Friday, September 16, 2011

ටෙස්‌ට්‌ ලෝක ශූරතාවට සිංහයන්ද කැන්ගරුවන්ද තීරනය අද සිට ssc හිදී

තම මව් බිමේදී තරග කළද මෙතෙක්‌ පැවැති ටෙස්‌ට්‌ තරග 2 හිදීම දුර්වල ක්‍රීඩා විලාශයක්‌ පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්‌ඩායමට, ගිලිහී ගොස්‌ තිබෙන අභිමානය යළි ළඟා කර ගැනීම සඳහා ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට එරෙහිව ලැබෙන අවසන් තරග අවස්‌ථාව වන අද (16 දා) කොළඹ එස්‌. එස්‌. සී. පිටියේදී ආරම්භවන තෙවැනි ටෙස්‌ට්‌ තරගයෙන් උදාවේ.

දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ලකුණු 125 ක පරාජයක්‌ සහ පරාජය පෙනි පෙනී තිබූ පල්ලකැලේ තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන්වීම මත මේ වන විටත් තරගාවලිය 1/0 ක්‌ වශයෙන් ඔස්‌ටේ්‍රලියාව පෙරමුණේ පසුවෙයි.

ලෝක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ පළමු වතාවට පැවැත්වෙන ටෙස්‌ට්‌ ලෝක ශූරතාවට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලංකා කණ්‌ඩායමට ශ්‍රේණිගත කිරිමේදී සිව්වැනි ස්‌ථානයේ රැඳී සිටීමටනම් මෙම තරගයේ ජය දැඩි සාධකයක්‌ බවට පත්ව තිබේ. නිබඳවම වාසිදායක ප්‍රතිඵල ලබා දෙනු ලබන එස්‌. එස්‌. සී. තණතීරුවේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම අවසන් වරට සහභාගිවී ඇති ටෙස්‌ට්‌ තරග 17 න් පරාජයට පත්වී ඇත්තේ එක්‌ තරගයක්‌ පමණක්‌ වන අතර ඒ 2004 වසරේ රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් සංචාරක ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම සමග පැවැති තරගය වේ. සෙසු තරග 16 අතුරින් තරග 4 ක්‌ පමණක්‌ ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ඉතිරි තරග සියල්ලෙහිම ජය ශ්‍රී ලංකාව සතුවිය.

පල්ලකැලේ පැවැති අවසන් තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් යළි සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණී බැවින් ඔවුන් මෙම තරගයේදී ඔස්‌ටේ්‍රලියානුවන්ට එරෙහිව හොඳින් තරග වදිනු ඇතැයි අපේක්‍ෂා කරන නමුත් එයට හරස්‌වීමට ඉඩ ඇති ප්‍රධානම සාධකය බවට පත්වී ඇත්තේ මේ දිනවල කොළඹ ප්‍රදේශයට ඇද හැළෙන වර්ෂාව වේ.

ලොව වැඩිම ජනප්‍රියතාවක්‌ හිමි ක්‍රීඩකයා සම්මානය දිනා ගත් කුමාර් සංගක්‌කාරට අද තරගය සුවිශේෂී තරගයක්‌ වේ. මේ වන විටත් ටෙස්‌ට්‌ තරග 99 කට ක්‍රීඩා කර ඇති සංගක්‌කාරගේ 100 වැනි ටෙස්‌ට්‌ තරගය මෙම තරගය වේ. එම තරගය කෙසේ හෝ ජය ගනිමින් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීම තමා ඇතුලූ තම කණ්‌ඩායමේ බලාපොරොත්තුව බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කර සිටියේය.

අද තරගය පිළිබ අදහස්‌ දැක්‌වූ සංගක්‌කාර, '100 වැනි තරගය මේ තරගය විශේෂත්වයක්‌ නැහැ. පළමු තරගයට සහභාගි වුණත් 100 වැනි තරගයට සහභාගි වුණත් වැදගත් වන්නේ තරගයේ ජයග්‍රහණයයි. ඒ නිසා 100 වැනි තරගයට හරි වටිනාකමක්‌ එක්‌ වන්නේ මෙම තරගය ජයග්‍රහණය කළහොත් පමණයි' යනුවෙන් සඳහන් කළ අතර ක්‍රීඩාවෙන් සමුගත් පසු තමන්ට ඉත§රි වන්නේ මෙවැනි දේවල මතකයක්‌ පමණක්‌ බවද හෙතෙම සඳහන් කර සිටියේය.

සංගක්‌කාරට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 100 ක්‌ නියෝජනය කර ඇත්තේ ක්‍රීඩකයන් සිව් දෙනෙකු පමණක්‌ වන අතර සංගක්‌කාර එහි පස්‌වැන්නා වේ. ඔහුට පෙර පෙර මුත්තයියා මුරලිදරන්(132), මහේල ජයවර්ධන(121), චමින්ද වාස්‌ (111) සහ සනත් ජයසුරිය (110) ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 100 ක්‍රීඩා ක්‍රීඩකයෝ වෙති.

ක්‍රීඩකයන් සිව් දෙනා අතුරින් තවමත් ක්‍රීඩා පිටියේ සිටින්නේ මහේල ජයවර්ධන පමණක්‌ වන අතර එහිදී ඔහුගේ දක්‍ෂතා අභිබවා යැමේ බලාපොරොත්තුවක්‌ තමා සතුව තිබෙන්නේදැයි මෙහිදී මාධ්‍යයෙන් නැගූ පැනයකට පිළිතුරු දුන් සංගක්‌කාර, 'මහේල කියන්නේ විශිෂ්ට ක්‍රීඩකයෙක්‌. අපි අතර එහෙම තරගයක්‌ නැහැ. ඒත් අපි අතර තියෙන වාර්තා පිළිබඳ කතා කරනවා. ඒ හැරෙන්න විශේෂත්වයක්‌ නැහැ' යනුවෙනි.

මෙතෙක්‌ ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වැඩිම අගයක්‌ (55.66) රඳවා තබා ගැනීමට සමත්ව සිටින ක්‍රීඩකයා බවට පත්ව සිටින සංගක්‌කාර මෙතෙක්‌ ක්‍රීඩා කර ඇති තරග 99 දී ඉනිම 166 කදී ක්‍රීඩා කරමින් මුලූ ලකුණු 8572 ක්‌ රැස්‌ කර ගැනීමට සමත්ව සිටියි. එයට ශතක 25 ක්‌ සහ අර්ධ ශතක 35 ක්‌ ඇතුළත් වන අතර වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දකුණු අප්‍රිකාවට එරෙහිව එස්‌. එස්‌. සී. පිටියේදී රැස්‌කරගෙන ඇති ලකුණු 287 වාර්තා වේ. එම තරගයේදී සංගක්‌කාර සහ මහේල ජයවර්ධන (375) අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 624 ක ලකුණු සම්බන්ධතාවක්‌ පවත්වමින් ටෙස්‌ට්‌ තරග වල ඕනෑම කඩුල්ලක්‌ වෙනුවෙන් වාර්තා වී ඇති වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව පිහිටුවීමට සමත්වීය. එමෙන්ම ඔහු ද්විත්ව ශතක සංඛ්‍යාව 7 කි.

ඊයේ උදෑසන එස්‌. එස්‌. සී. පිටියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම සිය පුහුණුවීම් වල නිරත වූ නමුත් සවස්‌ කාලයේදී ඇද හැලූණු වර්ෂාව හේතුවෙන් ඔස්‌ටේ්‍රලියානු පිලට සිය පුහුණුවීම්වල නිරත වීමට තිබූ අවස්‌ථාව ගිලිහී ගියේය.

ආබාධයක්‌ හේතුවෙන් දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වූ රංගන හේරත් නැවතත් කණ්‌ඩායමට පැමිණ සිටින බැවින්, ඔහු නියත වශයෙන්ම දෙවැනි තරගයේදී මංගල ටෙස්‌ට්‌ වරම් ලැබූ සීකුගේ ප්‍රසන්න වෙනුවට ක්‍රීඩා කරනු ඇත.

එස්‌. එස්‌. සී. තණතීරුවේදී පළමු දිනය හෝ දෙක තුළ වේග පන්දු යවන්නන්ට දායකත්වයක්‌ දක්‌වනු ලබන බැවින් මෙම තරගයේදී බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්‌ඩායම වේග පන්දු යවන්නන් තිදෙනකු සමගින් අවතීර්ණ වීමට නියමිත බව වාර්තා වේ. එසේ වුවහොත් සුරාඡ් රන්දිව්ටද ස්‌ථානය අහිමිව යන අතර එහිදී තෙවැනි වේග පන්දු යවන්නා ලෙස ශමින්ද එරංග අද දිනයේදී මංගල ටෙස්‌ට්‌ වරම් ලබනු ඇත.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමද අද තරගයේදී වෙනස්‌ කම් දෙකක්‌ සිදුකරමින් තරගයට අවතීර්ණ වන අතර එහිදී මෙතෙක්‌ තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටින රයන් හැරිස්‌ සහ අංක 06 පිතිකරු ලෙස ක්‍රීඩා කරන ලද උස්‌මාන් කවාජා වෙනුවට පීටර් සිඩ්ල් සහ රිකී පොන්ටින් ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙහිදී තරගය පිළිබඳව අදහස්‌ දැක්‌වූ මයිකල් ක්‌ලාක්‌, තමන් ඇතුලූ කණ්‌ඩායම මෙම තරගාවලියට පැමිණියේ තරගාවලිය 3/0 ක්‌ වශයෙන් ජයගැනීමට වන බවත්, එහිදී දෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම ජයග්‍රහණය ගිලිහී ගියත් අද තරගය ජය ගනිමින් තරගාවලිය 2/0 ක්‌ ලෙස ජය ගනිමින් සිය රටට යැමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් සඳහන් කර සිටියේය.

තරග 2 කදී කඩුලූ 11 ක්‌ බිඳ හෙළමින් කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 14.54 ක අගයක්‌ රඳවා තබාගෙන සිටින හැරිස්‌ කලවයේ ඇතිවී තිබෙන මස්‌පිඩු ආබාධයක්‌ හේතුවෙන් ක්‍රීඩා නොකරනු ලබන අතර දෙවැනි තරගයේදී ෂෝන් මාෂ් ශතකයක්‌ රැස්‌ කිරීම සහ හිටපු නායක පොන්ටින් නැවතත් කණ්‌ඩායමට පැමිණීම මත කවාජාගේ ස්‌ථානය අද තරගයේදී ඔහුට අහිමිව යනු ඇත. පොන්ටින් ක්‍රීඩා කරනු ලබන අංක -03 පිතිකරු ස්‌ථානයේ ක්‍රීඩා කරමින් ශතකයක්‌ වාර්තා කළද අද තරගයේදී ෂෝන් මාෂ්ට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ කවාජා ක්‍රීඩා කරන ලද අංක 6 පිතිකරු ස්‌ථානයේය.

අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්‌ඩායම -

ටී.එම්.ඩිල්ෂාන් (නායක), කුමාර් සංගක්‌කාර, තරංග පරණවිතාන, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ප්‍රසන්න ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, රංගන හේරත්, චානක වෙලගෙදර, සුරංග ලක්‌මාල්, සුරාඡ් රන්දිව් හෝ ශමින්ද එරංග.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම

මයිකල් ක්‌ලාක්‌ (නායක), ෂේන් වොට්‌සන්, පිලිප් හියුස්‌, රිකී පොන්ටින්, මයිකල් හසී, ෂෝන් මාෂ්, බ්‍රැඩ් හැඩින්, මිචෙල් ජොන්සන්, පීටර් සිඩ්ල්, ට්‍රෙන්ට්‌ කෝප්ලන්ඩ්, නේදන් ලයන්.

1 comment:

කියන්න, බනින්න, ඔබේ අදහස්