Wednesday, November 16, 2011

තැපැල් වර්ජනයෙන් ලියුම් මග රැදෙයි

වැඩබලන තැපැල්පති එම්. කේ. බී. දිසානායක මහතාට ඉල්ලා අස්‌වන ලෙස බලකරමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව පෙරේදා (14 වැනිදා) ආරම්භ කළ අඛණ්‌ඩ උපවාසය සහ අතිකාල වර්ජනය හේතුවෙන් ඊයේ (15 දා) සවස වන විට ලියුම් ලක්‍ෂ හතකට අධික ප්‍රමාණයක්‌ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය තුළ සිර වී තිබිණි.

සාමාන්‍ය ලියුම්, ලියාපදිංචි ලිපි සහ පාර්සල් මෙම ලිපි තොගයට ඇතුළත් වේ. තැපැල් දෙපාර්තමේන්තුවේ හදවත බඳු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ කටයුතු ද මේ වන විට මුළුමණින්ම වාගේ අකර්මන්‍ය වී තිබේ. පිට පළාත්වල සිට ගෙනෙන ලද තැපැල් මලු මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය තුළ ගොඩගසා ඇති අතර මෙරට තැපැල් අංශය සම්පූර්ණයෙන්ම පාළුවට ගොස්‌ තිබිණි.
දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි තැපැල් කාර්යාල සඳහා දිනපතා යැවෙන මුද්දර තොග බෙදාහැරීම ද අඩපණ වී ඇතැයි දල මෙම ගැටළුව ඉක්මනින් නිරාකරණය නොවුණහොත් ඉදිරි දිනවලදී මුද්දර හිඟයක් ඇතිවීමටත් ඉඩ ඇතැයි වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයෙක් පැවැසීය.

මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ සේවකයන් ආරම්භ කර ඇති උපවාසයට සහ අතිකාල වර්ජනයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට ප්‍රධාන තැපැල් කාර්යාලවල සහ උප තැපැල් කාර්යාලවල සේවකයන් ද මේ වන විටත් තීරණය කර තිබේ. තැපැල්පතිවරයා ඉල්ලා අස්‌නොවුණහොත් හෙට (17 වැනිදා) වන විට රට පුරා සියලුම තැපැල් කටයුතු අඩාල වනු ඇතැයි විශ්වාස කරයි.

2 comments:

  1. යකෝ මුන්ට ඕන විදිහටනේ දැන් මුළු රටම නටන්න ඕන, මුන් මේ වගේ වඩා වර්ජන කරනකොට අස් කරලා දාල අලුත් කට්ටියව ගන්න ක්‍රමයක් තිබ්බනම් මේ මුකුත් නැ, ලංකාවනේ :D

    ReplyDelete
  2. රටේ විනිවිද පෙනෙන නීති සමුදායක් නොමැති වූ විට, පවත්නා නීති රටෙහි පාලකයන් අමු අමුවේ උල්ලංඝනය කරා විට සාමාන්‍ය ජනයා නීතිය අතට ගැනීම මෙන්ම වෙනත් ක්‍රම වලින් තම විරෝධය පල කිරීම ඉතාම සාමාන්‍ය දෙයක්. මෙහි අවසාන ප්‍රතිඵලය 88-89 යුගයේ වැනි භීෂණ යුගයක්! අවාසනාවට ලාංකිකයන් වන අප පසු ගිය සිද්ධීන් වලින් පාඩම් ඉගෙන නොගන්නා අමන ජාතියක් නිසා එකම චක්‍රයක් තුල තවම අපි සිර වී සිටිනවා. බුද්ධියට නොව හැඟීම් වලට අනුව තම චන්ද අයිතිය භාවිතා කරන බහුතරයක් නිසා අප විසින් පත් කර ගන්නා පාලකයන් බුද්ධිමත් සුලුතරය පවා වල පල්ලට දක්කනවා. මේ තත්වය සැබැවින් ම ශෝචනීයයි.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්