Friday, October 12, 2012

එස්. එල්. පී. එල්. තරගාවලියේ අව්‍යාජත්වය පිළිබඳව බරපතළ ගැටළුවක්


විනිසුරුවරුන්ට එල්ල වූ චෝදනා සමගින් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම විස්සයි 20 කි‍්‍රකට් තරගාවලිය වන එස්. එල්. පී. එල්. තරගාවලියේ අව්‍යාජත්වය පිළිබඳව බරපතළ ගැටළුවකට එහි සංවිධායකයෝ මුහුණ දී සිටිති.
විනිසුරුවරුන් මුදලට තරග පාවාදීමට සූදානම් වූයේ යයි හෙළිදරව් කරමින් ව්‍යාජ මෙහෙයුමක් දියත් කළ ඉන්දීය රූපවාහිනී සේවයේ වෙස්වළාගත් නියෝජිතයන් සමග සන්දීප් බාමර් මහතාද අනුග‍්‍රාහක ගනු දෙනු සම්බන්ධයෙන් කතිකා කළ බවද වාර්තා වේ.
සන්දීප් බාමර් යනු අන් කවරකු හෝ නොව, එස්. එල්. පී. එල්. තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන කොටස්කරු වන සර්සෙට් එන්ටටේන්මන්ට් ව්‍යාපාරයේ සභාපතිවරයාය.
කෙසේ වෙතත් සන්දීප් බාමර් මහතා පවසන්නේ එස්. එල්. පී. එල්. තරගාවලිය සම්බන්ධයෙන් තමන්ගේ කාර්යභාරය අනුව, එවන් සාකච්ඡා කිරීමට තමන්ට බලය ඇති බවයි.
ඇත්ත වශයෙන්ම අනුග‍්‍රාහකයන් ලෙස ඉදිරිපත් වූ අයට තරගාවලිය අළෙවි කරන්නට මා උත්සාහ කළා. අනුග‍්‍රාහකයන් අපේක්‍ෂිත සීමාවන්හි රැඳී සිටිනවා නම්, ඒක මගේ අයිතියක්”
හේතුව, එස්. එල්. පී. එල්. තරගාවලියට සහභාගි වූ එක් කණ්ඩායමක අයිතිය මටත් තිබුණ නිසා” යයිද සන්දීප් බාමර් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර සිට ‘ඬේලි මිරර්’ පුවත් පතට පැවසීය.
කෙසේ වෙතත් ඉන්දීය රූපවාහනී සේවාවකට අයත් මෙම වෙස්වලාගත් වාර්තාකරුවා, කී‍්‍රඩා ඒජන්තවරයකු වශයෙන් තමන්ට මුදල් දීමට සූදානම් වූ අවස්ථාවේදී තමන් ඒ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැන්වූ බවද සන්දීප් බාමර් මහතා පවසයි. එහෙත් මෙම තත්ත්වය මාධ්‍යවලින් වසං කර තැබීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය උත්සාහ ගැනීම වටහාගත නොහැකිවා මෙන්ම ඒ බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට දැනුම් දීමට ඔවුන් පියවර ගෙන ඇතිද යන්නත් පැහැදිළි නැත.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් කළ බවක්ද වාර්තා නොවේ.
බාමර් මහතා පවසන්නේ දුරකතන ඇමතුම ලැබෙද්දීම කිසියම් අප‍්‍රසන්න යමක් සිදුවේගන යන බව තමන්ට වැටහුණ නමුත් අදාළ පාර්ශවයේ තොරතුරු වැඩිදුර ලබාගැනීම සඳහා දිගින් දිගටම දුරකතනයේ රැඳී හුන් බවයි.
මේ පිළිබඳව මා එදිනම ශී‍්‍ර ලංකා කි‍්‍රතට් ආයතනය දැනුම්වත් කිරීමෙන් පෙනෙන්නේ මට ඔවුන් සමග කටයුතු කිරීමට වුවමනාවක් නොතිබූ බව මිස වෙන මොකක්ද?” යයිද බාමර් මහතා පැවසීය.
එස්. එල්. පී. එල්. තරග මුදලට පාවාදීමේ උත්සාහයට අදාළ දුරකතන සංවාදය ඇතුළත් හඬ පටය ‘ඬේලි මිරර්’ මගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත බාර දෙන ලද නමුත් මාස දෙකක් යන තුරුත් ඒ් පිළිබඳව කිසිදු තොරතුරක් දැනගන්නට නැත.
එස්. එල්. පී. එල්. තරගාවලියේ කණ්ඩායම් අයිතිකරුවන් කිසිවකු එහිදී ලාභ අපේක්‍ෂා නොකළ බවත් ඒ වෙනුවට විශාල පාඩු විඳ දරා ගැනීමට ඔවුන් සූදානම් වූ බවත් වැඩි දෙනාගේ කතාබහට ලක්වී තිබිණ.
එස්. එල්. පී. එල්. තරගාවලියේදී කඳුරට වොරියර්ස් පිලේ අයිතිකරුවා වූයේ සන්දීප් බාමර් මහතාය. කඳුරට වොරියර්ස් පිලේ අයිතිය සම්බන්ධයෙන් මුල සිටම අපැහැදිළි තත්ත්වයක් පැවැති අතර තරගාවලියේ පරිපාලන සමාගමේ සභාපතිවරයා එහි කණ්ඩායමක හිමිකරුවා වීම ‘වෘත්තීමය සදාචාරය’ සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් ඇති කරන්නකි. ඇතැම් විට කඳුරට වොරියර්ස් පිලේ සැබෑ හිමිකරුවා කවුරුන්ද යන්න පිළිබඳව ජනතාවට හෙළිදරව් වූ පළමු අවස්ථාවද මෙය විය හැකිය.
‘වෘත්තීමය සදාචාරය’ සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව සන්දීප් බාමර් මහතා පිළිගන්නා නමුත්, එම අවස්ථාවේදී තිබූ තත්ත්වය අනුව, කඳුරට කණ්ඩායම තමා විසින් මිලදී ගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවද බාමර් මහතා පවසයි.
පටිගත කරන ලද රූපවාහිනී වැඩසටහනට අනුව තමන්ගේ කඳුරට වොරියර්ස් කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීම සඳහා ඇමරිකානු ඩොලර් 1,20,000 ක් (රුපියල් කෝටි එක හමාරක්) තමන්ට අවශ්‍ය යයි සන්දීප් බාමර් මහතා පවසා තිබේ. මේ සම්පූර්ණ මුදල ඉන්දියාවේදී ඇමරිකානු ඩොලර් වලින් ගෙවිය යුතු යයි කොන්දේසියක්ද ඔහු විසින් පනවන ලදි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්