Tuesday, January 25, 2011

ඛෙත්තාරාම ලෝක කුසලාන තණ තීරු විවර කරන්නැයි ක්‍රීඩක පැමිණිලි

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ප්‍රතිසංස්‌කරණය කරන ලද කොළඹ ඛෙත්තාරාම, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරු හතරක්‌ ලෝක කුසලාන තරග සඳහා වෙන් කොට, එයට බාහිර තණතීරුවල තරග පැවැත්වීම පිළිබඳ ක්‍රීඩක නොසන්සුන්තාවක්‌ හට ගෙන ඇති අතර ඒ පිළිබඳ ඉහළ ක්‍රිකට්‌ බලධාරීන් වෙත පැමිණිලි ද ගොනුවී ඇතැයි "දිවයින"ට වාර්තා වේ.

ලෝක කුසලාන තරග සඳහා යෝජිත තණතීරු භාවිතා කොට "පදම්" කිරීම වෙනුවට එම තණතීරු ප්‍රවේශම් කිරීමෙන් ක්‍රීඩකන්ට මෙන්ම බලධාරීන්ටද කිසිදු වාසියක්‌ නොසැලසෙන බවට එම ක්‍රීඩකයෝ පැමිණිලි කර ඇත.

අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට්‌ තරගාවලිය යටතේ බස්‌නාහිර සහ වයඹ පළාත් අතර පළමු අවසන් පූර්ව තරගයේදී වයඹ පළාත් පිල ලකුණු 69 කින් පරදා බස්‌නාහිර පළාත් කණ්‌ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර එහිදී වයඹ කණ්‌ඩායම "පාසල් මට්‌ටමේ" ලකුණු සංඛ්‍යාවකට දැවී යැම අදාළ ක්‍රීඩක නොසතුටට ආසන්නතම හේතුව වී ඇත.

තණතීරුවේ හැසිරීම ප්‍රාථමික මට්‌ටමට වැටීම තවත් හේතුවක්‌ වශයෙන් ක්‍රීඩකයන් විසින් බලධාරීන්ට පෙන්වා දී ඇති අතර, භාවිත තණතීරුවේ තත්ත්වය මෙය නම් තරගවලට භාවිතා නොකොට සුරක්‍ෂිත තත්ත්වයේ පවත්වාගෙන යන තණතීරුවල තත්ත්වය කෙසේ විය හැකි දැයි ක්‍රීඩකයෝ ප්‍රශ්න කරති.

මේ අනුව ලෝක කුසලාන තරග සඳහා වෙන් කර ඇති තණතීරු තරග පැවැත්වීම සඳහා වහා විවෘථ කළ යුතු වත්, එමගින් ක්‍රීඩකයන්ට එම තණතීරු පිළිබඳ නිසි පූර්ව අවබෝධයක්‌ ලබාගත හැකි බවත් ක්‍රීඩක දැඩි මතය වී තිබේ.

බස්‌නාහිර - වයඹ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බස්‌නාහිර පළාත් පිල පන්දුවාර 50 කදී කඩුලු 9 කට ලකුණු 221 ක්‌ රැස්‌ කළ අතර ඊට පිළිතුරු ලෙස වයඹ පළාත් පිලට රැස්‌ කර ගත හැකි වූයේ පන්දුවාර 38.2 කදී ලකුණු 152 කි. ලෝක කුසලාන කණ්‌ඩායමේ මෙන්ම ජාතික තලයේ පසුවන ප්‍රබලම ක්‍රීඩකයන් රැසක්‌ සතු වයඹ කණ්‌ඩායමේ ඉනිම එහිදී පාසල් කණ්‌ඩායමක ස්‌වරූපයක්‌ (පන්දුවාර 40 කට ආසන්න පන්දුවාර සංඛ්‍යාවකදී ලකුණු 152 ක්‌) ගැනීමද සුවිශේෂී වෙයි. මීට පෙර මෙම ක්‍රීඩාංගණයේදීම පැවැති අන්තර් සමාජ පන්දුවාර තරගාවලියේදීද පැවැති අවසන් පූර්ව තරගවලදී (වර්ෂාව හේතුවෙන් අවසන් මහ තරග නොපැවැත්විණි) කිසිදු කණ්‌ඩායමක්‌ ලකුණු 225 සීමාව පසු කර යැමට අපොහොසත් වීමද විශේෂත්වයකි.

මේ පිළිබඳව ජාතික තණතීරු සකසන්නා වන අනුරුද්ධ පොළොන්නෝවිට මහතාගෙන් "දිවයින" කරුණු විමසන ලදුව, කිසිදු ක්‍රීඩකයකු තමාට එවැනි පැමිණිල්ලක්‌ නොකළ බව සඳහන් කළේය.

මෙහිදී වයඹ පළාත් කණ්‌ඩායමේ ලකුණු සංඛ්‍යාව මෙතරම් අඩු අගයක්‌ ගත්තේ කුමන සාධකයක්‌ බලපෑවේ දැයි "දිවයින" විසින් නගන ලද පැනයකට පිළිතුරු දුන් ඒ මහතා "පෞද්ගලික හේතුවක්‌ මත තරගය නිමා වන තෙක්‌ ක්‍රීඩාංගණයේ රැඳී සිටීමට මට නොහැකි වුණා. නමුත් රෑ ටිකක්‌ බෝලෙ "ස්‌විංග්"(දොaලනය) වුණා" යනුවෙන් පැවැසූ ඒ මහතා එය වයඹ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවක්‌ ගැනීමට බොහෝ ලෙස ඉවහල් වන්නට ඉඩ ඇතැයිද සඳහන් කර සිටියේය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්