Tuesday, November 13, 2012

රජරට පැතිරෙන වකුගඩු රෝගය


රජය වකුගඩු රෝගීන් වෙනුවෙන් රෝහල්, වෛද්‍යවරු, උපකරණ, සායන, ඖෂධ ආදිය වෙනුවෙන් විශාල මුදලක්‌ වැය කරන බව සැබවි. එසේම වකුගඩු රෝගීන්ට රුපියල් 500 හෝ 1000 බැගින් මාසික ආධාරයක්‌ සපයන බව ද සැබවි. නමුත් මේ එකකින්වත් පලක්‌ නැත. මක්‌ නිසාද? වකුගඩු රෝගය වැළඳුන සෑම රෝගියෙක්‌ම යම් කාල පරාසයක්‌ තුළ එම රෝගයෙන්ම මියයන බැවිනි. මේ වන විට අනුරාධපුර ප්‍රධාන වකුගඩු රෝහලේ උග්‍ර වකුගඩු රෝගීන්ගේ අපිරිසිදු රුධිරය නිතර පිරිසිදු කිරීම සඳහා රුධිර කාන්දුකරණ යන්ත්‍ර 20 ක්‌ පිහිටුවා ඇත. එයින් මේ වන විට ක්‍රියා කරන්නේ එම යන්ත්‍රවලින් හතරක්‌ පමණි. සෙසු යන්ත්‍ර 16 ම කැඩී ඇති බව වාර්තා වී ඇත. රජය වකුගඩු රෝගීන් සඳහා දක්‌වන සැලකිල්ලේ තරම මෙයින්ම සිතා ගැනීමට පුළුවන. රජරට ජනතාව ඉල්ලා සිටින්නේ කොළඹ ඩෙංගු රෝගය මැඩීමට රජය දක්‌වන උනන්දුව මෙන් අනුරාධපුරයේ වකුගඩු රෝගය මැඬපැවැත්වීමට ද උනන්දු විය යුතුය.


පැත්ත ගියත් ඇත්ත කතා කළයුතු යෑයි අප අතර පිළිගැනීමක්‌ ඇති නමුත් සමහරු ඇත්තට පිටුපා නැත්ත ඇත්තක්‌ කරන්නට කතා කරති. මුට්‌ටියේ හිර වූ ඔලු ගෙඩිය ගන්නට මුට්‌ටිය බිඳිය යුතු බව ඇහැට පෙනුනත් මහදැනමුත්තා කීවේ පළමුව බෙල්ල කපා පසුව මුට්‌ටිය බිඳ බෙල්ල එළියට ගන්නා ලෙසය. රජරට පැතිරී යන වකුගඩු රෝගය පිළිබඳව ද ඇතැම් මැති ඇමැතිවරුන් කට අරින්නේ මේ අන්දමටය.

ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටුවා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිදන්ගත රෝග වැළැක්‌වීමේ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා මහාචාර්ය ශාන්ති මෙන්ඩිස්‌ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවත්නා අහේතුක වකුගඩු රෝගය පිළිබඳව 2011 ජුනි මස ලංකාණ්‌ඩුව වෙත උපදේශාත්මක වාර්තාවක්‌ නිකුත් කර ඇත.

එම වාර්තාවේ මෙසේ දැක්‌වෙයි.

"වකුගඩුවලට බලපාන විෂ සහිත රසායනික එකතුවකින් රජරට පැතිරෙන මෙම සුවිශේෂී වකුගඩු රෝගය ඇතිවන බව පෙනී යයි. මේ වන විට හඳුනාගෙන ඇති එම සාධක වන්නේ ආසනික්‌ කැඩ්මියම් සහ වකුගඩුවලට විෂ සහිත කෘෂි රසායනයන්ය. මෙම තත්ත්වය සලකා බලා රටට ආනයනය කරනු ලබන කෘෂි රසායනවල සහ රසායනික පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳව නීතිමය රාමුවක්‌ සකස්‌ කිරීමේ අවශ්‍යතාව ලංකාණ්‌ඩුවට පෙන්වා දෙමු.

2011 ජුනි මස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කළ මෙම උපදේශාත්මක වාර්තාව ලංකාණ්‌ඩුව ඇඟට ගෙන කිසිදු විධි විධානයක්‌ මේ දක්‌වා යොදා නැති නමුත් රජරට මැති ඇමැතිවරු, රජයේ නිලධාරීන්, ඇති හැකි අය රජරට භූගත ජලය පානයට නොගෙන කඳුරටින් මුදල් දී ලබාගන්නා ජලය ඔවුන්ගේ ගෙදර දොර හා කාර්යාලවල භාවිතයට යොදාගෙන ඇති බව ප්‍රකට රහසකි. රජරට භූගත ජලයට කැඩ්මියම් සහ ආසනේට්‌ මුසු වී ඇති බව කඳුරට ජලය ඔවුන් පරිභෝජනයට ගැනීමෙන් සනාථ වන නමුත් මෙය දේව රහසක්‌ සේ රැකගෙන කට නෑර සිටීමට ඔවුහු පරිස්‌සම් වෙති. අතීසාරයට අමුඩ ගසන්නාක්‌ මෙන් තමන් හොඳ වතුර බිබී රජරට ජනතාවට භූගත ජලය පෙවීමට වතුර පෙරන බෙදා දෙති.

රජරට පැතිරෙන වකුගඩු රෝගය පවුලකට, දෙකකට, ගමකට, දෙකකට සීමා වූවක්‌ නොවේ. මුළු මහත් රජරට පුරාවට මෙම මාරාන්තික රෝගය පැතිරී යයි. අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්‌ඩාර මහතා සඳහන් කරන අන්දමට මේ වන විට බාල, මහලු, තරුණ, ස්‌ත්‍රී පුරුෂ භේදයක්‌ නැතිව රජරට ජනතාවගෙන් 15.5% කට වකුගඩු රෝගය වැළඳී ඇත. අද වකුගඩු රෝග සායනයේදී හමුවන රෝගියා ඊළඟ දවසේ සායනයට යන විට දකින්නට නැත. බොහෝ විට ඔහු මියගොසිනි. මැදවච්චිය ප්‍රදේශයේ පමණක්‌ වකුගඩු රෝගීන් 2800 ක්‌ හඳුනාගෙන ඇති අතර පදවිය ප්‍රදේශයේ 2400 ක්‌ හඳුනාගෙන ඇත. සිරිපුර රජයේ රෝහලේ වෛද්‍ය විඡේවර්ධන මහතාට අනුව එම ප්‍රදේශයේ වකුගඩු රෝගීන් 1600 ඉක්‌මවා ඇත. වේගයෙන් හමා එන සුළි සුළඟකට දැලක්‌ එලන්නාක්‌ මෙන් වතුර පෙරන ලබා දී රෝගීන් නැළවීමට සමහරු කටයුතු කරති. මෙසේ බෙදා දෙන "වතුර පෙරන" වලින් වතුරට මුසු වී ඇති රසායනිකයන් ඉවත් වන බවට ඇති සහතිකය කුමක්‌ද? ගලා එන ජලය නවත්වන්නට නම් ජලය උපදවන උල්පත වසා දැමිය යුතුය. රසායනික පොහොර මගින් සහ කෘෂි රසායන මගින් භූගත ජලයට විෂකාරක රසායනිකයන් මුහුවන බව දේශීය විද්‍යාඥ කණ්‌ඩායම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියා තිබියදී එම විෂකාරක රසායනිකයන් රටට ආනයනය කිරීම නවත්වන්නේ නැතිව ජනතාව මුළාකිරීමට රජයේ මැති ඇමැතිවරු ජනතාවට වතුර පෙරන බෙදති. භූගත ජලයේ පවත්නා විෂ කාරක රසායනිකයන් වතුර පෙරනයකින් පෙරා ඉවත් කළ හැකි නම් රජරට භූගත ජලය පාවිච්චියට නොගෙන මැති ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පරිභෝජනයට කඳුරටින් වතුර මිලදී ගන්නේ කුමටදැයි ජනතාව ප්‍රශ්න කරති.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 2011 ජුනි මස ලංකාණ්‌ඩුවට නිකුත් කළ වාර්තාවට රජයෙන් සාර්ථක ප්‍රතිචාරයක්‌ නොලත් නිසා නැවත වරක්‌ 2011 ඔකAAතෝබර් මාසයේදී රජරට පැතිරෙන වකුගඩු රෝගයට අදාළව තවත් වාර්තාවක්‌ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලංකාණ්‌ඩුවට නිකුත් කර ඇත. එහි මෙසේ දැක්‌වෙයි.

පරිසරය තුළත් ජෛව පද්ධති තුළින් බැරලෝහ ඒකරාශි වීමේ ප්‍රවණතාවයත් ශ්‍රී ලංකාව තුළ පැතිර යන හඳුනා නොගත් හේතුවකින් හටගන්නවා යයි කියෑවෙන නිසි ප්‍රතිකාරයක්‌ නොමැති වකුගඩු රෝගයේ ස්‌වභාවයත් සලකා බැලූ විට රට තුළ භාවිතා කරන පළිබෝධ නාශකවල සහ රසායනික පොහොරවල ගුණාත්මක බව වැඩි කිරීමට ඉක්‌මනින් පියවර ගත යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මුල් කොට සියලු අමාත්‍යාංශවල දායකත්වයෙන් රජරට වකුගඩු ගැටලුව විසඳීම සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන උපාය මාර්ග වහා ක්‍රියාත්මක කළ යුතුය.

විෂ සහිත මූලද්‍රව්‍ය පරිසරය තුළ ඒකරාශිවීම බරපතළ ලෙස මානව සෞඛ්‍යයට තර්ජනයකි.

මේ පිළිබඳව නිසි පියවර ගැනීම් ප්‍රමාද වූ තරමට තරුණ පරපුරට ද ළමා පරපුරට ද මේ උවදුර ගලා යයි. දිගුකාලීන වශයෙන් මානව සමාජය හා රටේ ආර්ථිකය පිළිබඳව දරුණු බලපෑමකට මෙය පාදක වන හෙයින් වහ වහා මේ පිළිබඳව අවශ්‍ය සියලු පියවර ගත යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම අනතුරු ඇඟවීම කර ඇතත් රජයේ වගකිවයුතු අංශ බීරි අලියකු සේ තවමත් මේ ප්‍රශ්නයට නෑසූකන්ව සිටී. ඔවුන්ගේ සරල නිගමනය වන්නේ කෙතරම් විද්‍යාඥ කණ්‌ඩායම් විවිධ පර්යේෂණ පවත්වා විවිධ මත ඉදිරිපත් කර ඇතත් ඒවා පිළිබඳව නිශ්චිත අවසාන තීන්දුවක්‌ ගෙන නැති බවයි. මෙය මුළු ලොවක්‌ හිනස්‌සන හතරබීරි කතාවකි. දේශීය විද්‍යාඥ කණ්‌ඩාම් ස්‌වේච්ඡාවෙන් ඉදිරිපත් වී විවිධ පර්යේෂණ පවත්වා ඔවුන් දුටු දේ වාර්තා මගින් හෙළිකර ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය රජරට අහේතුක වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ කණ්‌ඩායම් දහයක්‌ පත්කොට ඒවා මගින් ලැබෙන නිර්දේශ වරින්වර රජයට ඉදිරිපත් කර ඇත. එමතු නොව දින දෙකකට වරක්‌ එක්‌ වකුගඩු රෝගියකු මියයන තරමට රෝගය ව්‍යාප්ත වී ඇත. රජරට ජනගහනයෙන් 15.5% කට වකුගඩු රෝගය වැළඳී ඇති බව සෞඛ්‍ය වාර්තා හෙළිකරයි. මෙම සියලු ශක්‍යතාවයන් පවතිද්දී රජය නිහඬය. රජය කියන්නේ තවමත් නිශ්චිත හේතුවක්‌ සොයාගෙන නැති බවය.

රජය සුවිශේෂී වකුගඩු රෝහල් පවත්වාගෙන යන බව හැබෑ නම් රජරට පුරාවට වකුගඩු රෝගීන් අතිවිශාල ප්‍රමාණයක්‌ සිටී නම් දෙදිනකට වරක්‌ බැගින් වකුගඩු රෝගියකු මියයන බව හැබෑ නම් දේශීය විද්‍යාඥ කණ්‌ඩායම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව පර්යේෂණ පවත්වා හේතුකාරක දක්‌වා ඇත්aනම් රජයට ඒ සියල්ල පිළිගත නොහැකි නම් රජරට ජනතාවට සිදුවී ඇති මේ මහා විපත්තිය ගැන රජයට පිළිගත හැකි පරිදි පර්යේෂණ පවත්වා හේතු සාධක සෙවීමට හා ඊට අවශ්‍ය පියවර ගැනීමට රජය මැලිවන්නේ ඇයි? මේ වන විට මෙම අහේතුක වකුගඩු රෝගය නිසා මේ වන විට 22000 ක්‌ පමණ ජනතාව මියගොස්‌ ඇති බව වාර්තා වෙයිa. රජයට මේ සඳහා නිසි පියවර ගැනීමට තවත් ජනතාව කොපමණ සංඛ්‍යාවක්‌ වකුගඩු රෝගයට ජීවිත පූජා කළ යුතුද?

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඉහත කී වාර්තා රජයට ඉදිරිපත් කර ඇති නමුත් රජය තවමත් බීරි අලියකු සේ සිටින නිසා තුන්වැනි වරටත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 2012 පෙබරවාරි මස ලංකාණ්‌ඩුවට වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබේ. එහි මෙසේ දැක්‌වෙයි.

"ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වකුගඩු රෝගීන් 496 දෙනකුගේ මුත්‍රා පරීක්‍ෂා කිරීමෙන් සැඟවී ඇති බොහෝ රහසිගත කරුණු එළිදරව් වී ඇත. ඒවා මෙසේය.

01. මුත්‍ර සාම්පල්වලින් 56% ක කැඩ්මියම් ලෝහය හමු වී ඇත. (මේවා රසායනික පොහොරවල අඩංගුය.)

2. මුත්‍රා සාම්පලවලින් 63% ක ආසනික්‌ විෂකාරකය හමුවී ඇත.

3. ආසන්න වශයෙන් මෙම වකුගඩු රෝගීන්ගෙන් 88% ක එනම් රෝගීන් 440 කගේ පමණ කැඩ්මියම් ආසනික්‌ විෂකාරකයන් මුත්‍රා සමඟ පිටවී යයි.

4. වකුගඩු රෝගීන් ද ඇතුළුව උතුරුමැද ප්‍රදේශයේ සමීක්‍ෂණයට භාජනය කළ ජනතාවගෙන් 90% ක ප්‍රමාණයේ හිසකෙස්‌වල ඉහළ ආසනික්‌ ප්‍රතිශතයක්‌ හමුවී ඇත.

5. එම ජනතාවගෙන් 94% ක ප්‍රමාණයේ නියපොතුවල ඉහළ ආසනික්‌ ප්‍රතිශතයක්‌ හමුවී ඇත. මේ අනුව වකුගඩු රෝගය මැඬලීමේ එක්‌ පියවරක්‌ හැටියට විෂකාරකවලින් තොර වූ රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතයට ගොවි ජනතාව අප්‍රමාදව පෙළඹවිය යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙවැනි පැහැදිලි නිරීක්‍ෂණයන් දී තිබියදී වුවත් බල්ලන් බුරද්දී තවලම පුරුදු පාරේ ඇදී යන්නාක්‌ මෙන් රජය රසායනික පොහොර භාවිතයෙන් සහ කෘෂි රසායනවලින් ජනතාව මුදාගැනීමට තවමත් ශක්‌තිමත් පියවරයන් ගෙන නැත. අවම වශයෙන් විෂ රහිත රසායනික පොහොර සහ කෘෂි රසායන රටට ඇතුළු කිරීමට ශක්‌තිමත් මුරවැටක්‌ යොදා නැත. මෙය ඉතාමත් දජනක තත්ත්වයකි.

දුම්වැටි ඉරීමෙන් වසරකට මේ රටේ 22000 ක්‌ පමණ මියයන බව වාර්තා වේ. ඔවුන් මියයැම රටට පාඩුවක්‌ වුවත් ඔවුන් මැරෙන්නේ විෂකාරක දුම්වැටි ඉරීම නිසාය. නමුත් වකුගඩු රෝගීන් එසේ නොවේ. වකුගඩු රෝගය විෂකාරක මුසු වූ ජලය පානය කිරීමෙන් සිදුවන බව මේ වන විට බොහෝ පැතිවලින් සනාථ වී තිබේ. මිනිසුන්ට වතුර බීම අත්‍යවශ්‍යය. මිනිසුන් මැරෙන්නේ අපිරිසිදු රසායනික මිශ්‍ර ජලය පානය කිරීම නිසා නම් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම රට කරවන ඇත්තන්ගේ වගකීමකි. වෛද්‍යවරුන්ගේ වාර්තා අනුව මේ වන විට රජරට ජනතාවගෙන් 15.5% ක්‌ වකුගඩු රෝගීන්ය. කල්ගතවීමෙන් හෝ මොවුහු ඒකාන්තයෙන්ම වකුගඩු රෝගයෙන් මිය යති. මක්‌ නිසාද? වකුගඩු රෝගය නිට්‌ටාවට අවම කිරීමට මේ දක්‌වා බටහිර හෝ දේශීය වෙදකමෙන් ඖෂධයක්‌ සොයාගෙන නැති බැවිනි. මේ නිසා වකුගඩු රෝගය හැදුනොත් ඒකාන්තයෙන්ම එම රෝගයෙන්ම මියයයි. දැනට 15.5% ක වකුගඩු රෝගීන් සිටීම අතිශයින් බියජනකය. චෝල ආක්‍රමණයේදී මෙන් වකුගඩු රෝග ආක්‍රමණයේදීත් යළිත් රජරට ජනශූන්‍ය ප්‍රදේශයක්‌ වන්නට ඉඩ තිබේ. මේ සඳහා කළ යුතුව ඇත්තේ විෂකාරක රසායනිකයන්ගෙන් ඉඳුල් නොවූ පානීය ජලය ජනතාව වෙත සැපයීමය. පසුගියදා පැවැති දැයට කිරුළ වෙනුවෙන් වැය කළ රුපියල් කෝටි 1200 ක්‌ තරම් වූ මුදල් සම්භාරය රජරට ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා වැය කරන ලද්දේ නම් මොන තරම් පිනක්‌ද?

රජය වකුගඩු රෝගීන් වෙනුවෙන් රෝහල්, වෛද්‍යවරු, උපකරණ, සායන, ඖෂධ ආදිය වෙනුවෙන් විශාල මුදලක්‌ වැය කරන බව සැබවි. එසේම වකුගඩු රෝගීන්ට රුපියල් 500 හෝ 1000 බැගින් මාසික ආධාරයක්‌ සපයන බව ද සැබවි. නමුත් මේ එකකින්වත් පලක්‌ නැත. මක්‌ නිසාද? වකුගඩු රෝගය වැළඳුන සෑම රෝගියෙක්‌ම යම් කාල පරාසයක්‌ තුළ එම රෝගයෙන්ම මියයන බැවිනි. මේ වන විට අනුරාධපුර ප්‍රධාන වකුගඩු රෝහලේ උග්‍ර වකුගඩු රෝගීන්ගේ අපිරිසිදු රුධිරය නිතර පිරිසිදු කිරීම සඳහා රුධිර කාන්දුකරණ යන්ත්‍ර 20 ක්‌ පිහිටුවා ඇත. එයින් මේ වන විට ක්‍රියා කරන්නේ එම යන්ත්‍රවලින් හතරක්‌ පමණි. සෙසු යන්ත්‍ර 16 ම කැඩී ඇති බව වාර්තා වී ඇත. රජය වකුගඩු රෝගීන් සඳහා දක්‌වන සැලකිල්ලේ තරම මෙයින්ම සිතා ගැනීමට පුළුවන. රජරට ජනතාව ඉල්ලා සිටින්නේ කොළඹ ඩෙංගු රෝගය මැŽමට රජය දක්‌වන උනන්දුව මෙන් අනුරාධපුරයේ වකුගඩු රෝගය මැඬපැවැත්වීමට ද උනන්දු වන ලෙසයි.

දැනට වකුගඩු රෝගීන්ට සපයන බටහිර ඖෂධවලින් සිදුවන්නේ රෝගියාගේ මරණය කල් දැමීමක්‌ මිස රෝගය නිට්‌ටාවට සුව කිරීමක්‌ නොවේ. මෙය එක්‌තරා විධියක බටහිර ඖෂධ ජාවාරමේ තවත් අවස්‌ථාවකි. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන රජරට වකුගඩු රෝගය පලවාහැරීමේ පියවරක්‌ වශයෙන් ජනතාවට පිරිසිදු පානීය ජලය බෙදාදීමේ පුළුල් වැඩපිළිවෙළක්‌ ඉක්‌මනින් දියත් කරන ලෙස ඉල්ලා සිටිමු.

2 comments:

  1. හොඳ ලිපියක්! වගකිවයුත්තන් සහ නිලධාරීන් මේ Blog ලිපිය කියවන එකක් නෑ. මේ ලිපියේ අන්තර්ගතය ඔවුන්ට යවන්නෙ කොහොමද?

    ReplyDelete
  2. රජරට වැසියන්ට නාථ දෙයියන්ගේම පිහිටයි ආරක්සාවයි ......

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්