Friday, February 25, 2011

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ රු. 50 ටිකට්‌ එක 1500 ට විකුණලා

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට සම්බන්ධ සංවිධානාත්මක පිරිසක්‌ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ටිකට්‌පත් නියමිත මිලට වඩා අධික මිල ගණන්වලට විකිණීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

රුපියල් 50 ටිකට්‌ පතක්‌ රුපියල් 1500 වැනි ඉහළ මිල ගණන්වලට විකිණූ පුද්ගලයන් සිව් දෙනකු ටිකට්‌ පත් තොගයක්‌ද සමඟ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන් විසින් පිළියන්දලදී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් දෙදෙනකු ක්‍රිකට්‌ ආයතනයේ ආරක්‌ෂක නිලධාරීන් වන අතර අනෙක්‌ දෙදෙනා ආයතනයේ ස්‌වෙච්ඡා සේවකයන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම කූට ව්‍යාපාරයට ක්‍රිකට්‌ ආයතනයේම පිරිසක්‌ සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇත. එක්‌ පුද්ගලයකුට මිලදී ගත හැක්‌කේ ටිකට්‌ දෙකක්‌ පමණක්‌ බවට ක්‍රිකට්‌ ආයතනය විසින් නියම කර තිබුණ ද නියමිත මුදලට ටිකට්‌පත් සුළු ප්‍රමාණයක්‌ අලෙවි කර සෙසු ටිකට්‌ පත් මිටි පිටින් පිටතට ගෙන ගොස්‌ කළුකඩ මිලට විකුණා ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙලෙස වැඩිම ටිකට්‌ ප්‍රමාණයක්‌ කළුකඩ මිලට විකුණා ඇත්තේ රුපියල් 50 ටිකට්‌පත්ය. එම ටිකට්‌පත් රුපියල් 1500 වැනි වැඩි මිලට බොහෝ ප්‍රදේශවල අලෙවිකර තිබේ. මේ පුද්ගලයන් රුපියල් 50 ටිකට්‌පත් හාරදහසක්‌ පමණ ආයතනයෙන් පිටකර ඇතැයි ද වාර්තා වේ.

විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සිවිල් පුද්ගලයන් ලෙස යොදා මෙම ටිකට්‌පත් මිලදී ගෙන විකුණූ පුද්ගලයන් පිළිබඳව සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

වැඩි මිලට ටිකට්‌ විකිණීම ක්‍රිකට්‌ ලෝලීන්ට සිදුකරන ලොකු අසාධාරණයක්‌ බැවින් පොලිසිය ඒ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක්‌ ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

ඉකුත් දිනවල ක්‍රිකට්‌ ආයතනය මගින් රුපියල් 50 ටිකට්‌ පත් අලෙවි කළ අතර එම ටිකට්‌පත්වලට අධික ඉල්ලුමක්‌ පැවැතියද බොහෝ පිරිසකට ටිකට්‌පත් මිලදී ගැනීමට නොහැකි විය.

දිවයින ඇසුරෙනි

1 comment:

  1. පුදුම පිස්සුවක් නේ ඔකුන් මැච් බලන්නද යන්නේ අර ටිවි එකේ පෙන්වන විදියටනම් මට හිතන්නේ ඔකුන් ඔතනට යන්නේ ඩාන්සින් ස්ටාර් වෙන්න හික්

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්