සඳුදා පැවැති තරගය ජයගැනීමත් සමග කණ්‌ඩායමේ ආත්මවිශ්වාසය ඉහළ ගොස්‌ තිබෙනවා. එහිදී අපි බලාපොරොත්තු වෙනවා එම ජයග්‍රාහී මානසිකත්වය දිගටම පවත්වා ගනිමින් තරගාවලිය 2/1ක්‌ ලෙස පෙරමුණ ගෙන ඉදිරි තරග සඳහා අවතීර්ණ වන්න. අපි ඒ සඳහා පසුගිය දවස්‌ දෙකේම හොඳින් පුහුණුවීම් කළා. මං හිතන්නේ අපේ සියලුම ක්‍රීඩකයන් මෙම අභියෝගයට සූදානමින් සිටිනවා. යනුවෙන් ඩිල්ෂාන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සියලුම සාමාජිකයන් ඊයේ සහ පෙරේදා දිනයන්හි සිය පුහුණුවීම්වල නිරත වුවද ඇඟිල්ලේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වයක්‌ මත ශ්‍රී ලංකා නායකයා සිය පිතිකරණ පුහුණුවීම්වලින් වැළකී සිටියේය. සඳුදා පැවැති තරගය අතරතුරදී උමර් අක්‌මාල් විසින් එල්ල කරන ලද පහරක්‌ ඩිල්ෂාන්ගේ මහපට ඇඟිල්ලේ වැදී තිබීම මත සහ එහි ඉදිමුම ඊයේ වන තුරුත් බැස නොයැම ඩිල්ෂාන්ට සිය පුහුණුවීම් අහිමිවීමට හේතු වූවේය. එහෙත් අද තරගයට ඔහුගේ සහභාගිවීම එතරම් අවදානම් තත්ත්වයක නොවන බවද සඳහන් විය.

අද තරගය සඳහා යොදා ගැනෙන්නේද ඉකුත් තරග 2 ට යොදාගත් තණතීරුවම වන බැවින් එය අද තරගයේදී කණ්‌ඩායමට කෙසේ බලපායිද යන්න මාධ්‍ය විසින් ශ්‍රී ලංකා නායකයාගෙන් ප්‍රශ්න කර සිටියේය. එහිදී පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායකයා, එම තණතීරුවේදී පළමු භාගය දඟ පන්දු යවන්නන්ට උචිත අයුරින් හැසිරෙන බවත්, සවස්‌ යාමයේදී ඇතිවන දැඩි පිනි තත්ත්වය මත එය ක්‍රමයෙන් වේග පන්දු යවන්නන්ට උචිත ලෙස හැසිරෙන බවත් සඳහන් කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා, මෙය අලුත් තරගයක්‌ බැවින් එහිදී මුලින් පන්දුවට පහර දීමට සිදුවුවහොත් තරගයේ ජය ගැනීමට හොඳ ආරම්භයක්‌ ලබා ගත යුතුවීම අනිවාර්ය බවද සඳහන් කර සිටියේය.

අද තරගයටද බොහෝ දුරට දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්‌ඩායමම ක්‍රීඩා කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එහිදී තණතීරුවේ හැසිරීම අනුව අද තරගයේදී තවත් දඟ පන්දු යවන්නකු ක්‍රීඩා කරවීමට උත්සුක වන්නේද යන්න කරන ලද ප්‍රශ්න කිරීමකදී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා, තමන්ද ඇතුළුව දඟ පන්දු යවන්නන් තිදෙනකු කණ්‌ඩායමේ සිටීම හේතුවෙන් තවත් අතිරේක දඟ පන්දු යවන්නකු කණ්‌ඩායමට එකතු කිරීම ඵලක්‌ නොවන ක්‍රියාවක්‌ බවද සඳහන් කළේය.

zමම හිතන්නේ මාත් ඇතුළුව කණ්‌ඩායමට දඟ පන්දු යවන්නන් තුන් දෙනෙකු සිටින නිසා තවත් දඟ පන්දු යවන්නකු ක්‍රීඩා කරවීමේ අවශ්‍යතාවක්‌ නැහැ. පසුගිය තරගයේදී සික්‌කුගේ ප්‍රසන්න කඩුලු දවා ගැනීමට සමත් නොවුණත් ඔහු ඉතාම හොඳින් පන්දු යෑව්වා. එහිදී පන්දුවාර 10 ඔහු ලකුණු 40 ක්‌ වැනි අඩු සංඛ්‍යාවකට යෑව්වා. ඒත් එක්‌කම මාලිංග ප්‍රමුඛ වේග පන්දු යවන්නන් තිදෙනාම ඔවුන්ගේ සේවය ඉතා හොඳින් කණ්‌ඩායමට ලබා දුන්නා. ඒක නිසා මම හිතන්නේ නැහැ පන්දු යෑවීමේ අංශය වෙනසක්‌ සිදුකළ යුතුයි කියලා. යනුවෙන් ඩිල්ෂාන් පැවැසීය.

දෙවැනි තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත් වුවත් එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මැද පෙළ පන්දුවාර කිහිපයේදී ලකුණු ලබා ගැනීමේ වේගය ඉතාමත් පහළ මට්‌ටමක පැවැතියේය. එහෙත් තරංග සහ මහේල දෙදෙනා එකතුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක්‌ පැවැත්වීම මත එම තත්ත්වයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට හැකි විය. අද තරගයේදී මහේල ජයවර්ධන ලකුණු 13 ක්‌ ලබා ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ලකුණු 10,000 සීමාව පසු කර ගිය දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට මහේලට අවස්‌ථාව උදා වනු ඇත. මෙම තරගය මහේලගේ 355 වැනි තරගය වන අතර එයට පෙර හෙතෙම මුළු ලකුණු 9983 ක්‌ රැස්‌ කර ගැනීමට සමත්ව සිටියි.

දෙවැනි තරගයේදී මැද පෙළින් ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවීම සම්බන්ධව අපි සාකච්ඡා කළා. එම තත්ත්වය මග හරවා ගනිමින් කඩුලු අත ඉතිරි කරගෙන ලකුණු 240 ක්‌ පමණ ලබා ගැනීම තමයි අපේ ඉලක්‌කය. මං හිතන්නේ හැමෝම දන්නවා ප්‍රහාරාත්මක වේගය රඳවා තබා ගනිමින් කොහොමද ක්‍රීඩා කළ යුත්තේ කියලා. යනුවෙන් ඩිල්ෂාන් පැවැසීය.

අද තරගය පැවැත්වෙන සිකුරාදා දිනය එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයට නිවාඩු දිනයක්‌ බැවින් මෙහි වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන් තරගය නැරඹීමට පැමිණෙනු ඇතැයි සහ එහිදී ඔවුන් තම කණ්‌ඩායමට විශාල සහයක්‌ ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඩිල්ෂාන් සඳහන් කළේය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්