Tuesday, July 5, 2011

දිනේෂ් චන්දිමාල් ශතකය ලබා ගැනිමෙන් අනතුරුව නායකයින්ගේ අදහස්


දෙවැනි තරගයේ සිට සුපුරුදු දස්‌කම් අතරට පැමිණීමට සමත්ව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂතා ඉදිරි තරග දෙකේදීත් එලෙසින්ම පවත්වාගත හැකි වුව හොත් එංගලන්තය සමඟ එක්‌දින තරගාවලිය පහසුවෙන්ම ජය ගත හැකි බව ශ්‍රී ලංකා නායක ටී. එම්. ඩිල්ෂාන් පවසයි.

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා-එංගලන්ත එක්‌දින තරගාවලිය යටතේ ලෝඩ්ස්‌හිs පෙරේදා (03 දා) පැවැති තෙවැනි තරගයෙන් එංගලන්ත පිල පරදා කඩුලු 6 ක පහසු ජයක්‌ ලැබීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත්විය. එම තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඩිල්ෂාන් සිය අදහස්‌ දක්‌වා සිටියේය.

"අපි දෙවැනි සහ තෙවැනි තරගවලදී හොඳින් ක්‍රීඩා කළ නිසා තරග ජයගැනිමට හැකි වුණා. මේ වගේම ඉදිරි තරග දෙකේදීත් ක්‍රීඩා කිරීමට හැකි වුණොත් අපිට තරගාවලිය පහසුවෙන්ම ජය ගන්න පුලුවන්" යනුවෙන් ඩිල්ෂාන් සඳහන් කරයි.

අදාළ තරගාවලිය යටතේ ඕවල්හි පැවැති පළමු තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 110 ක පරාජයක්‌ ලැබුවද දෙවැනි තරගයෙන් ලකුණු 69 ක ජයක්‌ සහ තෙවැනි තරගයෙන් කඩුලු 6 ක ජයක්‌ ලැබීම මත මේ වන විට තරගාවලිය 2-1 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී සිටියි.

තෙවැනි තරගයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි ඉනිමක්‌ ක්‍රීඩා කළ 21 හැවිරිදි ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පන්දු 126 කදී නොදැවී ලකුණු 105 ක්‌ (හයේ පහර 2 යි හතරේÊපහර 11 යි) වාර්තා කිරීමට සමත්විය. චන්දිමාල්ගේ දෙවැනි ශතකය ලෙසින් මෙම ශතකය වාර්තා වූයේ ඔහු සහභාගිවූ හයවැනි එකදින තරගයේදී වීම විශේෂත්වයක්‌ වේ.

"ශතකයක්‌ ලබා ගැනීම ඕනෑම පිතිකරුවකුට විශේෂ දෙයක්‌. එහෙත් ලෝඩ්ස්‌හි ශතකයක්‌ ලබා ගන්නවා කියන්නේ තවත් ඉතා සුවිශේෂයි. එය චන්දිමාල්ටත් එහෙමයි. ඔහු මෙම තරගයේදී පන්දුවට පහර දෙමින් තරගය නිමා කළේ පරිණත ක්‍රීඩකයකු ක්‍රීඩා කරන අන්දමිනුයි. මෙය ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රීඩාවට හොඳ පෙර නිමිත්තක්‌" යනුවෙන් ලෝඩ්ස්‌ ක්‍රීඩා පිටියේ චන්දිමාල් ලද ශතකය පිළිබඳව ඩිල්ෂාන් අදහස්‌ දැක්‌වීය.

මෙහිදී චන්දිමාල්ට ශතකය ලබා ගැනීම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්‌ ලකුණු ලබා ගැනීමෙන් වැළකී සිටි අතර එය ඩිල්ෂාන්ගේ කණස්‌සල්ලට හේතුවූ අයුරක්‌ දැක ගැනීමට හැකි විය.

හතළිස්‌ තුන්වැනි පන්දු වාරයේ පස්‌වැනි පන්දුවේ සිට පන්දුවට පහරදීමට පිටියට පිවිසි මැතිව්ස්‌ එහිදී මුහුණ දුන් පන්දු 21 කදී රැස්‌ කරගන්නා ලද්දේ එක්‌ ලකුණක්‌ පමණි.

"ඔවුන් ඒ වෙලාව ක්‍රීඩා කළ විදියට ඇත්තටම මට පොඩි කලකිරීමක්‌ ඇති වුණා. ළාබාල ක්‍රීඩකයන් නිසා ඔවුන් හැම තිස්‌සේම තරගයකදී බොහෝ දේවල් ඉගෙන ගන්නවා" යනුවෙන් ඩිල්ෂාන් පවසයි.

චන්දිමාල්ට ශතකය ලබා ගැනීම සඳහා 47 වැනි පන්දුවාරයට මුහුණ දුන් මැතිව්ස්‌ එහිදී එක්‌ ලකුණක්‌ හෝ ලබා නොගැනීමට වගබලා ගත්තේය.

මේ පිළිබඳව එංගලන්ත නායක ඇලෙස්‌ටෙයාර් කුක්‌ සඳහන් කර සිටියේ මෙවැනි සිදුවීම් දෙස ක්‍රිකට්‌ ලෝකය බලන්නේ කලකිරීමකින් බවයි.

මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් ලකුණු 119 ක්‌ ලබාගනිමින් පිත්තෙන් දස්‌කම් දැක්‌වූ කුක්‌ ඒ පිළිබඳව වැඩිදුරටත් මෙසේ අදහස්‌ දැක්‌වීය.

"ඒක හරි වෙනස්‌ සිදුවීමක්‌. මේ වගේ සිදුවීමක්‌ මීට පෙර මම කවදාවත් දැකලා නැහැ. ඔවුන්ට ඒ දෙය කිරීමට අවශ්‍ය නම් ඒ දේ කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒත් ඒ අයුරින් ක්‍රීඩා කිරීම එක්‌තරා දුරටකට පුදුම සහගතයි. ඒ දෙස ක්‍රිකට්‌ ලෝකය බැලුවේ කලකිරීමකිනුයි" සඳහන් කර සඳහන් කර සිටියේය.

දෙරට අතර සිව්වන තරගය මෙම හෙට (6දා) නොටින්හැම්හිදී පැවැත්වේ.

1 comment:

  1. පුළුවන්නං ගහගන්න කියලා එක ලකුණක් ගහලා අනික් පැත්තට යන්නයි මැතිව්ස්ට තිබුණේ. කණ්ඩායමේ ජයග්‍රහණය ගැන මුලින්ම හිතන්න එපායැ නේද?

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්