Friday, January 14, 2011

කොළඹට වසර 61 කට පසු නුවරඑළියට 82 කට පසු අඩුම උෂ්ණත්වය ඊයේ

කොළඹ දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල දැඩි සීතල තත්ත්වයක්‌ පවතින අතර ඊයේ (13 වැනිදා) එහි උපරිම තත්ත්වයක්‌ වාර්තා වූ බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ජී. බී. සමරසිංහ මහතා "දිවයින"ට පැවසීය. ඒ අනුව වසර 61 කට පසු කොළඹ දිස්‌ත්‍රික්‌කයේ අඩුම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 18.8 ක්‌ ලෙස ඊයේ වාර්තා වූ බව ඒ මහතා සඳහන් කළේය. මේ අතර නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට ද අඩුම උෂ්ණත්වයක්‌ ඊයේ වාර්තා වූ අතර එය සෙල්සියස්‌ අංශක 7.9 ක්‌ බව ඒ මහතා කීවේය.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ මෙවැනි අඩුම උෂ්ණත්වයක්‌ වාර්තා වූයේ වසර 82 කට පසුවය.

කොළඹ දිස්‌ත්‍රික්‌කයට 1950 ජනවාරි මාසයේ දී සෙල්සියස්‌ අංශක 15.2 ක අඩුම උෂ්ණත්වයක්‌ ලැබුණු අතර 1929 දී නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට සෙල්සියස්‌ අංශක සෘණ 2.6 ක අඩුම උණුසුමක්‌ ලැබී තිබේ.

ශාන්තිකර සාගරයේ උණුසුම අඩුවීම හෙවත් ලානිනා තත්ත්වය හේතුවෙන් ලොව පුරා සුළං සංසරණ පද්ධතියේ සිදුවී ඇති වෙනස්‌කම් මෙසේ ශ්‍රී ලංකාවේ කාලගුණික වෙනස්‌වීම්වලට ද බලපා ඇති බව සමරසිංහ මහතා පැවසීය.

දැනට පවතින වැසි, සුළං, වලාකුළු සහිත බව හා සීතල අද (14 වැනිදා) සිට ක්‍රමයෙන් අඩුවී යන බවත්, උතුරු නැගෙනහිර පළාත්වලට තරමක වැසි ඉදිරි දින කිහිපයේ දී අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.

පෙබරවාරි මාසයෙන් පසු ශ්‍රී ලංකාවට උණුසුම් කාලගුණයක්‌ ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද හෙතෙම පැවසීය.

මේ දිනවල නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට බලපා ඇති මල් තුහින පතිතවීම (හිම වැනි තරමක ඝනකම පිණි බිඳු) භෝග වගාවන්වලට හානිකර විය හැකි බැවින් එම වගාවන් ආවරණය කිරීම සුදුසු බව ද සමරසිංහ මහතා අවධාරණය කළේය. 


දිවයින online

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්