Saturday, July 23, 2011

ආසනික්‌, කැල්සියම් ආසනේට්‌, කිවුල සහ ලෙඩ රෝග

ආසනික්‌ පිළිබඳව හා කිවුල් ජලයේ නිර්මාණය වන කැල්සියම් ආසනේට්‌ සංයෝගය පිළිබඳව කතාබහක්‌ ඇති වී තිබේ. පළමුවෙන් ම අපි ජලයේ කිවුල යන්න පිළිබඳව පවතින විද්‍යාත්මක පදනම විමසා බලමු.

කිවුල් ජලය ලෙසින් විද්‍යාත්මකව හඳුන්වනුයේ කැල්සියම් හා මැග්නීසියම් අධික ජලයයි. Ca හා ඵට අධික පාෂාණ වන හුණුගල්, ඩොලමයිට්‌, කැල්සියම් ආදිය ජීර්ණය වීමෙන් භූගත ජලයට අධික සාන්ද්‍රණයකින් මේ අයන එක්‌ වේ. කිවුල් ජලය හෙවත් කඨින ජලය වර්ග ද්වයකි. ඒ, තාවකාලික කඨිනත්වය හා ස්‌ථිර කඨිනත්වය ලෙසිනි. තාවකාලික කඨිනත්වය ඇති වනුයේ කැල්සියම් හා මැග්නීසියම් බයිකාබනේට්‌ හේතුවෙනි. එය ජලය නටවා නිවීමෙන් ඉවත් කළ හැකි ය. ජලය නැටවීමේ දී කැල්සියම් හා මැග්නීසියම් බයිකාබනේට සංයෝග වෙන් වේ. පසුව ජලයේ අද්‍රාව්‍ය කාබනේට සංයෝග තැනේ. මේ ජලය පෙරීමෙන් අද්‍රාව්‍ය කාබනේට සංයෝග ඉවත් කර පානයට ලබාගත හැකි ය. එහි දී සිදු වන ප්‍රතික්‍රියාව අපට මෙසේ දැක්‌විය හැකි ය.

Ca(HCO3)2 (aq)→ CO2(g)+ H 2O(l)+CaCO3(s)
Mg(HCO3)2 (aq)→ CO2(g)+ H2O(l)+MgCO3(s)

ජලය නටවා ඉවත් කරගත හැකි මේ කඨ§නත්වය තාවකාලික කඨිනත්වය ලෙස හැඳින්වේ. මීට අමතරව ජලයේ දිය වී ඇති සල්ෆේට්‌, ක්‌ලෝරයිඩ ආදිය ජලයේ කඨ§නත්වය කෙරෙහි සුළු බලපෑමක්‌ ඇති කරයි.

ස්‌ථිර කඨිනත්වය ඇති වනුයේ කැල්සියම් හා මැග්නීසියම් කාබනේට හේතුවෙනි. එය ඉවත් කර ගැනීම අපහසු ය. කඨ§නත්වය නැත හොත් කිවුල රසායන විද්‍යාවේ දී ප්‍රකාශ කරනුයේ CaCO3 සාන්ද්‍රණය ලෙසිනි. එසේ CaCO3 සාන්ද්‍රණය ලීටරයට මිලිග්‍රෑම් 60-120

(60-120mg/L))ත් අතර නම් එම ජලය මධ්‍ය කිවුල් ජලය ලෙසත්, 120-180 mg/L අතර නම් කිවුල් ජලය ලෙසත්, 180ට අධික නම් අධික ලෙස කිවුල් ජලය ලෙසත් ගැනේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බෙහොමයක්‌ ප්‍රදේශවල ජලය අධික කිවුල් ජලය හෝ කිවුල් ජලය වේ. මේ ප්‍රදේශ අතරට ඇඹිලිපිටිය, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව මෙන්ම යාපනය ද අයත් වේ.

ජල භූ රසායන විද්‍යාවට අනුකූලව ජලයේ කිවුල හෝ කඨ§නත්වයට ප්‍රබලව බලපානුයේ Ca, Mg මූලද්‍රව්‍ය හා ඒවායේ කාබනේට බයිකාබනේට ප්‍රභේද පමණකි. එසේ ම ජලයේ කඨ§නතාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ වන්නේ නම් ඒ එහි ඇති තාවකාලික හෝ ස්‌ථිර කඨිනත්වය පමණකි. එනිසා කඨ§න ජලය හම්බන්තොටින් වේ වා පදවියෙන් වේ වා වෙනත් ප්‍රදේශයකින් වේ වා නියෑදි දෙකක්‌ ගත් කල ඒවායේ වෙනසක්‌ ඇති වන්නේ නම් ඒ Caල ඵට බයිකාබනේට හා කාබනේට සාන්ද්‍රණ පමණකි.

දැන් අපි කැල්සියම් ආසනේට්‌ සංයෝගය පිළිබඳව විමසා බලමු. කැල්සියම් ආසනේට්‌ (Ca3(AsO4)2 යනු අධික විෂ සහිත සංයෝගයක්‌ බැව් සැබෑ ය. එහෙත් මේ ද්‍රව්‍යය ජලයේ ඉතා ම අඩුවෙන් ද්‍රවණය වන සංයෝගයකි. එය ජලයේ දිය කිරීම ඉතා අපහසු ය. මේ සංයෝගය මිනිසා විසින් කෘමිනාශක කෘෂි රසායන ද්‍රව්‍යයක්‌ ලෙසට භාවිත කොට ඇත. පසුව ලෙඩ් ආසනේට්‌ හා කැල්සියම් ආසනේට්‌වල විෂ ස්‌වභාවය හේතුවෙන් එවැනි අකාබනික ආසනික්‌ ප්‍රභේද කෘමිනාශක ලෙස භාවිත කිරීම අප රටේ ද ඇතුළුව නොයෙකුත් රටවල තහනම් කිරීමට ලක්‌ විය. කැල්සියම් ආසනේට්‌ ස්‌වාභාවිකව නිර්මාණය වේ නම් ජල භූ රසායනයට අනුව එය අතිශය වටිනා කාරණයකි. මන්ද යත් කැල්සියම් ආසනේට්‌වල අඩු ද්‍රdව්‍යතාව හේතුවෙන් ඒවා තැන්පත් වී ආසනික්‌ ජලයේ දිය වී තිබෙනවාට වඩා අඩු විෂ තත්ත්වයක්‌ එමගින් ඇති වන නිසා ය. මේ විද්‍යාත්මක ක්‍රමය හේතුකොට බටහිර රටවල් බොහොමයක්‌ ජලයෙන් ආසනික්‌ ඉවත් කිරීම සඳහා කැල්සියම් භාවිත කරනු දක්‌නට හැකි ය.

අනෙක්‌ කාරණය වන්නේ කැල්සියම් ආසනේට්‌ හේතු කොට වකුගඩු රෝගී තත්ත්ව ඇති වීමේ සාක්‌ෂි සොයාගැනීමේ අපහසුතාවයි. සාමාන්‍යයෙන් ආසනික්‌ විෂ වීම් මගින් ඇති වනුයේ පිළිකා හටගැනීම් ය. ආසනික්‌ හා කැල්සියම් ආසනේට්‌වල දීර්ඝකාලීන විෂභාවය සෙවීම සඳහා ලෝකය පුරා කර ඇති පර්යේෂණ පත්‍රිකා බොහොමයක සඳහන් වනුයේ ද සමේ, අක්‌මාවේ පිළිකා තත්ත්වයන් ය. කැල්සියම් ආසනේට්‌ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කර නිපදවූ ආහාර මගින් කළ පර්යේෂණයක දී තහවුරු වී තිබුණේ ද එමගින් ඇති විය හැක්‌කේ සමේ පිළිකා තත්ත්වයන් බවයි. එහෙත් කැල්සියම් ආසනේට්‌ බීමෙන් පමණක්‌ වකුගඩු රෝගී තත්ත්ව ඇති විය හැකි බැව් පෙනී ගොස්‌ ඇත.

විද්‍යාත්මක සත්‍යතාව සලකා බලන කල ආසනික්‌ අපේ ආහාරයේ ජලයේ දක්‌නට හැකි සංයෝගයකි. එහෙත් අප බිය විය යුතු වනුයේ එහි සාන්ද්‍රණය හෝ අප විසින් ලබා ගන්නා මාත්‍රාව අධික ලෙස ඉහළ නම් පමණකි. දැනට පවත්නා විද්‍යාත්මක සාධක සලකා බලන කල අපට බිය විය යුතු තත්වයක්‌ උදා වී නැත. එසේ ආසනික්‌ පස සමග මිශ්‍ර වී ඇත්නම් කන්න දෙකක්‌ පළිබෝධ නාශක නොමැති ව වගා කිරීමෙන් ප්‍රශ්නය නිරාකරණය වන්නේ ද නැත. බැර ලෝහ පරිසරයේ බොහෝ කල් රඳා පවතින බැවින් එලෙස කන්න දෙකක්‌ වගා නො කර සිටීමෙන් හෝ පළිබෝධනාශක නො යෙදීමෙන් ප්‍රශ්නය නො විසඳේ.

අප පානය කරන ජලයේ ද ආසනික්‌ හමු වේ. ඒ අංශු මාත්‍ර ප්‍රමාණයකිනි. ලීටරයකට මයික්‍රොග්‍රෑම් 1-5ත් අතර ප්‍රමාණයකින් ආසනික්‌ ජලයේ දක්‌නට ලැබීම සාමාන්‍ය ය. ශ්‍රී ලංකාවේ උණු වතුර ළිං ජලයේ ද ආසනික වැඩි වශයෙන් දක්‌නට හැකි ය. ශ්‍රී ලංකාවේ සහල්වල ද ආසනික්‌ ඉතා සුළු වශයෙන් දක්‌නට තිබේ. එම අගයන් ද ලෝකයේ අනෙකුත් සහල් නිපදවන රටවල් හා සැසැඳීමේ දී අඩු ප්‍රමාණයකි. අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවල සඳහන් ආකාරයට ශ්‍රී ලංකාවේ සහල්වල ආසනික්‌ පවතින සාමාන්‍ය අගය 0.2 mg/kg පමණ වේ. මේ තත්ත්වය ශරීරයට හානිදායක නො වන ප්‍රමාණයක්‌ බැව් විද්‍යාත්මකව සනාථ කර ඇත. 

විදුසර ඇසුරිනි

1 comment:

  1. ස්තූතීයි. උතුරු මැද සහ උතුරු පළාත් වල ජලයේ කිවුල සමග අදික කැල්සියම් තත්වයක් පවතින බව දැන සිටියෙමි. එම පළාත් වල සේවය කළ නිසා වතුර පයිප්ප වල සහ වතුර වලින් සෝදා තැබූ වීදුරු වල පවා කැල්සියම් වැනි සුදු පැහැති යමක් තැන්පත්ව ඇති බව දැක තිබේ. රසායනික පැහැදිලි කිරීමට ස්තූතියි.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්