Sunday, January 15, 2012

සචින් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි! හිටපු පකිස්‌තාන ක්‍රිකට්‌ නායක රෂීඩ් ලතිෆ් කියයි

සචින් ටෙන්ඩුල්කාර් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු බවට පුවතක්‌ ද ටයිම්ස්‌ ඔෆ් ඉන්දියා" පුවත්පතේ පසුගිය දා පළ වී තිබුණා. එකී පුවත්පතට එම ප්‍රකාශය ලබා දී තිබුණේ හිටපු පකිස්‌තාන් ක්‍රිකට්‌ නායකයෙක්‌ වන රෂීඩ් ලතිෆ් පකිස්‌ථාන කණ්‌ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වූ ලතිෆ් එරට වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 37 කට සහ එක්‌ දින තරග 166 කට ක්‍රීඩා කර තිබෙනවා. වත්මන් ඇෆ්ගනිස්‌තාන ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පුහුණුකරු ලෙසද ලතිෆ් කටයුතු කරනවා.

ලතිෆ්ට එසේ ටෙන්ඩුල්කාර් ගැන කියන්න හිත් දීලා තියෙන්නේ ටෙන්ඩුල්කාර් දැන් සිටින තත්ත්වය අනුවයි. ටෙස්‌ට්‌ ශතක 51 ක්‌ද, එක්‌ දින ශතක 48 ක්‌ ද රැස්‌කර ගෙන ඇති ටෙන්ඩුල්කාර් තවත් ශතකයක්‌ රැස්‌ කරගත හොත් ශතක ශතකයන් රැස්‌ කළ ලොව පළමු ක්‍රීඩකයා වීමේ වාර්තාවට හිමිකම් කියනවා. ඒත් මේ වාර්තාව ආසන්නයට අවස්‌ථා කිහිපයකදීම ටෙන්ඩුල්කාර් ළඟා වුවත් ලකුණු කිහිපයක්‌ මෙපිටින් ඔහු දැවී යනවා.

මේ පිළිබඳව මනා අවධානයෙන් බලා සිට ඇති හිටපු පකිස්‌තාන් ක්‍රිකට්‌ නායකයා පවසන්නේ මෙසේ වීමට හේතුව සචින්ගේ පිතිහරඹයේ දුර්වලතාවක්‌ නොවන බවයි. ඔහු පවසන්නේ සචින්ට ඇත්තේ මානසික ප්‍රශ්නයක්‌ බවයි.

"සචින් මානසික පීඩනයකින් පෙළෙනවා. මෙයින් මිදෙන්න සචින් ක්‍රීඩා මානසික වෛද්‍යවරයෙක්‌ වෙත පෙන්විය යුතුයි."

ලතිෆ් යෝජනා කරනවා. ලතිෆ්ට පෙර ටෙස්‌ට්‌ වරම් ලැබූ සචින් ලතිෆ්ට එරෙහිව ඉන්දීය කණ්‌ඩායම නියෝජනය කර තිබෙනවා. ක්‍රිකට්‌ පිටියේ ප්‍රධාන පෙළේ එදිරිවාදීන් ලෙස සැලකෙන පකිස්‌තානය සහ ඉන්දියාව යන කණ්‌ඩායම් දෙක මේ ක්‍රීඩකයන් නියෝජනය කළත් ලතිෆ්ගේ මේ යෝජනාව යහපත් යෝජනාවක්‌ බවයි විචාරකයන් පවසන්නේ.

ඔහු මානසික පීඩනයක්‌ යටතේ ඉන්නා බවට කිසිම සැකයක්‌ නැහැ. ඒ බව ඔහු නොපිළිගත්තත් ඔහු එවැනි මානසික පීඩාවකට මුහුණ දී සිටිනවා. තමන් ඉදිරියේ ඇති සුවිශේෂ වාර්තාව නිසයි සචින්ට මෙවැනි මානසික පීඩනයක්‌ එල්ල වී තිබෙන්නේ. ඒ නිසා සචින් ක්‍රීඩා මානසික වෛද්‍යවරයෙකු හමු වී උපදෙස්‌ ගන්න එක නරක අදහසක්‌ නොවේ.

මොයින් ඛාන්ගෙන් පසුව පකිස්‌තාන ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වූ ලතිෆ් තවදුරටත් එසේ ප්‍රකාශ කරනවා. ලතිෆ් පවසන්නේ සචින් පිටිය මැද දී ඉතා හොඳින් ක්‍රීඩා කරන බවයි.

ඔහු හොඳින් පිතිහරඹයේ නිරත වෙමින් ඉන්නවා. ඒ වගේම පිටියට පැමිණි විට ඔහු තම පිතිකරණ කාර්යය ඉතා විශිෂ්ට ලෙස ඉටු කරමින් සිටිනවා. ඒත් එක මානසික බාධාවකින් ඔහුට මේ කඩඉමට පිවිසීමේ මග අහුරා දමනවා.

ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ඔස්‌ටේ්‍රලියාවේ පැවැති පළමු ටෙස්‌ට්‌ තරග දෙකේදීම ඉන්දියාව පරාජයට පත් වුණා. එම තරග දෙකේදීම අර්ධ ශතක දෙකක්‌ වාර්තා කළත් ටෙන්ඩුල්කාර්ට ශතකයක්‌ නම් ලබා ගන්න හැකි වූයේ නැහැ. ඒත් ලතිෆ් පවසන්නේ සචින් මේ තරගාවලියේදී අනිවාර්යයෙන්ම ශතකයක්‌ වාර්තා කර ලෝක වාර්තාව ඔහුගේ නමට ලියා ගනු ඇති බවයි.

මම විශ්වාස කරනවා සචින් මේ තරගාවලියේදී අනිවාර්යයෙන් ශතකයක්‌ වාර්තා කරාවි කියා. ලෝකයේ ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩකයන්ටත් සමහර අවස්‌ථා වලදී මෙවැනි මානසික උපදේශනයන් අවශ්‍ය වෙනවා. ඒක සචින්ට පමණක්‌ නොවේ. හැමෝටම වෙන්න පුළුවන් දෙයක්‌.

සචින් තමාගේ අවසාන ශතකය ලබා ගෙන තිබෙන්නේ පසුගිය මාර්තු මාසයේදීය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයකදී ලබා ගත් එම ශතකයට පසුව ඉතා ආසන්නයේ පැවැති පුහුණු තරගයකදීවත් සචින්ට ඉලක්‌කම් තුනේ සංඛ්‍යාවකට පියමං කරන්න හැකි වී නැහැ. ඔස්‌ටේ්‍රලියාවේ පැවැති එරට සභාපතිගේ කණ්‌ඩායමට එරෙහිව පුහුණු තරගයකදීත් ශතකය ආසන්නයටම ගොස්‌ ලකුණු 92 කට සචින් දැවී ගියා.

වෙන කිසිම හේතුවක්‌ නැහැ සචින්ට මේ වාර්තාවට ළඟාවීමට නොහැකි වෙන්න. පසු ගිය මාස දහය ඇතුළත ඔහු ක්‍රීඩා කළ සෑම ඉනිමක්‌ම වාගේ මං නැරඹුවා. මං ඔහු ගැන හොඳ අවධානයෙන් සිටියා. පසුගිය ටෙස්‌ට්‌ තරග දෙකේදීත් ඔහු අනිවාර්යයෙන් හොඳ තත්ත්වයකින් සිටියා. ඉතා හොඳින් ක්‍රීඩා කළා. පන්දුවට පහර දීමේදී ඔහුගේ පාද චලනයන්හි වරදක්‌ මා දුටුවේ නැහැ. පිතිකරණ සීමාවේදී තම සමබරතාව මැනවින් පවත්වා ගෙන ඔහු ඉතා හොඳින් පන්දුවට පහර දෙන අයුරු මං දැක්‌කා. ඒ වගේම හොඳින් ලකුණු අතරටත් පැමිණෙනවා. ඒත් ශතකය ආසන්නයේදීම ඔහු දැවී යනවා.

ලතිෆ් සචින්ගේ දුර්වලතාව විග්‍රහ කරමින් එසේ කියා සිටිනවා. පසුගිය මාර්තු මාසයෙන් පසුව ශතකයක්‌ වාර්තා කර නැති සචින් තමාගේ පළමු ටෙස්‌ට්‌ ශතකය අවුරුදු 17 දී වාර්තා කරන්නට තරම් වාසනාවන්ත වී තිබෙනවා. වයස අවුරුදු 16 දී ටෙස්‌ට්‌ වරම් ලැබූ සචින් පසු ගිය එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් සහ දැන් පැවැත්වෙන ඔස්‌ටේ්‍රලියාව සමග තරග වලදීද හොඳින් ලකුණු අතර සිටිනවා. එම තරග වලදී එංගලන්තයට එරෙහිව ලකුණු 91 කටත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලක්‍ෂ 94 කට සහ 76 කටත්, ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 80 කට සහ 73 කටත් සචින් දැවී ගොස්‌ තිබෙනවා. ඔස්‌ටේ්‍රලියාව සමග තෙවැනි ටෙස්‌ට්‌ තරගය පෙරේදා (13 වැනිදා) පර්ත් හිදීත්, අවසන් ටෙස්‌ට්‌ තරගය 24 වැනිදා ඇඩිලේඩ්හිදීත් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සචින්ව මානසික වෛද්‍යවරයකු වෙත ගෙන යා යුතු බවට යෝජනා කරන ලතිෆ් ද ප්‍රකාශ කරන්නේ තරගාවලියේදීම සචින් තම ශතක ශතකය ලබා ගන්නා බවට තමන් විශ්වාස කරන බවයි.

දිවයින ඉරිදා සංග්‍රහය ඇසුරෙන්

9 comments:

  1. ඒක නං ඇත්ත. මාත් කාලෙක ඉදල බලාගෙන හිටියෙ 100ඒව 100ක් ගහන්නෙ කවදද කියල. ද.අ. සංචාරයෙදියි එංගලන්න සංචාරයෙදියි ප්‍රතිවාදීන් අභියෝග කලා ඔහුට ඒක කරන්න දෙන්නෙ නෑ කියල. සමහර විට ඒ නිසා පීඩනයක් ඇති.

    ReplyDelete
  2. ඒ කියන්නේ සචින් 100ඒව 100ක් ගැහුවත් පීඩනයකදී එයාට ඒකට මුහුණදෙන්න බැරි බව.

    ඒකයි ජයසූරියලාට මැචි විනර්ස් කියල කිව්වෙත් ජයසූරිය අර්ජුන අරවින්ද ඇතුලු අපේ කණ්ඩායම ලෝක ක්‍රිකට් මග වෙනස් කලෙත්.

    සචින් 3 idiots එකේ සයිලන්සර් වගේ.. හි හි..

    ReplyDelete
  3. මාත් බලන් ඉන්නෙ සචින් ලොක්කා 100 ගහන කන්

    @හෙලයා - සචින් කියන්නේ පිතිකරණ තාක්ෂණයෙන් ලෝකේ ඉහලින්ම ඉන්න ක්‍රිඩකයා , ලකුණු 100 සීමාවෙදි ආතතියට පත්වෙන එක බොහොම සුලභ දෙයක් , අපේ සනාගෙත් තිබුනා . සමාන්‍යයෙන් අරවින්ද , ශේවාග් වගේ ඕනි_කක් කියල ගහන උන්ට ඇරෙන්න අනික් කාටත් ඕක තියනවා . සචින් 90 ගණන් වලට 17/18 පාරක් දැවී ගිහින් තියනව . ඒ වෙලාවල සචින්ට 100 අහිමි වුනත් ඉන්දියානු කණ්ඩායමට අර අනු ගානත් වටින්න ඇති . වෙන එකක් තියා ඉන්දියාව අවස්න් තරඟය දක්වා අරන් ඒම පිටිපස්සෙත් සචින්ගෙ පැහැදිලි දායකත්වයක් තියනව . සචින්ව සහ සනත්ව සන්සන්දනය කරන්න බැ (මම පුද්ගලිකව කැමති සනා වගේ නෙලන උන්ට ) .ඔබතුමා අකමැති වෙන්න පුලුවන් ඒත් අති දක්ෂ ක්‍රිඩකයෙකුට අපහාස කරන්න එපා

    ReplyDelete
  4. හරි සෝක් සචින් පිස්සෙක් වෙලා...

    ReplyDelete
  5. @amila - සචින් කෙසේ වෙතත් දෝනියට නම් පිස්සු වැටිලා ඇති පරදින පරදිල්ලට . හැබැයි පොර බොහොම නිහතමානීව වරද භාරගෙන තිබුනා

    ‎"I need to blame myself as I am the leader of this side. Of course, I am the main culprit, so of course I blame myself," Dhoni said at the post-match press conference in Perth.

    ReplyDelete
  6. @ බුවාගේ සිතුවිලි,

    සංසන්දනයේදී,

    පිතිකරණ තාක්ෂණය අතින් ගත්තොත් සචින් ඉහලයි තමයි. ඒත්,

    කාලයක් තිබුනා මේ මාතෟකාවේදී සචින් පරාද වුන. තරඟ දිනීම හා පුද්ගලික වාර්තා කියන.

    ඒකෙදි ජයා ඉස්සරහින් හිටිය කියල මම කිව්වෙ.(වයස 38 විතර වෙනකම්) අන්තිමට ජයා ගහපු ලෝක කුසලානෙත් ඕස්ට්‍රේලියාවට වැස්සේ තෙමීගෙන 63ක් ගැහුවා. ඒත් මේ අවසාන ලෝක කුසලානෙත් සචින් 18යි. අවුරුදු 20ක් ක්‍රිකට් ගහලත්.

    ජයාට ආතතියක් නෑ 100ලං වුනාම. ඒත් ලකුණු 0න් ලකුණු 1ට යනකම් බලන් හිටපු අයට ආතතිය තිබ්බා :D

    ඒත් ඔය හැමදේම අමතක කරලා 100ඒවා 100 මංගල්‍යෙයේදි හැමෝම 100 මංගල්‍ය සම්මාදම් වෙනවා. සතුටු වෙනවා.

    මේන් මාත් සුභපැතුවා. 100ට ජය වේවා.

    *************************************

    ඈ බන් පිටිගලේ අපි දාන කමෙන්ට්ස් වලට reply නැති වුනාම හිතට හෙන දුකයි. ඒක පැත්තකින් තියමුකෝ මොන ආත්මෙද සචින් බරහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලක්‍ෂ 94 ලකුණු ගත්තේ? :D

    ReplyDelete
  7. දැන් අපේ කන්ඩායමට තවත් ජයසුරිය කෙනෙක්ගේ දැඩි අවශ්‍යතාවයක් තිබේ.ඒවුනාට උන්ට නම් ගානක් වත්නැහැ එහෙම අයෙක් හදාගන්න උවමනාවක්වත් නැහැ. අපිටයි පිස්සු?

    සියළුදෙනාටම බොහොමත් ස්තූතියි.

    ReplyDelete
  8. දැන් අපේ කන්ඩායමට තවත් ජයසුරිය කෙනෙක්ගේ දැඩි අවශ්‍යතාවයක් තිබේ.ඒවුනාට උන්ට නම් ගානක් වත්නැහැ එහෙම අයෙක් හදාගන්න උවමනාවක්වත් නැහැ. අපිටයි පිස්සු?

    සියළුදෙනාටම බොහොමත් ස්තූතියි.

    ReplyDelete
  9. ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝණි හට එළැඹෙන ඕස්ටේ‍්‍රලියා - ඉන්දියා තුන්වන ටෙස්ට් තරගය තහනමක් කර තිබෙනවා. ඒ, අද නිමාවට පත්වූ 3වන ටෙස්ට් තරගයේදි පන්දු වාර දෙකක් නියමිත කාලසීමාව තුළ නොයැවීමේ හේතුවෙන්. මහේන්ද්‍ර සිං දෝණි වෙනුවට ඇඩිලේඞ්හි පැවැත්වෙන 4වන ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායම විරේන්ද්‍ර ෂෙවාග් විසින් මෙහෙයවනු ඇති. මේ අතර, මහේන්ද්‍ර සිං දෝණි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ දිගින් දිගටම ඉන්දීය කණ්ඩායම ලැබූ ටෙස්ට් තරග පරාජයන්හි වගකීම නායකයා ලෙස තමන් භාර ගන්නා බවයි.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්