Wednesday, November 14, 2012

ලබන 2013 වසර ශ්‍රී ලංකා කණ්‌ඩායමට වැඩ අධිකයි

ලබන දෙසැම්බර් මස සිට ඉදිරි මාස 14 ක කාලය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට දැඩි අවිවේකී ජාත්‍යන්තර තරග කාලසටහනක නිරත වීමට සිදුව ඇත.

මෙම දෙසැම්බර් මස සිට 2014 ජනවාරි මාසය දක්‌වා වූ මාස 14 ක කාලය තුළදී ශ්‍රී ලංකා කණ්‌ඩායම ටෙස්‌ට්‌ තරග 10 කට සහ එක්‌දින ජාත්‍යන්තර තරග 30 කට ආසන්න සංඛ්‍යාවකට සහභාගි වීමට නියමිතව තිබේ. ඊට අමතරව 20-20 තරග තුනකටද සහභාගි වීමට නියමිතය.

අදාළ කාල පරාසය තුළදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්‌ට්‌ තරග තුන 2015 දක්‌වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ ආයතනය ඒකමතිකව තීන්දු කර තිබේ. මීට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමග ලබන වසරේ පැවැත්වීමට යෝජිතව තිබූ ටෙස්‌ට්‌ තරග දෙක 2018 වසර දක්‌වා කල්දැමීමට සිදුවූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ඉහළ නිලධාරියෙක්‌ පැවසීය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලිය, එස්‌.එල්.පී.එල්. තරගාවලිය සහ චැම්පියන්ස්‌ ලීග් තරගාවලි වලටද සහභාගි වීමට නියමිතව තිබේ. අදාළ තරගාවලි හේතුවෙන් දකුණු අප්‍රිකානු සහ කොදෙව් ටෙස්‌ට්‌ තරග පසුවට කල්තැබීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම අදාළ අවිවේකී තරග සටහන අරඹමින් ලබන මස ඔස්‌ටේ්‍රලියාවේ සංචාරය කරන අතර එහිදී ටෙස්‌ට්‌ තරග තුනක්‌, එක්‌දින තරග පහක්‌ සහ විස්‌සයි විස්‌ස තරග 2 කට සහභාගි වීමට නියමිතය. අනතුරුව බංග්ලාදේශ කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහිදී ටෙස්‌ට්‌ තරග 2 ක්‌ සහ එක්‌දින තරග 3 ක්‌ පැවැත්වේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්‌ඩාම එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන (සියලුම ටෙස්‌ට්‌ කණ්‌ඩායම් සහභාගිවන) එක්‌දින තරගාවලියට සහභාගි වන අතර අනතුරුව බටහිර ඉන්දීය කොදෙව්හිදී තුන්කොන් එක්‌දින තරගාවලියකට සහභාගි වේ.

ලබන 2013 වසරේ අග භාගයේදී සිම්බාබ්වේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්‌ඩායම එහිදී ටෙස්‌ට්‌ තරග දෙකකට සහ එක්‌දින තරග තුනකට සහභාගි වීමට නියමිතව තිබේ. අනතුරුව එම දෙසැම්බර් මස සහ 2014 ජනවාරි මසවලදී අබුඩාබිහිදී පකිස්‌තානය සමග ටෙස්‌ට්‌ තරග 3 ක්‌ එක්‌දින තරග 5 ක්‌ සහ 20-20 තරගයකට සහභාගි වනු ඇත.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්