Sunday, December 5, 2010

සරසවි පිවිසුම ගැන ඔබ මේ තොරතුරු දැන සිටියා ද (විදුසර)

විදුසර පුවත්පතේ පසු මස 10 වෙනි දින කලාපයෙන් උපුටා ගන්නා ලද බව කරැණාවෙන් සලකන්න
විදුසර ( උත්තර පත්‍ර නැවත සමීක්‌ෂණයට යෑවීමෙන් පසු Z අගයය වෙනස්‌ වුණත් පැරැණි Z අගයයට ම පාඨමාලාවන් සඳහා තෝරා ගැනෙන බවට සමහරුන් අතර බියක්‌ තිබෙනවා. මේක ඇත්තක්‌ ද?

පිළිතුර ( සම්පූර්ණයෙන් ම මිථ්‍යාවක්‌. නැවත සමීක්‌ෂණ ප්‍රතිඵල මුලින් ම නිකුත් කරන්නේ අප වෙතයි. ඒ ප්‍රතිඵල ලැබෙන තුරු අපි අපේ ගණනය කිරීම් අත්හිටුවාගෙන සිටිනවා. අප පාඨමාලාවන් සඳහා සිසුන් තෝරාගනු ලබන්නේ ඒ තොරතුරු ද ඇතුළත් කිරීමෙන් පසුවයි. එබඳු අසාධාරණයක්‌ වෙන්න කිසි ම ඉඩක්‌ නැහැ.

විදුසර ( විශ්වවිද්‍යාල අයදුම්පත සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යවන සහතික පත්‍ර, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නො ලැබුවත් ආපසු එවීමට ප්‍රමාද වන බවට චෝදනාවක්‌ තිබෙනවා.

පිළිතුර ( මේ ප්‍රමාදය සිදු වන්නේ හැකිතාක්‌ සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීමට අප දරන උත්සාහය නිසයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීමට කිසිසේත් ම සමත්කම් නො දක්‌වන අයදුම්කරුවන් ගේ සහතික පත්‍ර ඉක්‌මනින් ම අප ඔවුන් වෙත ආපසු තැපැල් කරනවා. නමුත් පුරප්පාඩු ඇති වීම නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්‌ථාවක්‌ හිමි වීමට ඉඩ තිබෙන සිසුන් ගේ සහතික පත්‍ර අප රඳවාගන්නවා. පසුගිය විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට මුල් වරට සිසුන් ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව අදියර හතරක්‌ යටතේ අපි පුරප්පාඩු පිරවීම සිදු කළා. එහි අවසන් අදියරෙහි කටයුතු අවසන් වෙමින් පවතින්නේ මේ දිනවලයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සිසුන් ගේ සහතික පත්‍ර අපි ඒ ඒ විශ්වවිද්‍යාලවලට යවනවා. ඔවුන්ට සහතික පත්‍ර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත හැකියි. පාඨමාලා සඳහා ලියාපදිංචි නො වන සිසුන් ගේ සහතික පත්‍ර විශ්වවිද්‍යාල මගින් නැවත අප වෙත එවනවා. මේ ක්‍රියාදාමය අවසන් වී සහතික පත්‍ර නැවත තැපැල් කරන්නට පළමුව යම් අයකුට තම සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ ඒ සහතික පත්‍ර ලබාගත හැකියි.

විදුසර ( ගෘහ නිර්මාණ ශිල්පය වැනි සමහර විශ්වවිද්‍යාල පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනෙන්නේ විශ්වවිද්‍යාල මගින් පැවැත්වෙන යෝග්‍යතා පරීක්‍ෂණ හරහායි. අයදුම් පත්‍රයේ දී අයදුම් කළත් යෝග්‍යතා පරීක්‌ෂණය පැවැත්වෙන දිනය නො දැනීම නිසා සමහරුන්ට මෙය මඟහැරී යනවා.

පිළිතුර ( මේ සම්බන්ධව සම්පූර්ණ වගකීම පවතින්නේ අයෑදුම් කළ ශිෂ්‍යයා අතයි. ඒ ඒ විශ්වවිද්‍යාල පූර්වයෙන් නිශ්චය නො කරන ලද තමන්ට අභිමත දිනයක දී එම පරීක්‌ෂණ පවත්වනවා. ඒ පිළිබඳ ඊට පෙර පුවත්පත් දැන්වීමක්‌ මගින් ප්‍රසිද්ධ කරනවා. මේ පිළිබඳ අවදියෙන් සිටීම ශිෂ්‍යයා ගේ වගකීමක්‌. සැබෑ අවශ්‍යතාවක්‌ තිබෙනවා නම් සතියකට වරක්‌ හෝ අදාළ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා අමතා දැන්වීම් පළවන පුවත්පත හෝ දිනය ගැන විමසිලිමත්ව සිටිය හැකියි.

විදුසර ( 2011 වසරේ දී නව හා පැරැණි විෂය නිර්දේශයන් දෙකෙන් ම සිසුන් උසස්‌ පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට භාවිත වන්නේ කුමන ක්‍රියාපටිපාටියක්‌ ද?

පිළිතුර ( ඒ පිළිබඳව අප මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනවා. මූලිකව ම ළමයින් බඳවා ගැනෙන්නේ Z අගය මත ම තමයි. නමුත් ප්‍රශ්න පත්‍ර ආකාර දෙකක දී එකදු ශිෂ්‍ය කණ්‌ඩායමකට හෝ අසාධාරණයක්‌ නො වන පරිදි Z අගය ගණනය කිරීම ගැන තීරණයකට පැමිණිය යුතුයි. මේ සඳහා මූලිකව ක්‍රියාත්මක වන්නේ විභාග දෙපාර්තමේන්තුවයි. විභාග දෙපාර්තමේන්තුවට සහ අප නීතිපතිවරයා ද සමග සාකච්ඡා කොට මේ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළැඹීමෙන් පසු ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙනවා.

විදුසර ( උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් වූ පසු සමහර සිසුන් NDT බඳු විශ්වවිද්‍යාල නො වන රජයේ ආයතනවල පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්‌ථාව ලැබුණු පසු එයින් ඉවත් වී විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වන්නට ඔවුන්ට හැකියාවක්‌ තිබෙනවා ද?

පිළිතුර ( කිසිසේත් ම නැහැ. මේ සියල්ල නිදහස්‌ අධ්‍යාපනය ලබා දෙන රජයේ ආයතන. මේ හරහා සිදු වන්නේ නොමිලේ උසස්‌ අධ්‍යාපනය ලබාගැනීමට තවත් සිසුවකුට පවතින අවස්‌ථාවක්‌ අහිමි කිරීමයි. මීට පෙර මෙසේ සිදු කරන ලද ලියාපදිංචිය අහෝසි කර ගැනීම සඳහා දින තිහක්‌ බඳු සහන කාලයක්‌ ලබා දී තිබුණත් තවදුරටත් එබන්දක්‌ ක්‍රියාත්මක වන්නේ නැහැ. තමන් තෝරාගන්නේ කුමන පාඨමාලාව ද යන්න ගැන සිසුවා සෘජු තීරණයකට පැමිණිය යුතුයි.

සාකච්ඡා කළේ, දමිත නිපුණජිත්
(මහාචාර්ය නලින් ද සිල්වා මහතාට අප ගේ විශේෂ ස්‌තුතිය හිමි වේ)

1 comment:

  1. සමාවෙන්න.මේක මේ post එකට නම් පොඩ්ඩක්වත් අදාල නෑ.මට දැනගන්න පුළුවන්ද ඔයාගෙ බ්ලොග් එකේ පහල තියෙන Your Ip Address Your Os Your Country .... Gadget එක .ගන්නෙ කොහෙන්ද කියල?
    ස්තුතියි!

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්