Wednesday, September 21, 2011

ශ්‍රී ලංකාව 5ට යයි ඔස්‌ට්‍රේලියාව 4ට එයි

තෙවැනි තරගය ජයගනිමින් තරගාවලිය 1-1 ක්‌ වශයෙන් සමකර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම තබා තිබූ බලාපොරොත්තු සුන් කළ ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක්‌, නායකත්වයේ ඉනිමක්‌ ක්‍රීඩා කරමින් රැස්‌ කළ ශතකය ප්‍රධාන කොට දෙරට අතර කොළඹ එස්‌. එස්‌. සී. පිටියේ ඊයේ (20 දා) අවසන් වුණු අවසන් ටෙස්‌ට්‌ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. ඒ අනුව මෙම තරගාවලිය 1/0 ක්‌ වශයෙන් ජයගත් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම වෝන්/මුරලි ශූරතාව නැවත වරක්‌ තම රට වෙත රැගෙන යැමට සමත්වූවේය.

2006 වසරේදී පාකිස්‌තානය හමුවේ ටෙස්‌ට්‌ තරගාවලියක්‌ පරාජයට පත්වීමෙන් පසු ගෙවුණු වසර 6 කට ආසන්න කාලයේදී ශ්‍රී ලංකාව සිය මව්බිමේදී තරගාවලියක්‌ පරාජයට පත්වූ පළමු අවස්‌ථාව ලෙසින් ඔස්‌ටේ්‍රලියාව සමගින් ඊයේ අවසන් වුණු තරගාවලිය හැඳින්විය හැක. එමෙන්ම අවසන් වසර 10 කාලයේදී සිය මව්බිමේදී පරාජයට පත්වූ තෙවැනි තරගාවලිය වශයෙන්ද මෙම තරගාවලිය හැඳින්විය හැක. එම කාලසීමාවේදී ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇත්තේ 2004 වසරේ ඔස්‌ටේ්‍රලියාව සමගින් සහ 2006 වසරේ පාකිස්‌තානය සමගින් පැවැති තරගාවලි ද්විත්වය වේ.

ඊයේ දිවා ආහාරයට ප්‍රථම ඔස්‌ටේ්‍රලියානු කඩුලූ කිහිපයක්‌ ඉක්‌මනින් දවා ගැනීම අත්‍යවශ්‍ය වූ නමුත් දුර්වල පන්දු රැකීම සහ නියමිත එල්ලයක්‌ නොමැතිව පන්දු යෑවීම මත දිවා භෝජනය වන විට ශ්‍රී ලංකා කණ්‌ඩායමට දවා ගත හැකි වූයේ පිලිප් හියුස්‌ (126) පමණි. ඔස්‌ටේ්‍රලියානු ඉනිම පන්දු වාර 138.5 කදී නිමා වන විට දෙවැනි ඉනිම සඳහා ලකුණු 488 ක්‌ එක්‌ කරගැනීමට සමත්වී සිටියේය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 332 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම තරගය නිමා කරන විට පන්දුවාර 2 ක්‌ අවසනදී කිසිවකු නොදැවී ලකුණු 07 ක්‌ වාර්තා කර ගෙන සිටියේය.

ශතක ලාභී මයිකල් ක්‌ලාක්‌, තම පළමු ලකුණු 50 සම්පූර්ණ කිරීම සඳහා ඊයේ දිනයේදී පන්දු 97 කට මුහුණ දුන් නමුත්, ශතකය කරා ගිය ගමනේදී රැස්‌ කළ ලකුණු 50 සඳහා වැය කරන ලද්දේ පන්දු 58 ක්‌ පමණක්‌ වීම විශේෂත්වයක්‌ විය. ක්‌ලාක්‌ ලකුණු 21 ක්‌ සහ ලකුණු 71 ක්‌ ලබාගෙන සිටින අවස්‌ථාවන්හිදී හේරත්ගේ පන්දු හමුවේ දවා ගැනීම සඳහා ආසන්න අවස්‌ථා 2 ක්‌ ලබා දුන් නමුත් එය කඩුලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන අතින් ගිලිහී යැම මත තම 15 වැනි ටෙස්‌ට්‌ ශතකය මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව වූ දෙවැනි ශතකයද වාර්තා කර ගැනීමට ඔහු සමත්විය. පිටියට පිවිසි අවස්‌ථාවේදී රංගන හේරත්ගේ පන්දු හමුවේ තරමක පීඩනයෙන් යුතුව පන්දුවට පහර දුන්නද, විටෙක ආක්‍රමණකාරී ලෙසින්ද තවත් විටෙක කඩුල්ලේ රැඳී සිටිමින්ද ක්‍රීඩා කළ ඥාණාන්විත පිතිහරඹය නිමා වූයේ හේරත්ගේම පස්‌වැනි ගොදුර බවට පත්වෙමිනි. ඒ වන විටත් පන්දු 178 කට මුහුණ දී සිටි ක්‌ලාක්‌ හතරේ පහර 14 කින් සහ හයේ පහර 3 කින් තම ඉනිම අලංකාර කරගනිමින් ලකුණු 112 ක්‌ වාර්තා කරගෙන සිටියේය. ක්‌ලාක්‌ සහ මයිකල් හසී එකතුව පස්‌වැනි කඩුල්ල සඳහා වාර්තා කරන ලද ලකුණු 176 ක සබඳතාව දෙරට අතර පස්‌වැනි කඩුල්ලේ හොඳම සබඳතාව වේ.

මෙම ඉනිමේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ රංගන හේරත් ලකුණු 157 කට පිතිකරුවන් 7 කු දවා ගනිමින් තම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ හොඳම පන්දු යෑවීම වාර්තා කර ගත්තේය. අදාල පන්දු යෑවීමත් සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ කඩුලූ 100 සීමාව පසු කළ සිව්වැනි පන්දු යවන්නා බවටද පත්වීමට හේරත් සමත්වුවේය. හෙරත්ට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලූ 100 සීමාව පසු කර ඇත්තේ මුත්තයියා මුරලිදරන් (800), චමින්ද වාස්‌ (355) සහ ලසිත් මාලිංග (101) පමණි. එමෙන්ම එය හේරත්ගේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගත් 6 වැනි අවස්‌ථාව ලෙසින්ද වාර්තා විය.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ අංක 10 පිතිකරුවා වූ කෝප්ලන්ඩ් විසින් හේරත්ගේ පන්දුවකට එල්ල කරන ලද ස්‌වීප් පහරක්‌, අත්ආවරණයේ වැදී උඩ පන්දුවක්‌ ලෙස ජයවර්ධන රැක ගත්තද එය නොදැවී යැමක්‌ ලෙස ටෝනි හිල් විනිසුරුවරයා තීරණය කළේය. එහෙත් පුණරූපනවලදී එය නිසැකයෙන්ම දැවී යැමක්‌ ලෙස සටහන් වූවත් තෙවැනි විනිසුරු විනිසුරු විමසීම සඳහා වූ අවස්‌ථා දෙකම අවසන්වී තිබීම මත කඩුලු 8 ක්‌ ලබා ගැනීමට හේරත්ට තිබූ අවස්‌ථාව ගිලිහී ගියේය. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මයිකල් හසී ඊයේ දිනයේදී නැවතත් ලකුණු 93 ක්‌ ලබා ගැනීමට සමත්වූවේය. ඒ අනුව ඔහු මෙවර තරගාවලියේදී ඉනිම 5 කදී රැස්‌ කරන ලද ලකුණු සංඛ්‍යාව ලකුණු 463 ක්‌ වේ. ශතක 2 ක්‌ සහ අර්ධ ශතක 2 ක්‌ වාර්තා කළ හසීගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 92.60 ක්‌ වශයෙන් සටහන් වේ. අවසන් වරට ඔස්‌ටේ්‍රලියානු පිතිකරුවකු එක්‌ තරගාවලියකදී ලකුණු 400 ක්‌ ඉක්‌මවා යැමට සමත්වී ඇත්තේ පිලිප් හියුස්‌ (415) වන අතර එය පසුගිය 2008/09 දකුණු අප්‍රිකානු තරගාවලියේදී වේ. ඊට පසු ගෙවුණු කාල සීමාවේදී ඔස්‌ටේ්‍රලියාව වෙනුවෙන් තරගාවලියකදී ලකුණු 400 ක්‌ පසු කළ එකම පිතිකරුවා බවටද හසී පත්විය. පළමු තරග දෙකේදී මෙන්ම මෙම තරගයේ වීරයා සම්මානයද සහ තරගාවලියේ වීරයා සම්මානයද මයිකල් හසී විසින් දිනා ගන්නා ලදී. දෙරට අතර ටෙස්‌ට්‌ තරගාවලිය අවසානයේදී ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පස්‌වැනි ස්‌ථානයට සහ ඔස්‌ටේ්‍රලියාව එහි සිව්වැනි ස්‌ථානයට පත්විය.

ශ්‍රී ලංකාවේ මීළග සංචාරය වන්නේ නොවැම්බර් මස 15 වැනිදා සිට පාකිස්‌තානය සමගින් ඩුබායිහිදී පැවැත්වීමට නියමිත ටෙස්‌ට්‌ තරග 3 කින්, එක්‌දින තරග 5 කින් සහ එක්‌ පන්දුවාර 20/20 තරගයකින් සමන්විත තරගාවලිය වේ.

1 comment:

  1. ඔන්න ඔහොඅමයි වුණේ...
    හේරත්ට විකට් අටක් ගන්න තිබ්බ චාන්ස් එක නැති වෙච්ච එක නම් අපරාදෙ.....

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්