Saturday, January 15, 2011

එදා මෙහේ පොල් එහේ : මෙදා එහේ පොල් මෙහේ සමන්ත විද්‍යාරත්න (ජවිපෙ)

පාලකයන්ගේ තුවක්‌කුවලට යුද්ධය නවත්වන්න පුළුවන් වුණාට පාලකයන්ගේ තුවක්‌කුවලට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා එසේ පැවසුවේ මොණරාගල ප්‍රජා ශාලාවේ පැවැති දේශනයකදීය.

"දං ගෙඩියට ගෙන යන ගොවිතැන" මැයෙන් වූ දේශනය සංවිධානය කොට තිබුණේ සමස්‌ත ලංකා ගොවිජන සේවා සම්මේලනයයි.

වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ( හෙළ උරුමය පාර්ලිමේන්තුවට යන කොට කිව්වේ ගෞතම බුද්ධ රාජ්‍යය ඇති කරනව කියලයි.

අපේ රටේ කැසිනෝ නීතිගත කරලා. ඒත් බේබි කැපීම තහනම්.

හෙළ උරුමයේ නායකයන්ගෙන් අපි අහන්න කැමතියි ගෞතම බුද්ධ රාජ්‍යයේ කැසිනෝ වීදිය තියෙන්නේ කොහේද කියලා?

අපේ ඡන්ද ටික කොල්ලකාලා අධිරාජ්‍යවාදී මහත්වරුන්ට සේවය කරන එකයි හැමෝම කරන්නේ. මහින්ද මහත්තයත් එකයි. ඊට පෙර හිටිය මහත්වරුත් එහෙමයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා කියනවා ව්‍යාපාරිකයෝ කුමන්ත්‍රණය කරනවා කියලා. ඇමැතිතුමාට කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේ.

එදා පරාක්‍රමබාහු රජතුමා කිව්වේ අහසින් වැටෙන එක දිය බිඳක්‌ අපතේ යවන්න එපා කියලා. ඒත් අද ඉන්න රජාල කියන්නේ එක වී ඇටයක්‌වත් අනිත් මෝල්වලට යන්න දෙන්න එපා අපේ මෝලටම විතරක්‌ යන්න ඕන කියලා. එදා පෙරදිග ධාන්‍යාගාරය. අද පිටරටින් හාල් ගෙන්වනවා. එදා මෙහේ පොල් එහේ. අද එහේ පොල් මෙහේ.

අපෙන් ඡන්ද ගත්ත අය මේ රට ගෙන යන්නේ සුද්දන්ට ඕනෑ විදියට මිසක්‌ ස්‌වදේශික ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන ආකාරයට නොවෙයි. වක්‌කඩෙන් අත හෝදාගෙන නාම යෝජනා පත්‍රයට අත්සන් කෙරුව කෙනා පිටරටින් හාල් ගෙන්වනවා. මොණරාගල අහිංසක ගොවීන්ගේ ඉඩම් කොම්පැණිකාරයන්ට දෙනවා. මහවැව් තුනකින් වටවෙලා සිටින මොණරාගල ජනතාව නියඟයෙන් පීඩා විඳිනවා.

මන්ත්‍රීවරුන්ට ප්‍රාඩෝ දෙන්න රු. කෝටි එකසිය හතළිස්‌ අටක්‌ වැය කරන්න පුළුවන්. ජනාධිපතිගේ වැය ශීර්ෂයට කෝටි දෙසීය අනූඅටක්‌ වියදම් කරන්න පුළුවන්. ඒත් හැත්තෑ ලක්‍ෂයක්‌ නිරතවන කෘෂිකර්මාන්තයට වෙන්කරන්නේ ලක්‍ෂ 358 යි. කොහොමද පුතේ ආශ්චර්ය. චිරං ජයතු.

දේශප්‍රේම - දේශප්‍රේමය කියලා උදේ ඉදන් රෑ වෙනකම් කෑ ගහනවා. ඒත් මේ රට යන්නේ සුද්දන්ට ඕනෑ විදිහටයි. උදරයට ප්‍රේම කරන අය ජනතාවට කියනවා දේශයට ප්‍රේම කරන්න කියා.

සීගිරි චිත්‍ර නිර්මාණය කළේ, සාගරය පරදන මහ වැව් කළේ, ගල් පර්වත පිළිම බවට පත් කරන අපට අවශ්‍ය දැනුම දුන්නේ ලෝක බැංකුව නොවෙයි. ආසියානු සංවර්ධන බැංකුව නොවෙයි. අපේ පැරැණි ඥනය හා ශක්‌තිය මතයි ඒ දේවල් සිදු කළේ. ඒවායේ පදනම කෘෂිකර්මාන්තයයි.

කෘෂිකර්මයේ බොහෝ දේවල් විනාශ වෙමින් යන්නේ. එදා ලංකාවට ආවේණික වී වර්ග 2800 ක්‌ තිබුණු බව පොත්වල සඳහන් වෙනවා. අද කෝ ඒ වී. ඒවා අමතක වී. මේ යන විදියට කෘෂිකර්මය ගියොත් තව අවුරුදු 10 කින් කෘෂිකර්මාන්තය ඉවර වේවි. මේ රටේ පාලකයන්ට අපි ගැන, අපේ රට ගැන, අපේ උරුමයන් ගැන කැක්‌කුමක්‌ නැහැ. අපිට ඕවා වැඩක්‌ නැහැ. දෙන දෙයක්‌ කාලා අපි අපේ පාඩුවේ ඉන්නවා කිව්වොත් වැඩි කල් නොගිහිල්ලා කෘෂිකර්මාන්තය පිළිබඳ මරණ දැන්වීම අලවන්න වේවි.

ගොවියා බෙහෙත් ගන්න රෝහල්වල බෙහෙත් නැහැ. ගොවියන්ගේ දරුවන් ඉගෙන ගන්න පාසල්වලට ගුරුවරු නැහැ.

කෘෂිකර්මය ජාතියේ අත්තිවාරමයි. ජාතියේ අත්තිවාරම දෙදරන්න දෙන්න බැහැ. මිය යන්නට පෙර රට රැකිය යුතු කාලය ඇවිල්ලා.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්