Friday, August 24, 2012

2012 විස්සයි - 20 ලෝක කුසලානරී ලංකා සංචිතයට SLPL වලින් අකිල ධනංජය සහ ඩිල්ෂාන් මුණවීර නම් කරයි





ලබන මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට යොවුන් ක්‍රීඩකයන් වන අකිල ධනංජය සහ ඩිල්ෂාන් මුණවීර නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.



දැන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේදී පන්දු යවන්නකු ලෙස දැක්‌වූ විශිෂ්ඨ දක්‍ෂතා හේතුවෙන් අකිල ධනංජය ශ්‍රී ලංකා සංචිතයට එක්‌ කර තිබේ. දකුණතින් පිට දඟ පන්දු යවන අකිල එස්‌.එල්.පී.එල්. තරගාවලියේ තරග හතරකදී කඩුලු 7 ක්‌ දවා ගෙන ඇති අතර එහිදී පන්දුවාරයකට ලබා දී ඇති දළ ලකුණු ප්‍රමාණය 4.81 ක්‌ ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකා ජාතික සංචිතයකට වරම් ලැබූ 18 හැවිරිදි අකිල ධනංජය පානදුර මහානාම විදුහලේ ඉගෙනුම ලබන අතර මෑත භාගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට අඩුම වයසකදී එක්‌වූ ක්‍රීඩකයා වන්නේද මොහුය. එස්‌.එල්.පී.එල්. තරගාවලියේදී වයඹ කණ්‌ඩායම නියෝජනය කරන අකිල පිළිබඳව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක මහේල ජයවර්ධන පවසා සිටියේ ඔහු අනාගතයේදී දක්‍ෂ ක්‍රීඩකයකු වන බවයි.

මීට අමතරව ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට පළමු වරට එක්‌වූ ඩිල්ෂාන් මුණවීර ආරම්භක පිතිකරුවකු වන අතර ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස නම් දරා සිටියි. පළමු පෙළ 20-20 තරග 15 කට ක්‍රීඩා කර ඇති ඩිල්ෂාන් මුණවීර අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 349 ක්‌ ලබා ඇති අතර එහි ප්‍රහාරාත්මක වේගය 122.88 ක්‌ ලෙස සටහන් වේ. මෙවර එස්‌.එල්.පී.එල්. තරගාවලියේදී ඌව කණ්‌ඩායම නියෝජනය කරමින් තරග හතරකදී ලකුණු 100 ක්‌ ලබා ගැනීමට 23 හැවිරිදි ඩිල්ෂාන් මුණවීර සමත්ව තිබේ.

තුනටිය ආශ්‍රිතව ආබාදයක්‌ හේතුවෙන් ඉකුත් ජනවාරි මස සිට ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්ව සිටි අජන්ත මෙන්ඩිස්‌ නම් කරන ලද ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව ඇත. මීට අමතරව ෂමින්ද එරංග සහ ආබාධය සුව වීමෙන් පසු නුවන් කුලසේකරද ශ්‍රී ලංකා සංචිතයට එක්‌ව තිබේ.

20-20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය

මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස්‌ (උප නායක), කුමාර් සංගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්‌, ඩිල්ෂාන් මුණවීර, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ෂමින්ද එරංග, අකිල ධනංජය

1 comment:

කියන්න, බනින්න, ඔබේ අදහස්