Sunday, July 31, 2011

රුපියල් දෙලක්‍ෂයක් අහුලා දුන් ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ 5 වසරේ සචිනි


රුපියල් ශත වෙනුවෙන් "මිනිස්‌කම" උගස්‌ කර ඇති මිනිසුන් සිටින ලෝකයක, අනුන්ගේ දේ ලබාගෙන තාවකාලික සතුටක්‌ විඳීමෙන් ඵලක්‌ නැති බවට මානසික සිතුවම් ඇඳගන්නා මිනිසුන් සිටින්නේ කලාතුරකිනි. එවැනි "මිනිසත්කම" දොරේ ගලා යන සිතකින් යුත් පුංචි දැරිවියක්‌ ගැන ඇල්පිටිය ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණේ පසුගිය දිනකදීය.

ඒ රුපියල් දෙලක්‍ෂයකට වැඩි මුදලක්‌ පාරේ වැටී තිබියදී අහුලා ගෙනැවිත් ඇයගේ මව්පියන් සමග එකතු වී අයිතිකරුවන් සොයා ලබා දුන් පුවතයි. මෙවැනි උතුම් සද්ක්‍රියාවක්‌ සිදු කොට මනුෂ්‍යත්වයේ මහා මහිමය උපරිම අයුරින් කුළු ගැන් වූ මේ බෝසත් කතාව ඔවුන්ගේ හදවත්වලට පමණක්‌ සීමා නොකර, ලෝකයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම ඉඟිලි යැමට අත්තටු ලබාදිය යුතු යෑයි අපි සිතුවෙමු. එහෙයින්ම අපි ඒ උතුම් මිනිසුන් සොයාගෙන ඇල්පිටියට ගියෙමු.


        
                         
සචිනිගේ මව්පියන් ඇතුළු ඥතීන්...

ගතින් කුඩා වුවත් සිතින් මහා ගුණ නැණ සමුදායකින් යුතු ඒ බෝධිසත්ව ක්‍රියාවට මුල් වී සිටි මේ කුඩා දැරියගේ මව්පියන්ටම කියා නිවසක්‌ නොතිබිණි. ඔවුන් ජීවත් වූයේ ආච්චි අම්මලාගේ නිවසේය. අපි ඇල්පිටිය අවිත්තාව මාර්ගයේ බෝගහ හන්දියේ ඔවුන් පදිංචිව සිටින නිවසට ගොඩ වීමු.

"එන්න මහත්තයෝ වාඩි වෙන්න. දුව නම් ඉස්‌කෝලෙ ගිහිල්ලා. එයාගේ තාත්තා නම් ඉන්නවා. මම කතා කරන්නම්." දරුවාගේ මව යෑයි සිතිය හැකි කාන්තාවක්‌ එක දිගට වචන පෙළක්‌ මුදාහැරියාය.

මොහොතකින් අප ඉදිරියේ පෙනී සිටියේ කාලවර්ණයෙන් යුත් පෘෂ්ටිමත් දේහයකින් හෙබි ඇයගේ ස්‌වාමිපුරුෂයාය. අපි ඔහුගෙන් සිද්ධිය සැකවින් විමසා සිටියෙමු.

සචිනි කෝෂිලා ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ 5 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. ඇයගේ පියා වන සමන් කුමාර සිය ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් යැම රැකියාව කරගත්තෙක්‌ විය. ඇයගේ මව කලංසූරිය ආරච්චිගේ තුෂාරී දිල්රුක්‌ෂිය. සචිනිගේ එකම සහෝදරයා සොනාර නවෝද්‍ය යි. දරුවන් දෙදෙනාම උස්‌ මහත් කර ගනිමින්, තම මව්පියන්ව ද රැකබලා ගනිමින් ජීවන ඔරුව පැදයන්නට සමන්ට ඇති එකම හබල වූයේ ත්‍රිරෝද රථය යි. එය ජීවන ඔරුවක්‌ කරගනිමින් ඔවුන් ජීවත් වූයේ අගහිඟකම් දහසක්‌ හිස මත තබාගෙනය. එහෙත් සමන් මෙන්ම තුෂාරී ද පවුලේ සතුටට එය බාධාවක්‌ කර නොගත්තේය.

ඇල්පිටිය නගර මධ්‍යයේ ඉදි වූ ඇසළ තොරණේ අවසන් දිනය පසුගිය 20 වැනිදාට යෙදී තිබිණි. එහෙයින් සමන් තම දරුවන් දෙදෙනාට සහ ආදරණීය බිරිඳට නැවත වරක්‌ තොරණ පෙන්වීමට එක්‌ කරගෙන යැම අමතක නොකළේය. ඇල්පිටිය නගරය අතුරු සිදුරු නොමැතිව සැදැහැවතුන්ගෙන් පිරී ගොස්‌ තිබිණි. ඇසළ තොරණේ විදුලි බුබුළු නිවී යැමට තිබුණේ තවත් හෝරා කිහිපයක්‌ පමණි. ඇස්‌ කපා යන විදුලිය අහසේ රේඛා මවා පෑය. ඈත අහසේ හෙණ ගෙඩි දෙකන් බිහිරි කරමින් පුපුරා ගියේය. සුළඟ රකුසු වෙස්‌ ගෙන අතු ඉති කරකවමින් මහ වැස්‌සකට පෙර නිමිති පහළ කරමින් සිටියේය.

"තාත්තෙ වැස්‌සක්‌ එන්න වගේ. මල්ලි පැට්‌ටත් නිදි අපි ගෙදර යමුද?" පුංචි සචිනි තාත්තාට ඇවිටිලි කළාය.

සචිනිගේ පියා ඇයගේ අතින් අල්ලාගෙන ත්‍රිරෝද රථය නතර කර තිබූ පැත්තට ගමන් කළේය. සුවසේ නිදා සිටින පුංචි සොනාරවත් තුරුළු කරගෙන සචිනිගේ මවත් ඔවුන්ගේ ගමනට එකතු විය.

ත්‍රිරෝද රථය අසළ පාරේ වැටී තිබූ කළු පැහැති බෑගය පයෙන් ඉවත් කරමින් සචිනිගේ මව ත්‍රිරෝද රථයට ගොඩ විය. එහෙත් පුංචි සචිනි දෙවරක්‌ නොසිතා බෑගය අතට ගෙන එය විවෘත කරමින් ඇතුළත විපරම් කළේය. ඇදහිය නොහැකි වී සචිනි භීතියට පත් වූවාය.

"තාත්තෙ මේක ඇතුළේ සල්ලි තියෙන්නෙ." පුංචි සචිනි කෑමොර දුන්නාය.

සචිනිගේ මව එක පාරටම බෑගය අතට ගෙන "දෙයියනේ මේකේ සල්ලි ගොඩක්‌ නේ මහත්තයෝ"

තුෂාරීගේ හඬත් සමග පණ ගන්වා තිබූ ත්‍රිරෝද රථය එක පාරටම සමන් නතර කළේය. ඔවුහු එකිනෙකා ගොළු වූහ. සතුට දෝරේ ගලා සිත්වලට උභතෝකෝටික ප්‍රශ්න ගලා ආවේය. ගත වූයේ නිමේෂයකි.

"අනේ තාත්තෙ මට බයයි. මේක අපි පොලිසියට ගිහින් දෙමු." පුංචි සචිනි මහ හඬින් හඬන්නට වූවාය.

සමන් ඔවුන්ගේ හිතවතකු වන ජානක සූරියආරච්චිට දුරකථන ඇමතුමකින් සිද්ධිය විස්‌තර කළේය. ජානක දුර්දර්ශීව සිතමින් ඔහු ඉන්නා තැනට සමන්ට එන්නැයි කීවේය. සමන්ගේ ත්‍රිරෝද රථයට පියාපත් ලැබිණි. මොහොතකින් ජානක සිටි ස්‌ථානයේ සමන්ගේ ත්‍රිරෝද රථය නතර විය. ජානක පාර්සලය ගෙන හොඳින් පරීක්‍ෂා කර බලා එහි රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌ දහසකට වැඩි මුදලක්‌ ඇති බව නිගමනය කළේය. මඟ තොටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව තේරුම් ගත් සියල්ලෝම සමන්ගේ මහ ගෙදරට ගියේ සිදු විය යුත්තේ කුමක්‌දැයි කියා සාකච්ඡා කිරීමටය.

"අනේ.. තාත්තෙ අපිට ඉස්‌කෝලේ මිස්‌ කියලා තියෙන්නෙ අනුන්ගේ දේවල් ගන්න එපා, ඒක හරි පව් වැඩක්‌ කියලයි. අනේ.. ජානක මාමේ මේ පාර්සලය අපි පොලිසියට ගිහින් දෙමු." සචිනිගේ හැඩීම තීව්‍ර විය.

ඔවුන් බෑග් එක ඇතුළේ තිබූ මුදල් පිටතට නොගෙන තවත් මොනවා හෝ දෙයක්‌ තියෙනවාද කියා ලයිට්‌ එළියට අල්ලමින් හොඳින් බැලුවේය. ප්‍රයත්නය සාර්ථකය. සේවා හැඳුනුම්පතක්‌ සහ බැංකු පොතක්‌ ඔවුන්ගේ ඇස ගැටිණි. හැඳුනුම්පත සහ බැංකු පොත අතට ගෙන හොඳින් පරීක්‍ෂා කළ ජානක මුදල් පාර්සලේ හිමිකරු නාරංඕවිට පොරවගම පදිංචි අමරසිංහ ආරච්චිගේ ධර්මදාස නමැත්තා බවට තහවුරු කර ගත්තේය. ඔවුහු සැවොම තීරණයකට එළඹුණහ. ඒ රෑ එළිවෙන්නට පෙර මේ මුදල් පාර්සලේ හිමිකරු සොයා ලබා දිය යුතු බවටය.

ජානකගේ මෝටර් රථයෙන් මෙන්ම සමන්ගේ ත්‍රිරෝද රථයෙන් ද සචිනිත් සමග සියල්ලෝම පොරවගම ධර්මදාසලාගේ නිවස සොයා යන "මනුෂ්‍යත්වයේ" ගමන ආරම්භ කළෝය. ඇල්පිටියට ගම්මාන දෙක තුනකට එහෙයින් පොරවගම පිහිටා තිබූ හෙයින් පොරවගම ගැන ඔවුන් හොඳින් දැන සිටීයහ. නමුදු ධර්මදාසලාගේ නිවස පිහිටා ඇති ඉසව්වක්‌ ඔවුන් කිසිවකු දැන සිටියේ නැත. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. දවස අවසන් වීමට ඇත්තේ තවත් හෝරාවක්‌ පමණි. චන්ද්‍රයාගේ ආලෝකය වැසි දෙවියෝ සොරාගත් සේය. ඝන අන්ධකාරය අතරින් අප ඉදිරියට එන්නේ හුලුඅත්තක්‌ අතින් ගත් කාන්තාවක්‌ සහ ළමයින් දෙදෙනෙකි.

"අක්‌කෙ විදුලිබල මණ්‌ඩලයේ වැඩ කරන ධර්මදාසලාගේ ගේ තියෙන්නෙ කොහෙද? ජානක හඬ මුදාහැරියාය."

"බුදු මහත්තයෝ එයාට කරදරයක්‌ද? ඒ මගේ මහත්තයා. මේ එයාගේ දරුවෝ. එයා උදේ වැඩට ගිහින් තවම ගෙදර ආවේ නැති නිසා අපි මේ බලන්න යනවා. අනේ මහත්තයෝ එයාට කරදරයක්‌ ද කියන්න." හීන්දෑරි කාන්තාවක්‌ එක දිගට වචන පෙරළුවාය.

එහෙම කරදරයක්‌ නැහැ. අපි ආවේ උදව්වක්‌ කරන්න. යමු ගෙදරට..

ඒ නිවස පස්‌ දෙනකුට ජීවත් වීමට තියා දෙදෙනකුටවත් වසන්නට නොහැකි තරම් කුඩා කාමරයකි. එහෙත් ඔවුන් පස්‌ දෙනා ගුලී වී නිදන්නෙ ඒ පුංචි කාමරයේ විය.

අමරසිරි ආරච්චිගේ ධර්මදාස දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔහුගේ බිරිඳ පාලිකා රංජනීය. ධර්මදාස සීනිගොඩ විදුලිබල මණ්‌ඩලයේ අර්ධ පුහුණු කාර්මික සේවකයෙකි. ධර්මදාස උදෙන්ම නිවසින් පිටව ගොස්‌ ඇත්තේ ඔවුන්ට අලුත් නිවසක්‌ තනාගැනීමට බැංකුවෙන් ඉල්ලූ ණය මුදල් පාස්‌ වී ඇති හෙයින් එය ලබාගැනීමටය. එදින ඔහු ඉක්‌මනට එන බව ද තම බිරිඳට පවසා තිබිණි.

ධර්මදාසට කුමක්‌ සිදු වී ඇත්දැයි නොදන්නා බවත්, ඇල්පිටිය නගර මධ්‍යයේ තිබී මේ මුදල් පාර්සලය සහ බැංකු පොත මගේ දරුවා ඇහිලූ බවත් සමන් කුමාර පවසමින් ධර්මදාසගේ බිරිඳගේ දෝතට මුදල් පාර්සලය දුන්නේය. ඇය එය දෝතින්ම ලබාගෙන සචිනිට පිං දුන්නේය. ස්‌තූති ද කළාය. සචිනිගේ සීදේවී මුහුණ අඳුර මකන්නට පැයූ සඳක්‌ මෙන් බැබලිණි. වැහි බිංදු මොරගෙඩි මෙන්ම කඩා හැලිණි. රාත්‍රිය සීතල වුවද ඔවුන්ගේ හදවත් උණුසුම්ය. ඒ ඔවුන් යන තැනට එකතු කරගත් පුණ්‍යකර්මය නිසා සේය.

"අපි පස්‌සෙයි දැනගත්තේ මිනිහා බැංකුවෙන් සල්ලිත් අරගෙන පදමට සූර වෙලා මඟ කොහේද නිදාගෙන උදේ ගෙදර ගිහින් තියෙන බව. මිනිහා දවස ගානෙම අරක්‌කු බොන කෙනෙක්‌ලු." අපේ කතාව සමන් වෙනත් පැත්තකට යොමු කළේය.

සමාජයේ ඇතැම් මිනිස්‌සු නිවසේ අගහිඟකම් ඉහවහා යන කොට මත්වතුර ළං කර ගන්නා බව නොරහසකි. එයට ඇති කදිම නිදර්ශනය ධර්මදාසය. ඔහු රජයේ රැකියාවක නිරත වී සිටිය ද ඔහුට තවම හරි හැටි නිවසක්‌ තනා ගැනීමට නොහැකි වී ඇත. පවතින ආර්ථික ක්‍රමය යටතේ දරුවන් තිදෙනකු උස්‌මහත් කරමින්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කළ පසු වෙනත් දෙයක්‌ ගැන සිතීම සිතළුවක්‌ පමණක්‌ බව අපිදු දනිමු. එසේ යෑයි සිතා ධර්මදාසට සමාවක්‌ දිය නොහැකිය. ඔහු දිනපතා මත්වතුරට වියදම් කරන මුදල කොපමණ වේද? එමෙන්ම ඔහු නිවස තනාගැනීමට බැංකුවෙන් ගත් විශාල ණය මුදල ආරක්‍ෂා කරගැනීමට පවා නොහැකි "බේබද්දෙකි." ඒ මුදල් පාර්සලය මිනිසත්කම හඳුනන අහිංසක මිනිසුන්ගේ නෙත ගැටුණේ ධර්මදාසගේ දරුවන්ගේ පිනකටය. නැති නම් ඊට පෙරදා ධර්මදාස ඔවුන්ගේ පුංචි පැලට යන්නේ ගම්මුන්ගේ කර මතිනි. ඒ මුදල් නොලැබුණා නම් ධර්මදාස ජීවිතය විනාශ කර ගැනීමට තීරණය කර සිටි හෙයිනි. මේ කතාව අපේ සමාජයේ තවත් ධර්මදාසලාට ආදර්ශයකි.

තුෂාරි සහ සමන් මාරුවෙන් මාරුවට සිදුවීම එසේ විස්‌තර කළේය. ඒ අතරට සචිනිගේ ආච්චි අම්මා මෙවැනි වචන පෙළක්‌ මුදාහැරියාය.

"මහත්තයෝ අපි දුප්පත් තමයි ඒත් අපේ ළමයි ගුණයහපත්කම්වලින් පොහොසත්. මගේ පුතා සතෙකුටවත් හිංසාවක්‌ කරන්නෙ නැති කෙනෙක්‌. ඒ වගේම කිසිමදාක සිගරට්‌ එකක්‌වත්, මත්වතුර ටිකක්‌වත් කටේ තියලා නැහැ. ඒ දරුවාගේ ලේ තමයි මගේ මිණිපිරියගේ ඇගේ දුවන්නේ. මගේ පුංචි කෙල්ලත් කාගෙන්වත් හොඳක්‌ මිස දොසක්‌ අහන්නෙ නැහැ. කන්න නැති වුණොත් වතුර ටිකක්‌ බීලා නිදා ගන්නවා. අපිට අනුන්ගේ දේවල් ඕනෑ නෑ." රැලි වැටුණු මුහුණින් සිහින් සිනා රැල්ලක්‌ දිස්‌ විය.

අපි සචිනිගේ මව්පියන්ගෙන් සමුගෙන ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට ගියෙමු. විවේක කාලය හඟවන සීනුව නාද විය. රොනට ඇදෙන සමනලුන් මෙන්, පුංචි පැටවු වතුර කරාමය අසලට දිව ගියහ. අපිදු ඒ සුන්දර සමනල පැටවු දෙස මොහොතක්‌ බලා සිටියෙමු. අපේ කාලේ බෝසත් ගුණැති පුංචි සචිනි සමග කතා කිරීමට අපි නොනිමි ආශාවකින් පසු වීමු. ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනියගේ අවසර ඇතිව අප සචිනි සමග කතා කළෙමු. ඇයගේ මුවින් පිට වූයේ මෙවන් වදන් පෙළකි.

"අපිට ඉස්‌කොලේ මිස්‌ලා සර්ලා කියලා දීලා තියෙන්නෙ අනුන්ගේ දේවල් ගන්නා එපා කියලයි. ඒක මට ඒ වේලාවේ මතක්‌ වුණා. මම තාත්තාට කියලා ඒ සල්ලි අයිතිකාරයන්ට දුන්නා. මට කියන්න තියෙන්නෙ ඒක නෙවෙයි. අපේ පාසල ආනන්ද විද්‍යාලයෙන් වෙන් කරන්න හදනවා. ජනාධිපතිතුමාට කියන්න අපිව වෙන් කරන්න දෙන්න එපා කියලා. අපිට ඉගෙන ගන්න තියෙන්නෙ මෙච්චරයි නේ." එය සචිනිගේ දුක්‌ගැන්විල්ලක්‌ පමණක්‌ නොව ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු ශිෂ්‍ය දෙපාර්ශ්වයේම එකම දුක්‌ගැනවිල්ල ද විය.

ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුභවතුන්ගේ පමණක්‌ නොව පුංචි සචිනිගේ ද ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවායි පතන අතර සචිනිලාගේ මේ බෝසත් කතා පුවතින් මතු වී පෙනෙන තවත් යථාර්ථයක්‌ තිබේ. එනම් අද අප ජීවත් වන්නේ මිල මුදල ගැන සිතන සිතුම්වලින් කිළිටි වී ගිය මිනිසුන්ගේ පිරී ඉතිරි ගිය මඩ ගොහොරුවක්‌ වැනි සමාජයකය. අසීමිත ආශාවන් පමණක්‌ නොව ඒවායෙහිම අවසානය වන තවත් ශෝකි ෙ€දාන්ත රැසකටත් සමාජය අද සරු කෙතක්‌ වී තිබෙන්නේත් මේ නිසාය. මෙවන් පසුබිමක කුසට හරි හැටි අහරක්‌ පමණක්‌ නොව ඉණට හරි හැටි වතක්‌ හෝ නැති වුණත් එම මඩ ගොහොරුවට වැටී ජීවත්වනු වෙනුවට මිය යනු යෙහෙකැයි සිතන මිනිසුන් ලොව සිටින්නේ නම් ඒ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්ය. පුංචි සචිනිත්, ඇයගේ පවුලේ අයත් වැටෙන්නේ එවැනි දුර්ලභ වූද උදාරතම වූද විශිෂ්ට මිනිසුන් කොටසකගේ ගණයකටැයි අපි සිතමු. ගම රට පමණක්‌ නොව ඉන් ඉක්‌බිතිව ලොවද යහදහමින් සුවඳවත් වී ගොඩ නැගෙන්නේ මෙවන් බෝසත් මිනිසුන්ම සිටින පසුබිමකය.

ඉරිදා දිවයින ඇසුරිනි

4 comments:

  1. මෙහෙම ළමයි ඉන්නවයි කියන එකත් පුදුමයික්....

    ReplyDelete
  2. අහන්නත් සන්තෝසයි මේ වගේ මිනිස්සුත් තාම සිටින එක ගැන.....එහෙව් මිනිසුන්ට
    මගේ ආචාරය..

    ReplyDelete
  3. අනිවාර්යයෙන් මෙහෙම දෙයක් ලැබුනොත් වෙන කෙනෙක්නන් දෙන එකක් නැ....පුංචි හිත් මල් වගේ කියන්නේ එකනේ....යමක් නැති වුන වේදනාව දැනෙන්නේ එය නැති වුන කෙනාටයි කියනවනේ..... කියල වැඩක්‌ නැ ඉතාමත් හොද වැඩක්‌ කරලා තියෙන්නේ......

    ReplyDelete
  4. ගොඩක් ආදර්ශමත් ළමයෙක්.

    අපි නෙළුවේ....

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්