Sunday, January 29, 2012

කි‍්‍රකට් වෙනස්කම් කණ්ඩායම ගැන සිතා. - කි‍්‍රකට් සභාපති

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය සහ පුහුණුකරු වෙනස් කිරීම කණ්ඩායමේ ඉදිරිය ගැන සලකා සිදුකළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සභාපති උපාලි ධර්මදාස පවසනවා. පුහුණුකරු ජෙෆ් මාර්ෂ් ඔහුගේ තනතුරින් ඉවත් කරනු ලැබුයේ වසර 2ක කොන්ත‍්‍රාත්තුවේ මාස 6ක කාලයක් පමණක් ගතවී තිබියදීයි. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සභාපතිවරයා සඳහන් කළේ දැන් පත් කර ඇති දකුණු අප‍්‍රිකානු ජාතික පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් 21 වැනි සියවසේ පුහුණුකරුවෙකුගෙන් අපේක්ෂා කරන කරුණු සපුරාලිය හැකි පුද්ගලයෙකු බවයි. ග‍්‍රැහැම් ෆෝඞ් 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසු  ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු ටෙ‍්‍රවර් බේලිස් ඉවත්වීමෙන් අනතුරුව නම් කෙරුණු හතර වන පුහුණුකරුයි.

තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වය වෙනස්වීම ද කණ්ඩායමේ මෙන්ම ඩිල්ශාන්ගේ කි‍්‍රකට් අනාගතයට යහපත් පියවරක් ලෙසයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සභාපතිවරයා හැදින්වූයේ. අමතර වගකීම්වලින් මුදාලීම නිසා ඩිල්ශාන්ට ඉදිරියේදී සිය ක‍්‍රීඩා පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා. පසුගිය කාලය තුළ එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, පාකිස්තානය සහ දකුණු අප‍්‍රිකාව සමග පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලි සියල්ලෙන් ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුණා. කෙසේ නමුත් දකුණු අප‍්‍රිකානු චාරිකාව ජයග‍්‍රාහී ලෙස අවසන් කිරීමට සමත් වූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළ මේ වන විට තුන්කොන් එක්දින තරගාවලියක් සදහා  ඕස්ටේ‍්‍රලියාව බලා ගොස් සිටිනවා. 


0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්