Friday, November 11, 2011

මාවන් හා දිල්ෂාන්ට අභියොගක් අද


ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය පසුගිය සඳුදායින් නිමාවට
පත්වූයේ පාකිස්‌තානය හමුවේ තරගාවලිය 1/0 ක්‌ වශයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වෙමිනි. එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව සමගින් පැවැති තරගාවලි දෙකෙහි 'කාබන්' කොපියක්‌' බඳුවූ මෙම තරගාවලියත් පරාජයට ප්‍රධාන මූලාශ්‍රය වූයේ පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සේවය කණ්‌ඩායමට නොලැබී යාමයි. එහිදී එංගලන්තය සමගින් එංගලන්තයේදීද ඔස්‌ටේ්‍රලියාව සමග තම මව්බිමේදීද තරගාවලි පරාජය වූවා සේ සමානව අදාළ පාකිස්‌තානය තරගාවලිය නිමාවීමෙන් පෙනී යන්නේ දිගින් දිගටම වන වැරැදි නිවැරදි කරගැනීමට ක්‍රීඩකයන් නොපෙළඹීමය.

අදාළ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම තරග වැදුණේ අබුඩාබිහිදිය. එහිදී අනපේක්‍ෂිත අන්දමින් පළමු ඉනිම ලකුණු 197 කට සීමා වූ ශ්‍රී ලංකාවට පාකිස්‌තානුවන් කඩුලූ 6 ක්‌ දැවී ලබා දුන් ලකුණු 511 ක දැවැන්ත අභියෝගය පහසු එකක්‌ නොවීය. තරගයේ තෙවැනි දිනයේදීම නැවතත් ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ඇරඹූ ශ්‍රී ලංකා කණ්‌ඩායමට දිනය අවසානයේදී එක්‌ කඩුල්ලකට ලකුණු 47 ක්‌ ලබා සිටියේය. ඉනිකම පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 314 ක්‌ පිටුපසින් සිට ඇරඹූ ශ්‍රී ලංකා ඉනිමට ආරම්භක පිතිකරුවකුගෙන් සිදුවිය යුතු සේවය කුමක්‌ද යන්න තරංග පරණවිතාන නොදන්නවා විය යුතුය. නැතිනම් එතරම් විශාල ලකුණු සංඛ්‍යාවක්‌ හඹා යැමට ඇති ශ්‍රී ලංකා ඉනිමේදී තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ප්‍රතිවාදීන්ට වාසියක්‌ වන අන්දමින් කිසිම විටෙකත් දැවී නොයනු ඇත. තමාට එරෙහිව එන ප්‍රතිවාදියාව අවතක්‌සේරුවෙන් සැලකීම පරණවිතානගේ පුරුද්ද බව ඔහු මීට පෙර පැවැති තරගවලදී හොඳින් ඔප්පු කර තිබේ.

එය මැනවින් පැහැදිළිවනුයේ ඔස්‌ටේ්‍රලියාව සමගින් ඉකුත්දා ගාල්ලේදී අවසන් වුණු තරගය දෙස ගෙන බැලීමේදීය. ජයග්‍රහණය සඳහා ලකුණු 379 ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමට තරංගගේ දායකත්වය වූයේ රයන් හැරිස්‌ගේ පළමු කඩුල්ල ලෙස ඉක්‌මනින්ම පිටියෙන් ඉවතට යැමයි. මෙය ආරම්භක පිතිකරුවකුගෙන් කිසි විටෙකත් බලාපොරොත්තු නොවිය යුතු තත්ත්වයකි.

පිට පිටම තරග 11 කදී ජයග්‍රහණයක්‌ නොලබා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම, එක්‌සත් අරාබිකරයට පැමිණියේ කෙසේ හෝ තරගයක්‌ ජයග්‍රහණය කිරීමේ අදිටනින් විය. ඒ සඳහා වන ආරම්භය ලබා දීමට පරණවිතාන සහ තිරිමාන්න දෙදෙනා සමත්වූයේද යන්න ඔවුන් දෙදෙනා පන්දුවට පහර දුන් ආකාරය ගෙන බැලීමේදී කිසි ලෙසකින්වත් සිතිය නොහැක.

එහිදී දෙදෙනාම කරන ලද්දේ තරගයට මෙන් පන්දුව නිදැල්ලේ හැරීම විය. තිරිමාන්න යනු ජාත්‍යන්තර පිටියට ආධුනිකයකු වුවත් ටෙස්‌ට්‌ තරග 25 කදී (එම තරගය ඔහුගේ 23 වැනි තරගය විය) ශතක 2 ක්‌ ලබා සිටින පරණවිතාන එහිදී පන්දුවට පහර දුන් ආකාරය පිලිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැක. ටෙස්‌ට්‌ තරගයක්‌ ජය ගැනීමට නම් තරගයේ පළමු දිනයේ දක්‌වනු ලබන දක්‍ෂතා බෙහෙවින් ඉවහල් වේ. තරගයක ලකුණු ලබා ගැනීමේ වේගය පිළිබඳ එතරම් සැලකිල්ලක්‌ නොදක්‌වනු ලැබුවද එය අදහාගත නොහැකි තරමට මන්දගාමීවී ගොඩනැගීම සම්බන්ධව ඇත්තේ කණගාටුදායක තත්ත්වයකි. එහිදී පළමු පන්දුවාර 25 තුළදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සිය ලකුණු පුවරුවට ලබා දීමට සමත්වූයේ ලකුණු 46 ක්‌ පමණි.

ආරම්භක පිතිකරුවකුගේ ප්‍රධාන වගකීම වන්නේ නව පන්දුව හැකිතාක්‌ පරණ කොට එහි ඔපය අඩු කිරීම වේ. එහෙත් පරණවිතාන සහ තිරිමාන්න දෙදෙනා විසින් හැකි සෑම අවස්‌ථාවකදීම පන්දුව නිදැල්ලේ හැරීමට යැමෙන් සිදුවූයේ පන්දුව ඔපය අඩුවනවා නොව ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවීමය. ඉන් සිදුවන්නේ ඔවුන්ගෙන් පසු පිතිකරුවන්ට නව පන්දුවටද මුහුණ දෙමින් අඩාල වූ වේගයද රඳවා ගනිමින් පන්දුවට පහරදීම වේ. එවැනි පීඩනයක්‌ පසුපෙළට පැමිණීමද ඉක්‌මනින් කඩුලු දැවී යැමේ අතුරු ඵලයක්‌ ලෙස හැඳින්විය හැක.

එමෙන්ම මෙම තරගාවලි ත්‍රිත්වයේදීම ශ්‍රී ලංකා කණ්‌ඩායම තරග වැදුණේ පුහුණුකරුවන් තිදෙනකු යටතේදීය. ප්‍රථමයෙන් පැවැති එංගලන්ත තරගාවලිය ස්‌ටුවර්ට්‌ ලෝ යටතේද, ප්‍රභල ඔස්‌ටේ්‍රලියානුවන් සමගින් වන සංචාරය රොමේෂ් රත්නායක යටතේද ශ්‍රී ලංකාව තරග වැදුණි. පාකිස්‌තානය සමග තරගාවලිය ජෙµa මාෂ් යටතේය. පුහුණුකරුවන් තිදෙනකුගේම ගුරුහරුකම් ලැබුවද දිගින් දිගටම එකම වරද සිදුවනුයේ පුහුණුකරුගේ දක්‍ෂතාව මඳ කමද එසේත් නැතහොත් සිය දුර්වලතා හඳුනාගනිමින් ඒවා නිවැරදි කර ගැනීමට ක්‍රීඩකයන්ට ඇති අවශ්‍යතාවද යන්න අතර දැන් පැහැදිළි වෙනස අවබෝධ වේ.

ඉකුත් එංගලන්ත සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායමට පිතිකරණ පිළිබඳ විශේෂඥ පුහුණුකරුවකු නොවීය. එම තරගාවලියේදී මාවන් අතපත්තු කණ්‌ඩායමට පිවිසෙන්නේ එවකට අතුරු කමිටුව විසින් අලුතින් නිර්මාණය කළ පිතිකරු පුහුණුකරුගේ පුරප්පාඩුවට මාවන් පත්කරමිනි. හැඟෙන පරිද්දට ශ්‍රී ලංකා කණ්‌ඩායමට 'කණකොකා' හඬලන ලද්දේ මාවන් පැමිණි දා සිටදැයි කෙනෙකුට සිතිය හැක. මන්ද යත් ඔහු පැමිණි දා සිට අඛණ්‌ඩව දක්‍ෂතා දක්‌වමින් සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායම සිතා ගත නොහැකි තරමට පිතිකරණයෙන් දුර්වලතාවයට පත්වීම මත විය.

සමස්‌තයක්‌ ගත් විට මෙම තරගාවලිය කුමාර් සංගක්‌කාරගේ තරගාවලියක්‌ යෑයි හැඳින්වුවහොත් එය නිවැරදිය. අබුඩාබියි පැවැති තරගයේදී අසරණ භාවයට පත්ව තිබූ ශ්‍රී ලංකා කණ්‌ඩායමට ජීවයක්‌ ගෙන දුන් සංගක්‌කාර එහිදී ප්‍රසන්න ජයවර්ධනනගේ සහයෝගයද ඇතිව තරගය බේර නොගන්නට නවක ක්‍රීඩකයන් රැසක්‌ පසුවන පාකිස්‌තානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය පත්වන්නට ඉඩ තිබුණේ තරගාවලිය 2/0 ක්‌ ලෙසය. එහිදී සංගක්‌කාර ද්විත්ව ශතකයක්‌ ශතකයක්‌ සහ තවත් අර්ධ ශතක දෙකක්‌ සමගින් මුළු ලකුණු 516 ක්‌ රැස්‌ කරන ලද්දේ ඉනිමක ලකුණු ලැබීමේ සාමාන්‍ය 86 ක්‌ රඳවා ගනිමිනි.

මෙහිදී නායක ඩිල්ෂාන් මෙන්ම කණ්‌ඩායමේ පසුවන පළපුරුදුම ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධනද කණ්‌ඩායමට ලබාදුන් සේවය පිළිබඳව කිසි විටෙකින්වත් සෑහීමකට පත්විය නොහැක. පාකිස්‌තානයට එරෙහිව ක්‍රීඩා කළ ඉනිම 6 දීම මහේල රැස්‌ කරන ලද්aදේ ලකුණු 102 ක්‌ පමණකවීම ඔහුගේ අසාර්ථකත්වය පැහැදිලි කරවන්නක්‌ වී තිබේ.

ලකුනු 92 ක්‌ රැස්‌ කර හැරෙන්නට නායකයකු ලෙස තම සේවය කණ්‌ඩායමට ලබාදීමට ඩිල්ෂාන් අපොහොසත් වී සිටියි. නායකයා ලෙස පත්වීම් ලැබීමෙන් පසු ඩිල්ෂාන් පිට පිටම පරාජයට පත්වූ තෙවැනි තරගාවලිය වශයෙන් මෙම තරගාවලිය සටහන් වේ.

ශ්‍රී ලංකාව දෙසින් කලකට පසු වේග පන්දු යවන්නකුගේ දක්‍ෂතාවක්‌ දැක ගැනීමට හැකිවූ තරගාවලියක්‌ ලෙස මෙම තරගාවලිය හැඳින්විය හැක. පිතිකරුවන්ට පාරාදීසයක්‌ ලෙස යෑයි සැලකෙන සාජා තණතීරුවේදී චානක වෙලගෙදර විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර කිහිපය තුළදී කඩුලු 5 ක්‌ දවා ගැනීම කැපි පෙනුණි. අදාළ දක්‍ෂතාව විශේෂත්වයක්‌ ලෙස සඳහන් කළ හැක්‌කේ අවසන් වරට චමින්ද වාස්‌ 2008 වසරේදී ප්‍රොවිඩන්ස්‌ ක්‍රිඩාංගණයේදී ලබා ගත් කඩුලූ 5 න් පසු කිසිම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නකු සිය මව්බිමෙන් පිටතදී කඩුලු 5 ක්‌ දවා ගෙන නොතිබීමය.

ටෙස්‌ට්‌ තරගාවලියේ කළු පැල්ලම දැන් අතීතයට එක්‌ව ගොසිනි. එහෙත් ඩිල්ෂාන් නායකත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව මෙතෙක්‌ ටෙස්‌ට්‌ හෝ එක්‌දින තරගාවලියක්‌ ජයගෙන නොමැත. දැන් ඩිල්ෂාන්ට ඇත්තේ සිය නායකත්වය යටතේ පළමු තරගාවලිය ජය ලබා ගැනීමය. එය අදින් (11 දා) ආරම්භ වන එක්‌දින තරගාවලියේදී හෝ හැකිවනු ඇතැයි අපි බලා සිටිමු.


0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්