Thursday, March 3, 2011

කෙවින් ඕබ්‍රයන්ගේ වාර්තාගත ශතකය හේතුවෙන් අයර්ලන්තයට පෙරළිකාර ජයක්‌ ශ්‍රී ලංකා වාර්තාව බිඳ වැටේ

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලි ඉතිහාසයේ පිතිකරුවකු රැස්‌ කර ගන්නා ලද වේගවත්ම ශතකයට හිමිකම් කී අයර්ලන්ත කණ්‌ඩායමේ කෙවින් ඕබ්‍රයන් පන්දු 63 කදී රැස්‌ කරන ලද ලකුණු 113 ක ඉනිම මත එංගලන්තයට එරෙහිව කඩුලු 3 ක පෙරළිකාර ජයක්‌ වාර්තා කර ගැනීමට අයර්ලන්ත කණ්‌ඩායමඊයේ (02 වැනිදා)

සමත් විය.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ "බී" කාණ්‌ඩය යටතේ බැංගලෝර්හි කින්නස්‌වාමි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්‌ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8 කට ලකුණු 327 ක්‌ ලබා ආධුනික අයර්ලන්ත කණ්‌ඩායමට ප්‍රබල අභියෝගයක්‌ ලබා දුන් නමුත් කෙවින් ඕබ්‍රයන් සහ ඇලෙක්‌ස්‌ කියුසෙක්‌ විසින් හයවැනි කඩුල්ලට පන්දු 103කදී ලකුණු 162 ක්‌ රැස්‌ කිරීම මත අදාළ ඉලක්‌කය පන්දු 5 ක්‌ ඉතිරිව කඩුලු 7 ක්‌ දැවී සපුරා ගැනීමට අයර්ලන්ත කණ්‌ඩායම සමත් විය.

ඉතාමත් තියුණු මුහුණුවරක්‌ ගනු ලැබූ මෙම තරගයේදී අයර්ලන්ත කණ්‌ඩායම ලබාගත් අදාළ ජයග්‍රහණය ලෝක කුසලාන ක්‍රිකට්‌ ඉතිහාසයේ කණ්‌ඩායමක්‌ ලකුණු සංඛ්‍යාවක්‌ හඹා යමින් ජයග්‍රහණය වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තාවටද හිමිකම් කියයි. ඊට පෙර අදාළ වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකාව වන අතර 1992 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 313 ක්‌ හඹා ගොස්‌ ජයග්‍රහණය කිරීම මීට පෙර වාර්තාව විය.

කඩුලු 4 ක්‌ ලකුණු 104 කට බිඳ වැටී තිබූ අවස්‌ථාවේ පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි කෙවින් ඕබ්‍රයන් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ දැවැන්ත පහර එල්ල කරමින් වාර්තාගත ලකුණු 100 පන්දු 50 කදී සම්පූර්ණ කර ගනු ලැබීය. ඕබ්‍ර්‍රයන් විසින් බිඳ හෙළනු ලැබුවේ ඔස්‌ටේ්‍රලියානු පිතිකරු මැතිව් හේඩ්න් විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 68 කදී රැස්‌ කරගන්නා ලද ශතකය විය. පන්දු 63 කින් සමන්විත වූ ඕබ්‍රයන්ගේ ලකුණු 113 ඉනිමට අලංකාර හයේ පහර 6 ක්‌ සහ හතරේ පහර 13 ක්‌ එල්ල කර තිබිණ. ඔහුගේ ශතකය වේගවත්ම ශතකවලින් ලෝකයෙන්ම හයවැන්නද විය. ඔහුට අනගි සහයක්‌ ලබා දුන් ඇලෙක්‌ස්‌ කියුසෙක්‌ පන්දු 58 කදී ලකුණු 47 ක්‌ ලබා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යැමකට හසුවිය.

කියුසෙක්‌ මෙන්ම ඕබ්‍රයන්ද දුවද්දී දැවී යැමකට හසුව පිටියෙන් ඉවත් වීමට සිදුවුණිද හත්වැනි කඩුල්ල වෙනුවෙන් මූනී සමඟ පන්දු 40 කදී ලකුණු 44 ක්‌ රැස්‌ කිරීමට දායක වීම අයර්ලන්ත ජයග්‍රහණයට බෙහෙවින්ම ඉවහල් විය. එහිදී මූනී ගේ දායකත්වය පන්දු 30 කදී ලකුණු 33 ක්‌ විය.

එංගලන්ත කණ්‌ඩායම වෙනුවෙන් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 167 ක සම්බන්ධතාවක්‌ පවත්වමින් ලකුණු 300 සීමාව පසු කර යැමට ප්‍රධාන අඩිතාලම දැමීමට ඉයන් බෙල් සහ ජොනතන් ට්‍රොට්‌ සමත් වූහ. එහිදී ට්‍රොට්‌ පන්දු 92 කදී ලකුණු 92 ක්‌ රැස්‌ කරගත් අතර බෙල් පන්දු 86 කදී ලකුණු 81 ක්‌ රැස්‌ කර ගන්නා ලදී.

මෙවර තරගාවලිය යටතේ එංගලන්ත කණ්‌ඩායම ප්‍රබල ඉන්දියාව සමඟ තරගය ලකුණු සම කරගනිමින් අපරාජිතව පසු වුවද ආධුනික අයර්ලන්තය හමුවේ පරාජයට පත්වීම සුවිශේෂී විය.

2 comments:

  1. එහෙම තමයි වෙන්න ඕනි...

    ReplyDelete
  2. මම මැච් එකේ අයර්ලන්තෙ 110 ට විකට් 5 ක් ගිය වෙලාවෙ මැච් එක බලන එක නැවැත්තුවා.මේ සිද්ධිය ආරන්චි වුනාම හිතුවෙම බොරුවක් කියලා.උදේ හයිලයිට්ස් බලද්දි තමයි වැඩේ දැක්කේ.කොහොමද කෙවින් ඕ බ්‍රයන් ගහපු 6 ටික.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්