Tuesday, January 24, 2012

ඩිල්ෂාන් ඉල්ලා අස්වෙයි නව නායකයා මහේල එක්දින සංචිතය නම් කරයි.


තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඩිල්ෂාන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (23)විද්‍යූත් තැපෑලෙන් (ඊමේල්) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා යොමුකර තිබේ.
ඩිල්ෂාන්, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන කණ්ඩායම් තුනේම නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත් තමන් තව දුරටත් කණ්ඩායමේ ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරන බවත් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් දැනුම්දී තිබේ.


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය තමන්ට තිබුණත් නැතත් තමන් ඒ සම්බන්ධයෙන් හිත කරදර කරගන්නේ නැතැයි තිලකරත්න ඩිල්ෂාන් පසුගිය සිකුරාදා කිම්බර්ලි නුවරදී පැවසීය.
”මම තරුණ කී‍්‍රඩකයන් එක්ක අභියෝගයක් බාරගත්තා. මම තරුණයන්ට තැන දෙනවා”
”තව වසර තුන හතරකින්, තරුණ කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දස්කම් පෙන්නවනවා මට වාඩිවෙලා බලා ඉන්න පුළුවන්. මගේ අරමුණ ඒකයි” යයිද ඩිල්ෂාන් කිම්බර්ලි නුවරදී පැවසීය.





තමන් නායකත්වය බාරගත්තේ ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය දැරීමට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවකදී බවද ඩිල්ෂාන් පැවසීය.
”හැමෝම අයින් වුණා. නායකත්වය බාරගන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවාම මම අභියෝගය බාරගත්තා. මගේ නායකත්වය මම සතුටින් කරගෙන යනවා” යයිද ඩිල්ෂාන් පැවසීය.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් බොහෝ භූමිකා බාරගෙන ඇති කී‍්‍රඩකයන් කිහිප දෙනාගෙන් ඩිල්ෂාන්ද අයෙකි.
”මම හැම දෙයක්ම කළේ රට වෙනුවෙන්”
”ඔවුන්ට  ඕනෑ වුණාම මා කඩුලූ රැක්කා, ඔවුන්ට  ඕනෑ වුණාම මා ආරම්භක පිතිකරුවා ලෙස කී‍්‍රඩා කරලා ඊට පස්සේ අංක 6 පිතිකරුවා ලෙසත් කී‍්‍රඩා කළා” යයිද ඩිල්ෂාන් පැවසීය.
පිතිකරුවකු සහ කඩුලූ රකින්නකු වශයෙන් කී‍්‍රඩා කිරීමට අමතරව ඩිල්ෂාන් අවස්ථානුකූලව පන්දු යැවීමටද ඉදිරිපත් වන අතර පිටියේ  ඕනෑම තැනක විශිෂ්ට පන්දු රකින්නකුද වෙයි.
නායකත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවෙන් ලැබෙන ප‍්‍රවෘත්ති නිසා අසහනයට පත්ව සිටීද යන්න කළ විමසුමකට මුහුණ දුන් ශී‍්‍ර ලංකා නායකයා පැවසුවේ ඒ ගැන තමන් කරදර නොවන බවත් නව තේරීම් කමිටු සභාපතිවරයා සිකුරාදා තමන්ට කතා කළ අවස්තථාවේදී ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකළ බවත්ය.


ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නව නායකයා ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් උප නායකයා ලෙස තව දුරටත් කටයුතු කරයි.
ශ්‍රී ලංවෙන් විහිවූ විශිෂ්ටම පිතිකරුවකු වන මහේල ජයවර්ධන මීට පෙර 2004 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළේය. එම කාලය තුළ මහේලගේ නායකත්වයෙන් ටෙස්ට් තරග 28 කින් තරග 15 ක් ජය ලබා තරග 7 ක් පරාජයට පත්ව තිබේ. මහේල එක්දින තරග 94 කදී ශ්‍රී ලංකා පිල මෙහෙයවමින් තරග 54 ක් ජය ලබා තිබේ.


ඕස්ටේ‍්‍රලියාවේදී ලබන පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ වන ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක‍්‍රීඩක ෆර්විස් මහරුෆ් සහ වේග පන්දු යවන චානක වෙළගෙදර මාස 19 කට පසුව කැඳවා තිබේ.
දකුණතින් වේග පන්දු යවන 27 හැවිරිදි ෆර්විස් මහරුෆ් 2010 වසරේ ජූනි මස 24 වැනිදා දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කර සිටියේය. මහරුෆ් එක්දින තරග 94 කදී කඩුලූ 121 ක් දවා ගනිමින් ලකුණු 984 ක් ද රැස්කර තිබේ.
ටෙස්ට් පිල නියෝජන කරමින් දස්කම් දැක්වූ වමතින් වේග පන්දු යවන චානක වෙළගෙදර 2010 වසරේ ජූනි මස 22 වැනිදා දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කළේය. 30 හැවිරිදි වෙළගෙදර එක්දින තරග 10 කදී කඩුලූ 15 ක් දවාගෙන තිබේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ෆර්විස් මහරුෆ්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙළගෙදර සහ ධම්මික ප‍්‍රසාද්.

2 comments:

  1. නායකත්වයට සුදුසු පරිණත ක්‍රීඩකයෙක් කණ්ඩායමේ නැත් හින්දා මහේලට නායකත්වය දුන්නා වෙන්න ඇති. ඒත් මටනම් හිතෙන්නෙ මේ මහේලගේ පුද්ගලික ජී‍විතේ අවුල් කාලයක්... දිගටම අසාර්ථක වෙන්නෙ ඒ නිසා වෙන්න පුළුවන්....

    චන්දිමාල් ව නිසි තැන තිබ්බොත් නාකත්වයට සුදුසුයි. මැතිව්ස් ගැනනම් මගේ විශ්වාසයක් නෑ.

    ReplyDelete
  2. අපින් සුබ පෑතුම්,නෑවත් ඉක්මනින්ම කන්ඩායමට සුපුරුදු ජයග්‍රාහී මාවතට එලබීමට හෑකි වේවායි පතමු.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්