Thursday, January 20, 2011

නව යොවුන් වියේ දරුවන් කෙරෙහි වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතුයි

"දශක ගණනාවකට පෙර විද්‍යාත්මක මතය වූයේ වයස අවුරුදු 14 වන විට දරුවකු ගේ මොළය සම්පූර්ණයෙන් වර්ධනය වී ඇත යන්නයි. එහෙත් අද අනාවරණය වී තිබෙනවා, දරුවකු ගේ මොළය වයස අවුරුදු 12ත් 25ත් අතර කාලය දක්‌වා වර්ධනය වෙනවා කියල. මොළයේ ක්‍රියාකාරීත්වයට මොළයේ සෛල හා ඒවා අතර ඇති මයලින් නම් ලිපිඩ තැන්පත් වීම ඉතා ම වැදගත්. මොළයේ සෛලවල මයලින් තැන්පත් වීම මොළයේ පිටුපස පෙදෙසින් ආරම්භ වී ක්‍රමයෙන් ඉදිරිපසට ව්‍යාප්ත වෙනවා. දරුවා ගේ හැඟීම් පහළ වීමට අවශ්‍ය මොළයේ කොටස්‌වල අවුරුදු 15 වන විට මයලින් තැන්පත් වී පරිණත වෙනවා. මේ නිසා අවුරුදු 15-17 අතර කාලය වන විට දරුවන්ට වැඩිහිටියකුට ඇති වන හැඟීම් පහළ වෙනවා. එහෙත් මොළයේ ඉදිරිපස කොටසේ සෛලවල මයලින් තැන්පත් වී නැති නිසා තීරණ ගැනීමේ හැකියාවෙහි දුර්වලතාවක්‌ පෙන්නුම් කරනවා. ඔවුන් සිතට නැඟෙන ආවේග වලට අනුව ක්‍රියාත්මක වුණත් සිතාබලා කරන පාලනයක්‌, තීරණ ගැනීමේ දක්‌ෂතාවක්‌ පෙන්නුම් කරන්නේ නෑ හරියට තිරිංග නැති රියක්‌ පදවනවා වගේ. ඒ නිසා වැඩිහිටියන් තීරණ ගැනීමේ දී ඔවුන්ට උදව් කළ යුතුයි."

දෙසැම්බර් 27 වැනි දින කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාතෘත්වයට බලපාන නීතිමය අභියෝග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයේ දී මේ අදහස්‌ පළ කර සිටියේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය මහත්මියයි. එහි දී වැඩිදුරටත් කතා කළ ඒ මහත්මිය මෙසේ ද පැවසුවා ය.

"නව යොවුන් විය කෙනකු ගේ ජීවිතයේ ඉතා ම සුවිශේෂී අවස්‌ථාවක්‌. නව යොවුන් විය අවස්‌ථා තුනකට බෙදා වෙන් කෙරෙනවා. එකක්‌ පෙර නව යොවුන් විය. මෙයට වයස අවුරුදු 12ත් 14ත් අතර වයස්‌ කාණ්‌ඩය අයත් වෙනවා. වයස අවුරුදු 15ත් 17ත් අතර වයස්‌ කාණ්‌ඩය අයත් වන්නේ මැදි නව යොවුන් වියටයි. පසු නව යොවුන් වියට අයත් වන්නේ වයස අවුරුදු 18ත් 19ත් අතර කාල සීමාවයි. මාපියන් සමග බැඳීම අඩු වීම, සම වයසේ යහළුවන් ඇති කර ගැනීම, තමන් ගේ අනන්‍යතාවක්‌ ඇති කර ගැනීමට උත්සාහ කිරීම, හැඟීම් බර වීම, පුද්ගලිකත්වය රැක ගැනීමට උනන්දු වීම, අවදානම් හැසිරීම් අත්හදා බැලීමට උත්සාහ කිරීම වැනි ලක්‌ෂණ රාශියක්‌ පෙන්නුම් කරනවා. නව අත්දැකීම් අත්හදා බලන්නට යැම මේ වයසේ දරුවන් ගේ ප්‍රධාන ලක්‍ෂණයක්‌. මත්ද්‍රව්‍ය භාවිතයට මත්පැන් භාවිතයට මෙන්ම සමාජයේ කැපී පෙනීමට දුම්වැටි පානය කිරීමට පෙලඹෙන්නේ මේ වයස්‌ කාණ්‌ඩවල අයයි. වැඩිහිටියන් වශයෙන් අපි කළ යුත්තේ ඔවුන් පිළිබඳව අවධානයෙන් සිට වරද නිවැරැදිව පෙන්වා දී ආදරය දැක්‌වීමයි"


 අමල් උඩවත්ත විදුසරට ලියු සටහනකිනි

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්