Monday, January 17, 2011

අපි විශ්වකර්ම වැඩක්‌ කළා අයි. සී. සී. යෙන් එන පිරිසට පුදුම හිතෙවි - සුරාඡ් දන්දෙනිය දිවයිනට පවසයි

ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනෙහි තණතීරුව, ක්‍රීඩා පිටියේ මෙන්ම එහි ආරක්‍ෂක කටයුතු තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ ඉහළම පෙළේ නිලධාරීන් පිරිසක්‌ ලබන 20 ත් 25 ත් අතර කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පවසන ලෝක කුසලාන ශ්‍රී ලංකා කාර්යාල අධ්‍යක්‍ෂ සුරාඡ් දන්දෙණිය මහතා කෙටි කාලයක්‌ තුළ ශ්‍රී ලංකාවේ කොන් තුනක අංග සම්පූර්ණ ක්‍රීඩාංගණ 3 ක්‌ ඉදිකිරීම පිළිබඳව මෙම පිරිස අනිවාර්යයෙන්ම පුදුමයට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව සඳහන් කර සිටියි.

දුරකථනයෙන් එක්‌වෙමින් "දිවයින" සමගින් අදහස්‌ දැක්‌වූ ඒ මහතා, ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ ඉහළම පෙළේ නිලධාරීන් පිරිසක්‌ වන මෙම පිරිස ලබා දෙන සහතිකය ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ තරග අදාළ ක්‍රීඩාංගණවල පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය වන බවද සඳහන් කර සිටියි.

එම කාල සීමාවේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිල ඉහළ පෙළේ නිලධාරීන් අතරට, ලෝක කුසලාන තරගාවලි අධ්‍යක්‍ෂක මහාචාර්ය රත්නකාර් ෂෙටි, එම වෙළෙඳ කළමනාකරු ජිමී කැම්බ්බෙල්, එම අනු කමිටු කළමනාකරු ක්‍රිස්‌ ටේට්‌ලි, එම අනුග්‍රාහක සහ වෙළෙඳ ප්‍රවර්ධක කළමනාකරු ඩග් වොලර් සමගින් ඉන්දියාවේ ශාරාද් පවාර් හෝ එන්. සිරිනිවාසන් යන දෙදෙනාගෙන් කෙනකු අයත් වනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ තණතීරු පිළිබඳ උපදේශක ඇන්ඩි ඇට්‌කින්සන් මහතා සහ ආරක්‍ෂක කළමනාකරු ෂෝන් පැරල් මහතා පසුගිය 14 සහ 15 වැනි දිනවල ලෝක කුසලාන තරග පැවැත්වෙන හම්බන්තොට, පල්ලෙකැලේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ බව පවසන දන්දෙණිය මහතා, එහිදී ක්‍රීඩාංගණවල තත්ත්වය පිළිබඳ ඔවුන් ඉතාම සතුටට පත්ව සිටින බව සඳහන් කර සිටියේය.

"ක්‍රීඩාංගණ පරීක්‍ෂා කිරීම සඳහා මොවුන් ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවේ කොන් 3 ක ක්‍රීඩාංගණ 3 ක්‌ අලුතින්ම ඉදිකිරීම පිළිබඳව ඔවුන් විහිලුවටයි කතා කළේ. නමුත් මේ පාර ආවහම මොවුන් මගෙන් ඇහුවේ මේවා මෙච්චර ඉක්‌මනට ඉවර කළේ කොහොමද කියලා" යනුවෙන් පවසන ලෝක කුසලාන ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරයා, ක්‍රීඩාංගණවල තත්ත්වය පිළිබඳව ඇට්‌කින්සන් තම ප්‍රශංසාව පළ කළ බවද සඳහන් කර සිටියේය.

ඇට්‌කින්සන් සහ පැරල් දෙදෙනාගේ මෙම ක්‍රීඩා පිටි වල තත්ත්වය පිළිබඳ නැවතත් පරීක්‍ෂා කර ඇති අතර එහිදී ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට තම වාර්තාවන් ඉදිරිපත් කිරීමට නියමිත වේ.

"පල්ලෙකැලේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල වැඩ කටයුතු 100% කින්ම ඉවරයි. එහිදී රථ ගාල සහ ක්‍රීඩාංගණයට ඇතුළු වන මාර්ගවල සුලු වැඩ කොටසක්‌ පමණක්‌ අවසන් වීමට තියෙනවා. ඒත් එක්‌කම හම්බන්තොට ක්‍රීඩාංගණයේ වැඩ කටයුතුත් බොහෝ දුරට නිම වෙලා තියෙන්නෙ. එහිදී ඉතිරිවෙලා තියෙන්නේ ක්‍රීඩාංගණයට ඇතුළු වූ විට දිස්‌වන පෙදෙසේ පමණක්‌ වීදුරු ඇල්ලීම වැනි සුලු සුලු වැඩ කටයුතු පමණයි" යනුවෙන් ක්‍රීඩාංගණ වල සූදානම පිළිබඳව දන්දෙණිය මහතා පවසයි.

මෙහිදී ක්‍රීඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය වෙත ලබාදෙනන දිනය කවදාදැයි "දිවයින" විසින් දන්දෙනිය මහතාගෙන් කරුණු විමසන ලදුව, "ක්‍රීඩාංගණ භාර දෙන්නේ කාටද...? භාර දෙන්න තියෙන්නෙ මටමනේ" යනුවෙන් සඳහන් කර සිටි අතර එහිදී මෙම සතිය තුළදී ඉංජිනේරු සංස්‌ථාවෙන් පල්ලෙකැලේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල යතුරු භාර ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

"අපි මේ ක්‍රීඩාංගණ හදන්න පටන් ගත්තේ පසුගිය 2010 අප්‍රේල් 28 වැනිදා. මේ ක්‍රීඩාංගණ 3 එකිනෙකට එකක්‌ වෙනස්‌ ඒවා. එමෙන්ම ක්‍රීඩාංගණ නිර්මාණය වෙලා තියෙන්නේ ලෝකයේ තියෙන ප්‍රධානතම ක්‍රීඩාංගණවලට දෙවැනි නොවන අන්දමටයි. ඒ තරමටම මෙම ක්‍රීඩාංගණ වල ඉදිකිරීම් විශිෂ්ඨයි" යනුවෙන් පවසන දන්දෙණිය මහතා කෙටි කාලයක්‌ තුළ මෙවන් ක්‍රීඩාංගණ ඉදිකිරීම විශ්වකර්මයක්‌ වනු ඇති බවද සඳහන් කර සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමගින් වන තරග 3 කින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරගය මෙම මස 31 වැනිදා හම්බන්තොටදීත්, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙළින් 4 හා 6 දිනවල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

1 comment:

  1. අනේ හුකේ.... කෙත්තාරාමෙ තාම පුටු ටික හයි කරලවත් නෑ ඔක්කොම. මේක බයිල ගහනව.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්