Tuesday, January 17, 2012

අම්ලා ,කලීස් නැති අදවත් ලංකාව දිනයිද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය වන තීරණාත්මක තුන්වැනි එක්‌දින ක්‍රිකට්‌ තරගය අද බ්ලුෆොම්ටන්හි චෙවර්ලන්ට්‌ පාක්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක්‌ ලෙසින් පැවැත්වෙන අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6 ට ආරම්භ වනු ඇත.

මෙතෙක්‌ පැවැති තරග 2 ම පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමට තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් අද තරගයේ ජය අනිවාර්ය වේ. දකුණු අප්‍රිකානු පිල හමුවේ තුන් ඉරියව්වෙන්ම අසාර්ථක භාවයට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමට අද තරගයේ ජය ලබා ගැනීමට නොහැකි වුවහොත් තවත් තරග 2 ක්‌ ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව හමුවේ තරගාවලිය පරාජය වීමට සිදුවනු ඇත. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව පරාජයට පත්වන සිව්වැනි එක්‌දින තරගාවලිය ලෙසින්ද මෙම තරගාවලිය සටහන් වනු ඇත.

කණ්‌ඩායමේ නායක ඩිල්ෂාන්ගේ සිට ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් අසාර්ථක භාවයට පත්ව සිටීම ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධානම ප්‍රශ්නය වන අතර පන්දු යවන්නන් ප්‍රතිවාදීන් කඩුලු දවා ගැනීමට අපොහොසත් වීමද තත්ත්වය උග්‍ර අතට පත්කර ඇත.

සමබර තාවයකින් යුක්‌තව කණ්‌ඩායම නම් කරනු ලබන බවක්‌ ද නොපෙනේ

පළමු තරගයේදී ලකුණ්‌ 43 ක්‌ වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම දෙවැනි තරගයට අවතීර්ණ වූයේ ප්‍රධාන පිතිකරුවන් 6 දෙනෙකුගෙන් සහ පන්දු යවන්නන් 5 දෙනෙකුගෙන් යුක්‌තව වේ. පිතිකරුවන් අසාර්ථක්‌තවට පත්ව සිටින්නේ නම් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ තවත් පිතිකරුවකු වැඩි කරමින් 7/4 සංයුතියෙන් ක්‍රීඩා කිරීම වේ. එහෙත් ශ්‍රී ලංකාව දෙවැනි තරගයට අවතීර්ණ වූයේද 6/5 සංයුතියෙන් යුතුවය.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කණ්‌ඩායමට එක්‌වී සිටින කෝසල කුලසේකරට පළමු තරග 2 හිදීම අවස්‌ථාව නමුත්, එහිදී ඔහුගෙන් කණ්‌ඩායමට ලබා ගැනීමට බලාපොරොත්තු වන සේවය කුමක්‌ද යන්න හඳුනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා තවමත් අපොහොසත් වී සිටීම පුදුමය දනවන්නකි. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කණ්‌ඩායමට එක්‌ වී සිටින කෝසල කුලසේකර පළමු තරගයේදී ලකුණු 19 ක්‌ පමණක්‌ ලබා ගත් අතර දෙවැනි තරගයේදී පන්දු යවන්නකු ලෙස එක්‌ පන්දු වාරයක්‌ පමණක්‌ යෑවීමට යොදා ගනු ලැබීය. තුන් ඉරියව් ක්‍රීඩකයකු නම් අවම වශයෙන් පන්දු වාර 5 කට වැඩි ප්‍රමාණයක්‌ යෑවිය යුතු නමුත් එසේ නොකොට කෝසලව කණ්‌ඩායමට නම් කරන්නේ නායකයා හා ජ්‍යෙෂ්ඨයන්ට උවමනා පරිදිද එසේ නැතහොත්, එහි ගොස්‌ සිටින තේරීම් කමිටු සාමාජික දොන් අරුණසිරි මහතාට අවශ්‍ය පරදිද යන්න අපැහැදිළි තත්ත්වයකි.

පළමු තරග දෙකේදීම ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වී සිටින නායක ඩිල්ෂාන් සහ සංගක්‌කාර අද තරගයේදී ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වුවහොත් දකුණු අප්‍රිකානු පන්දු යෑවීමේ බල ඇණිය හමුවේ ලකුණු 250 කට එහා ඉලක්‌කයක්‌ ලබා ගැනීම අසීරු කටයුත්තකි.

මේ අතර ටෙස්‌ට්‌ සංචිතයේ පසුවූ රොරී ක්‌ලෙන්ඩ්වල්ට්‌ ආබාධයකට ලක්‌වීම මත ඒ වෙනුවට ටෙස්‌ට්‌ තරගාවලියේදී කැපී පෙනුණු චරිතයක්‌ වූ වර්නන් පිලෙන්ඩර් ආදේශකයා වී සිටියි.

පළමු තරගයේදී ශතකයක්‌ සහ දෙවැනි තරගයේදී අර්ධ ශතකයක්‌ රැස්‌ කළ ආරම්භක පිතිකරු හෂීම් අම්ලාගේ බිරිඳ සිය පළමු දරුවා ප්‍රසූත කිරීමට සැරසෙන බැවින් තරගාවලියේ ඉදිරි තරග සඳහා ඔහු සහභාගි නොවනු ලබන අතර එය ශ්‍රී ලංකා කණ්‌ඩායමට මහත් අස්‌වැසිල්ලක්‌ වනු ඇත. අංක 03 පිතිකරු ජැක්‌ කලිස්‌ද මෙම තරගයේදී විවේක ගනු ලබන බව දකුණු අප්‍රිකානු ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ. ඒ අනුව අම්ලා වෙනුවට තෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී ශතකයක්‌ රැස්‌ කළ ඇල්වරෝ පීටර්සන්ද කලිස්‌ වෙනුවට කොලින් ඊග්‍රැහැම්ද ක්‍රීඩා කරනු ඇතැයි සඳහන් වේ.

3 comments:

  1. අපේ අය මේකවත් ගහගන්න එකක් නෑ..උන්ට වෙන ප්‍රශ්ණනේ...

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්