Thursday, January 5, 2012

අකුණු ගැන විද්‍යාත්මක ඇසින්

අකුණු ගැන කතා කරන විට නිතැතින් ම අපේ හිත දුවන්නේ බියකරු පැත්තකට වුව ද ලෝකයේ ජීවය ආරම්භ වීමට (සම්භවයට) මෙන්ම ජීවය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට අකුණු විශාල ලෙස දායක වී ඇත. අකුණු නො තිබුණා නම් අද අප ජීවත් වන ලෝකය අපට ජීවත් වීමට සුදුසු ස්‌ථානයක්‌ නො වීමට ඉඩ තිබිණි. එනම් පෘථීවියේ උපතට අකුණු ගැසීම හේතු වූවා සේ ම ජීවය අඛණ්‌ඩව පවත්වා ගැනීමට ද ආධාර විය. මිනිස්‌ වර්ගයා ගේ වර්ධනයත් ව්‍යාප්තියත් සමඟ ක්‍රමයෙන් මෙවැනි ආපදා වාර්තා වීම ද ඉහළ යමින් තිබේ. එබැවින් අකුණු ගැන දැනුවත් වීම අකුණු අනතුරුවලින් බේරීමට තිබෙන පහසු ම මාර්ගයයි.

මිනිසුන්ට මෙන්ම අනෙක්‌ ජීවීන්ට හා ස්‌වාභාවික පරිසරයට හානි සිදු කරන මේ ස්‌වාභාවික විපතින් සිදු වන අනතුරු අවම කිරීමට හා වළක්‌වා ගැනීමට පෙර අකුණු පිළිබඳව විද්‍යාත්මකව බැලීම කාලෝචිත ය. සිදු කර ඇති විද්‍යාත්මක පරීක්‍ෂණවලට අනුව වායුගෝලයත්, ලෝක ගෝලයත් ආරම්භ වීමට වර්ෂ මිලියන 4500කට පමණ පෙර අකුණු ගැසීම සිදු වී ඇත.

විශේෂයෙන් ම අවධානය යොමු විය යුතු කරුණක්‌ නම් අන්තර්මෝසම් කාලවල දී සංවහන ක්‍රියාවලිය ශීඝ්‍ර ලෙස සිදු වන අතර අකුණු ඇති කරන කැටි වැහි වලාකුළු (Cumulolimbus) ශීඝ්‍ර ලෙස වර්ධනය වීම ය. (අන්තර් මෝසම් සමය සාමාන්‍යයෙන් ඔක්‌තෝබර් දෙවැනි සතියේ පමණ සිට දෙසැම්බර් දෙවැනි සතිය දක්‌වා පවතී. පළමු අන්තර්මෝසම් සමය මාර්තු - අප්‍රේල් ය.)

වලාකුළු පිළිබඳව දැන සිටීම අකුණු පිළිබඳ අවබෝධයට වැදගත් වේ.

උස සමඟ සිරස්‌ව වර්ධනය වන වලාකුළු

අ. පහළ වලාකුළු

ආ. මධ්‍යම වලාකුළු

ඇ. ඉහළ වලාකුළු

ලෙස ප්‍රභේදවලට වෙන් කළ හැකි අතර ඒවායේ උප ප්‍රභේද 10ක්‌ පමණ දැකිය හැකි ය. මෙසේ වර්ග කළ හැක්‌කේ වලාකුළුවල ආරම්භක ආකාරය හා වලාකුළුවල පිහිටීමේ උස අනුව වේ. අකුණු ඇති වීමට වැදගත් වනුයේ පහළ මට්‌ටමේ සිට ඉහළ මට්‌ටම දක්‌වා වර්ධනය වන කැටි වැහි වලාකුළු ය. ඉහළ වායුගෝලයේ සිරස්‌ව උෂ්ණත්වය බැසීමේ අනුක්‍රමණයේ අගය කිලෝමිටරයට කෙල්වින් අංශක 9.8ක්‌ වූ සෘණ අවස්‌ථාවල දී, වායුගෝලයේ සංවහන ක්‍රියාවලිය ඉතා ශීඝ්‍රයෙන් සිදු වේ. මෙසේ වායුගෝලයේ අස්‌ථායිතාව අනුව පෘථිවිය ආසන්නයේ උණුසුම් තෙත් වායුව සංවහනයට භාජන වීමෙන් අකූණු වලාවන් ඇති වේ. මෙසේ සංවහන වායු ධාරාවල අඩංගු ජල වාෂ්ප ඉහළ සිසිල් වායු ස්‌ථරවල දී ඝනීභවනය වි ජල බිංදු සෑදේ. මෙසේ ඝනීභවනය වී නිදහස්‌ වන ගුප්ත තාපයෙන් උණුසුම් වන වලාකුළුවල සංවහන ක්‍රියාවලිය තවදුරටත් සිදු වී ඉහළ මට්‌ටම දක්‌වා වර්ධනය වේ. මෙසේ අකූණු ඇති වීමට මූලික වන කැටි වැහි වලාකුළු අවස්‌ථා 3ක දී වර්ධනය වේ.

අ. ආරම්භක අවධිය

මෙහි දී කැටි වලාවල ආයුෂ කාලය විනාඩි 2 සිට 5 දක්‌වා වේ. කැටි වලාකුළුවල තැනින් තැන යටි සුළං පහරවල්, උඩු සුළං පහරවල් ඇති වේ. උඩු සුළං ඇති විමේ ක්‍ෂේත්‍රයේ විෂ්කම්භය මිටර 300 සිට මිටර 2000 දුරකට වේ.

ආ. කැටි වලාවක දෙවැනි අදියර

කැටි වලාව වර්ධනය වේ. සිරස්‌ සුළං ප්‍රවේගය තත්පරයට මිටර 10ක්‌ වන අතර මැදින් ඉහළට නෙරා ගිය වලාකුළු කඳුගැට ලෙස ඈතට දිස්‌ වේ. තවදුරටත් සංවහනය සිදු වුව ද ස්‌ථිර මට්‌ටමක දී සිරස්‌ වර්ධනයට බාධා පැමිණීමෙන් අකුණු අවස්‌ථාව වන කැටි වැහි වලාකුළු ඇති වේ. හොඳින් වර්ධනය වුණ අකුණු වලාකුලක ඉහත කොටසේ පාර්ශ්විකව වර්ධනය වි අයිස්‌ ස්‌ඵටිකවලින් යුක්‌ත පැතලි ස්‌ථරයක්‌ ලෙස ඈතට දිස්‌ වේ. තිරස්‌ ස්‌ථරය කිනිහිරය ලෙස ද වලාකුළුවල මේ අවස්‌ථාව කිනිහිරි වලාකුළු ලෙස ද හැඳින්වේ. ඕනෑ ම අවස්‌ථාවක පෘථිවි පෘෂ්ඨය මතුපිට කැටි වැහි වලාකුළු 1000ක්‌ පමණ වර්ධනය වේ. තව ද ඉතා වැදගත් කරුණක්‌ වනුයේ අකුණු මඟින් පථිවියේ විද්යුත් සමබරතාව රැකීමයි. එනම්,

01. පෘථිවියේ ඇති විද්යුත් ආරෝපණ විවිධ ද්‍රව්‍ය හා කොටස්‌ මඟින් ඉහළ වායුගෝලය වෙත ළඟා වේ.

02. ස්‌ථිති විද්යුත් ආරෝපණ එකතු වීම නිසා ඉහළ වායුගෝලය අසමතුලිතතාවට පත් වේ.

03. මෙසේ නැති වී යන ආරෝපණ නැවත පෘථිවි තලයට අකුණු මඟිsන් ලැබීමෙන් පෘථිවියේ විද්යුත් සමබරතාව ඇති වේ.

04. මෙසේ පෘථිවියට පැමිණෙන අකුණු පහරක්‌ ඇම්පියර 25000ක ධාරිතාවයකින් යුක්‌ත අතර ඇම්පියර් 10ක ස්‌ථිති විද්යුත් ආරෝපණයක්‌ පෘථිවි තලයට ලබා දේ.

05. සැම අකුණු අවස්‌තාවක දී ම ආසන්න ලෙස අකුණු 100ක්‌ පමණ පෘථිවියට ලැබේ. එම නිසා අකුණු පෘථිවි විද්යුත් සමබරතාව රැකගැනීමට උපකාරී වේ.

අකුණුවලින් සිදු වන අනතුරු සහ
එම අනතුරු අවම කරගත හැකි පියවර

ශ්‍රී ලංකාවේ පිහිටීම දෙස බලන කල බොහෝ විට අකුණු ඇති වීම අන්තර් මෝසම් කාලසීමාව තුළ බෙහෙවින් සිදු වන බව නිරීක්‍ෂණය වේ. සැම වසරක ම අකුණු අනතුරට ලක්‌ වීමෙන් මිනිස්‌ ජීවිත අහිමි වන අතර බොහෝ දෙනෙක්‌ විවිධ ආබාධවලට භාජන වෙති. එමෙන් ම දේපළවලට සිදු වන හානිය ද ඉතා විශාල ය. අකුණු අනතුරුවලින් සිදු වන හානිය වැළැක්‌වීමට ගත හැකි පියවර නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ දී අකුණු ආපදා සැලකිය යුතු මට්‌ටමකින් අඩු කරගත හැකි ය. අකුණු අනතුරු වළක්‌වා ගැනීමට ගත හැකි පියවර සලකා බැලීමේ දී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

අ. කාලීන ආරක්‍ෂක පූර්වෝපායන්.

ආ. අකුණු සහිත කාලගුණ තත්වයක්‌ ගැන අනාවැකි
ප්‍රකාශ කළ විට ගත යුතු පියවර.

ඇ. අකුණු සහිත කාලගුණයක්‌ පවතින අවස්‌ථාවල දී ගත යුතු පියවර.

කාලීන ආරක්‍ෂක පූර්වෝපායන්

01. ගොඩනැඟිලිවල විද්යුත් පරිපථ හා සම්බන්ධ භූගත පුවරු හෙවත් පෘථිවියට දඬු සම්බන්ධ කිරීම.

02. සමාන්තරගතව පෘථිවි දඬු කිහිපයක්‌ සවි කර තඹ නැතිනම් වෙනත් හොඳ සන්නායක කම්බිවලින් ඉතා හොඳ සන්නායක සම්බන්ධතාවක්‌ ඇති කර ප්‍රතිරෝධය අඩු කරගත හැකි ය.

03. කොන්ක්‍රීට්‌ සහිත ගොඩනැඟිsලිවල එම කොටස්‌ හා පොළොවට සම්බන්ධ වන ලෙස සිරස්‌ සන්නායක කම්බි සහිත අමතර කොන්ක්‍රීට්‌ කණුවක්‌ ඉදි කිරීමට සැලසුම් කිරීම යෝග්‍ය වේ.

04. නිවසක්‌ හෝ වෙනයම් ගොඩනැඟිල්ලක්‌ අසල උසට වැඩුණු ගහකොළ නොමැති විට දී එම ගොඩනැඟිල්ල සෘජු අකුණු පහරවලට භාජන වීමට ඉඩ ඇත. මේ අවදානම බොහෝ දුරට අඩු කරගත හැක්‌කේ අකුණු සන්නායක සවි කිරීමෙනි.

05. නිවස සහ අවට ගස්‌ යකඩ හෝ වෙනත් ලෝහමය ද්‍රව්‍යමය මඟිsන් සම්බන්ධ කිරීමෙන් වළකින්න. කම්බි යොදා සකස්‌ කළ රෙදි වැල්, අබලන් ගස්‌ බැඳ තැබිමට යොදන කම්බි මෙවැනි අනතුරුදායක සම්බන්ධතා අතර වේ.

අකුණු සහිත කාලගුණික තත්ත්වයක්‌ ගැන අනාවැකි ප්‍රකාශයට පත් කළ විට ගත හැකි ආරක්‍ෂක පූර්වෝපායන්

අකුණු සහිත කාලගුණික තත්ත්වයකට පෙර පරිසරයට නිරාවරණය වීම අවම කිරීම සඳහා සංවෘත ගොඩනැඟිල්ලක්‌ වැනි ආරක්‍ෂක ස්‌ථානයක්‌ වෙත යන්න. සංවෘත වාහනයක්‌ තුළ වඩා ආරක්‍ෂාකාරී ය. අකුණු දර්ශනය වීම හා ගිගුරුම් හඬ ඇසීම අතර කාලය තත්පර 15ට අඩු නම් හෝ ඉතා ආසන්නයේ ඇති අවස්‌ථාවල මේ කටයුත්ත කඩිනම්න් කළ යුතු වේ. අකුණු පහරක ඇති අධික විද්යුත් ධාරාව සම්පූර්ණ හෝ අර්ධ ලෙස සැපයුම් කම්බි, රූපවාහිනි ඇන්ටනා කම්බි හා දුරකථන කම්බි හරහා සන්නයනය වීම නිසා දේපළ හා ජීවිත හානි වන අවස්‌ථා බොහෝ ය. අකුණු සහිත කාලගුණික තත්ත්වයක්‌ ගැන අනාවැකි ප්‍රකාශ වූ විට,

01. විදුලි උපකරණ විද්යුත් පරිපථවලින් විසන්ධි කරන්න

02. රූපවාහිනි විසන්ධි කොට ඇන්ටනා පේනුව නිවසෙන් බාහිරව පොළොවට ආසන්න වන පරිදි තබන්න. වඩාත් යෝග්‍ය වනුයේ භුගත කොට ඇති සන්නායක දණ්‌ඩකට සම්බන්ධ කිරීමයි.

අකූණු සහිත කාලගුණික තත්ත්වයක්‌ පවතින අවස්‌ථාවල දී ගත යුතු ආරක්‍ෂක පූර්වෝපායන්

01. ශීතකරණ, විදුලි ස්‌ත්‍රික්‌ක, ලෝහ ජනෙල් රාමු, ගුවන් විදුලි යන්ත්‍ර වැනි උපකරණ ස්‌පර්ශයෙන් හා පරිහරණයෙන් වැළකීම.

02. ලෝහ ආකෘති කම්බි වැටවල් හෝ කම්බි රෙදි වැල් ළඟ ගැවසීම හා ඒවා ස්‌පර්ශ කිරීමෙන් වැළකී සිටීම.

03. දුරකථන භාවිත නො කරන්න.

04. කොන්ක්‍රීට්‌ ලෑලි මත සකස්‌ කළ ලිප් සහ කොන්ක්‍රීට්‌ ලෑලි සෙවිලි කළ දුqම් කවුළු සහිත මුළුතැන්ගෙයි තුළ විශේෂයෙන් ම එම කොන්ක්‍රීට්‌ ලෑලි ආසන්නයේ නො සිටීම.

05. ක්‍රීඩා පිටියක්‌, තේ වත්තක්‌, කුඹුරක්‌ වැනි විවෘත ස්‌ථානවල ගැවසීම සීමා කරන්න.

06. උදලු, අලවංගු වැනි උපකරණ භාවිත කර එළිමහනේ කටයුතු කිරීමෙන් වළකින්න.

07. හුදෙකලා වෘක්‍ෂ අතර හෝ උස්‌බිම්වල නො රැඳෙන්න.

08. නොවැළැක්‌විය හැකි හේතුවක්‌ නිසා ගසක්‌ අසල සිටීමට සිදු වූයේ නම් අතු විහිදී ඇති සීමාවෙන් පිටත සිටීමට උත්සාහ කරන්න.

09. විවෘත බෝට්‌ටුවක සිටී නම් හා අකුණු කුණාටුවක්‌ ළඟා වේ යෑයි හැඟේ නම් උස අඩු වන සේ පහත් වන්න.

10. අශ්වයන් පිට යැම, පාපැදි, යතුරුපැදි වැනි විවෘත වාහන පැදවිම නතර කරන්න.

11. ජලාශවල පිහිනීම හෝ ජලය ඇති ස්‌ථානවල ඇවිදීමෙන් වළකින්න.

12. කැළයක්‌ හෝ වන ලැහැබක්‌ ආසන්නයේ ඇත්නම් ගස්‌ ගහණය අඩු ස්‌ථානයක උස අඩු වන සේ පහත් වන්න.

13. හුදෙකලා ගස්‌වලින් හැකි තරම් දුරට දුරස්‌ වන්න.

14. ශරීරයේ ඉහළට නෙරා යැමෙන් තොර ලෝහමය ද්‍රව්‍ය පැළඳීම අනතුරුදායක නො වේ. එහෙත් ලෝහමය ද්‍රව්‍ය, ගොල්ෆ්පිති, යකඩ අලවංගු, බිලී කොකු, ක්‍රිකට්‌ පිති වැනි දෑ ශරීරයෙන් ඉහළට එසවීම අනතුරුදායක ය.

15. බෝට්‌ටු තරග, මාළු බෑම, ගොල්ෆ් ක්‍රීඩාව ආදී ක්‍ෂේත්‍ර ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ දී කාලගුණ අනාවැකි පිළිබඳව විමසිලිමත් වන්න.

16. රබර් පාවහන්, බූට්‌ස්‌, වැහි කබා පැළඳීමෙන් අකුණුවලින් ආරක්‍ෂා වන බවට සහතික විය නොහැකි ය. එනම් අකුණු පහරක්‌ යනු අති විශාල විද්යුත් ශක්‌තියකි.

17. අකුණු ධාරාවෙන් වැඩි ම ආරක්‍ෂාවක්‌ ලබාගැනීමට නම් සම්පූර්ණයෙන් ලෝහයෙන් වට වූ ෆැරඩේ මැදිරිය නමින් හැඳින්වෙන කුටීරයක්‌ පිළියෙල කරගත යුතු වේ.

අකූණු අනතුරු සැම විට ම මාරාන්තික නො වේ. අකුණු ධාරාව ශරීරය හරහා ගමන් කරන මාර්ගය ද, තීව්‍රතාව ද යන කරුණු මත අනතුරේ ස්‌වභාවය රඳා පවතී. අකුණු අනතුරට පත් වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ආරෝග්‍ය ශාලාව වෙත රැගෙන යන තෙක්‌ හැකි අයුරින් ප්‍රථමාධාර ලබා දෙන්න. අකුණු පහරින් අත් පා හිරි වැටීමට හෝ දරදඬු විමට ලක්‌ වූයේ නම් සම්බාහනය මඟින් කෘත්‍රීම ශ්වසනය ලබා දී ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන්න. අකුණක්‌ නිසා යමකුට අත් විය හැකි බරපතළ ම උපද්‍රවය මරණයයි. බොහෝ දෙනකු ගේ මරණයට හේතුව හෘද ස්‌පන්දනය අකර්මණ්‍ය විම ය. හෘද ස්‌පන්දනයට යළි පුනර්ජීවයක්‌ ලබා දීමෙන් වැඩි දෙනකු ගේ ජීවිත බේරාගත හැකි ය. තව ද අකුණු අනතුරට ලක්‌ වූ අයකු ස්‌පර්ශ කිරීම හෝ එසවීම හෝ අනතුරුදායක නො වන අතර අකුණු පහරට ලක්‌ වීමෙන් පසුව ශරීරයේ කිසිදු ආරෝපණයක්‌ හෝ ධාරාවක්‌ හෝ ශේෂ නො වේ. ප්‍රථමාධාර දෙන්නට ඉදිරිපත් වන අයකුට කිසිදු හානියක්‌ සිදු නො වේ.

අකූණු පවතින විට ඒවා නිරීක්‍ෂණය වන ආකාරය අනුව ඒවා වර්ගීකරණය කළ හැකි ය. එනම්,

තාප අකුණු (Heat lightning)

මේ අකුණු හටගන්නා විට ගිගුරුම් නො ඇසේ. එහෙත් වලාකුළු ආලෝකවත් වේ. පොළෝ මට්‌ටමේ සිට කි. මි. 25කින් හෝ ඊට වඩා වැඩි උසකින් හටගනී. මේ අකුණු ඇති විමට හේතුව ඉහළ වලාකුළුවලින් අකුණු පරාවර්තනය වීම ය.

තල අකුණු (Sheet lightning)

වලාකුළක්‌ තලයක්‌ වැනි ආකාරයට දීප්තිමත් වෙමින් හටගන්නා අකුණු, තල අකූණු වේ.

රොකට්‌ අකුණු (Rocket lightning)

ප්‍රමාණයෙන් දිගු මාර්ග සහිත අකුණු රොකට්‌ අකුණු වේ. මෙහි දී මේ අකුණු සිය ගමන් මාර්ගයේ සෙමින් ගමන් කරන ආකාරයක්‌ දිස්‌ වේ.

රිබන් අකුණු (Ribbon lightning)

සුළං ප්‍රවාහවල බලපෑම මේ අකුණුවලට හේතු වේ. මේ නිසා වලාකුළු හා පොළොව අතර සිදු වන අකුණු පහර ප්‍රසාරණයට ලක්‌ වීම නිසා පළලට දිස්‌ වේ.

පබළු අකුණු

වලාකුළක්‌ හා පෘථිවිය අතර හටගන්නා අකූණු පබළු අකූණු වේ. මේ අකුණුවල ඇති විශේෂත්වය නම් මිටර 10ක්‌ පමණ දිගින් යුත් කොටස්‌වලට කැඩී හෝ කැඩී තිබෙන ලෙස පෘථිවියට දර්ශනය වීමයි.

බෝල අකුණු ((Ball lightning)

විවිධ ප්‍රමාණයෙන් දිස්‌ වන මේ අකුණු වායුගෝලය තුළ එහා මෙහා ගමන් කරන වර්ණවත් ආලෝක ධාරාවලින් යුක්‌ත වේ. ගෝලීය ස්‌වභාවයක්‌ ගන්නා අකුණු ධාරාවක විශ්කම්භය සෙන්මිටර 20ක්‌ පමණ වේ.

රතු දේවතාවන් ((Red sprites)

අකුණු වලාවක ඉහළ කිලෝමිටර කීපයක්‌ දුරට දිස්‌ වන පිපිරීම රතු දේවතාවන් යන අකුණු වර්ගයට අයත් වේ.

නිල්ජෙට්‌ (Blue jet) අකුණු

වලාවේ මැද ප්‍රදේශයේ සිට ඊට ඉහළින් පිහිටි වලාකුළු දෙසට ඉතා සැණෙන් විහිදී යන අකුණු නිල් ජෙට්‌ යනුවෙන් හැඳින්වේ.

අකුණු පහරේ අන්තර්ගත ප්‍රබල විද්යුත් ධාරාව හේතුවෙන් එහි ගමන් මාර්ගයේ තිබෙන වායු කඳ රත් පැහැ ගැන්වීම හෙවත් රක්‌ත තප්ත වීම සිදු වේ. මේ ක්‍රියාවලිය නිසා පොළොවට ළඟා වන අකුණු එම අවස්‌ථාවේ සිට විවිධ දිශා ඔස්‌සේ සැණෙකින් ගලා යයි. මෙසේ වීම නිසා වායුගෝලයේ තිබෙන ජලය සහ වායු වර්ග ඉතා සැණෙකින් සෙල්සියස්‌ අංශක 1000 තරම් අධික උෂ්ණත්වයකට පත් වීම නිසා ක්‍ෂණික පිපිරීමක්‌ හටගනී. මේ නිසා අකුණු ගමන් ගත් පොළොව මතුපිට මාර්ග පැලීම්, පිපිරීම් මෙන්ම වළවල් හෑරීම්වලට ද ලක්‌ වේ. මෙසේ පොළොව මතුපිට හෑරීම් වැනි දේ අකුණු පහරකින් සිදු වන නිසා අකුණක්‌ සමඟ ලෝහමය දණ්‌ඩක්‌ පොළොවට ළඟා වන බවට ඇතැම් අය තුළ මිථ්‍යා විශ්වාසයක්‌ පවතියි. පෘථිවියේ අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර් 25000ක්‌ පමණ වන අතර වෝල්ටියතාව වෝල්ට්‌ මිලියන 100ක්‌ පමණ වේ. සාමාන්‍ය පෘථිවිය මතුපිටට එන අකුණු ධාරාවක්‌ සතු ශක්‌තිය ජූල් මිලියන 500ක්‌ පමණ විශාල අගයකි. 

අපි වාහනයක ඉද්දී ඒකට අකුණක් වැදුනට අපිට මොකුත් නොවෙන්නේ වාහනයේ රබර් ටයර්
නිසා නෙවෙයි, සංවෘත වස්තුවක් Faraday cage එකක් විදිහට ක්‍රියාකරන නිසා. මේ පින්තූර
බලපුවහම
තේරෙයි ෆැරඩේ කේජ් එක ගැන. සංවෘත වස්තුවක් තුල විද්‍යුත් විභවය බින්දුවයි. ඒ නිසා කොච්චර පව් කාරයෙක් වුනත් මේ වගේ එකක් ඇතුලේ හිටියට හෙණ ගහන්නේ නෑ.



3 comments:

  1. නියම ලිපියක් සහෝ... වැදගත් කරුණු ගොඩක් දැනගත්තා. පැහැදිලිව ලියා තිබෙනවා... ගොඩක් ස්තුතියි මේ ලිපියට...ජය !!!

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්