Sunday, December 11, 2011

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දෙදරීමේ සුල මුල

පොළොවේ පය ගසා ඇවිදිමින් ජීවිතය ගත කළ සත්වයකු හදිසියේ උරගයකු වීනම් (බඩ ගාන සතකු) ඔහුට ජීවිතය රැක ගැනීමට හැකිද? මෙය අප විසින් නිර්මාණය කළ පැනයකි. එයට හේතුව වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනයට කදිම නිදසුන එය බැවිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ යනු ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් පියවරෙන් පියවර උස්‌ මහත් වූ ලොව සුපිරි ක්‍රිකට්‌ රාජ්‍යයක්‌ බවට පත් වූ රටකි. විටෙක ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ වලින් ඉහළම ස්‌ථානයක්‌ කරා පැමිණ සිටියේය. තවත් විටෙක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තබන ලෝක වාර්තා හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට ලෝක ක්‍රිකට්‌ වෙළෙඳ පොළේ වැඩිම ඉල්ලුමක්‌ ලැබිණි. ඉන් පොහොසත් වූ ශ්‍රී ලංකාව 1996 දී ලෝක ක්‍රිකට්‌ ශූරතාවද 2007 සහ 2011 ලෝක ක්‍රිකට්‌ අනුශූරතාවද දිනා ගනිමින් ලෝක ක්‍රිකට්‌ පිටියේ පෙරැළිකාර කණ්‌ඩායම් බවට පත්විය.

එහෙත් අද ඒ පෙරළිකාර කණ්‌ඩායම දිගින් දිගටම පරාජයන් ලබති. ඒ අතර ක්‍රිකට්‌ පරිපාලනයද නන්නත්තාර තත්ත්වයකට පත්ව ඇත. විටෙක ක්‍රිකට්‌ දේශපාලනීකරණය වීමෙන් සහ දිගින් දිගටම අතුරු කමිටු සංකල්පය ක්‍රියාත්මක වීමෙන් මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නන්නත්තාර වූ බව පැහැදිලිව දිස්‌වේ.

2011 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ සත්කාරක රාජ්‍යයක්‌ බවට පත්වූ ශ්‍රී ලංකාව අදාළ තරගාවලියෙන් අනතුරුව ගතවූ මාස අටක කාලය තුළ ණය බරින් හෙම්බත් විය. එය ක්‍රීඩකයන්ගේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හි සේවය කරන සේවකයන්ට පවා පඩි ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්විය. එම තත්ත්වය අද මෙරට පමණක්‌ නොව ලෝක ක්‍රිකට්‌ පිටියේ සියලුම දෙනා අතර ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මෙතරම් ණය වීමට හේතුව කුමක්‌ද? දුර්වල පරිපාලනය බව එයට කදිම නිදසුනකි. ලෝක කුසලාන තරගාවලියක්‌ පැවැත්වීමෙන් පසු නන්නත්තාර වූ එකම ක්‍රිකට්‌ පරිපාලනය සහ කණ්‌ඩායම බවට ශ්‍රී ලංකාව මේ අතර ඉතිහාස ගතවේ. 1996 ලෝක ක්‍රිකට්‌ කිරුළ ශ්‍රී ලංකාව ජයගන්නා අවස්‌ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සතු සේවකයන් පිරිස 9 ක්‌ පමණ බවට සඳහන් වේ. එහෙත් 2011 ලෝක ක්‍රිකට්‌ අනුශූරතාව දිනා ගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේවකයන් පිරිස 300 ක්‌ පමණ බව වාර්තා වේ. ඒ අනුව 1996 ට වඩා සේවක පිරිස 261 කින් පමණ ඉහළ ගොස්‌ ඇත. අදාළ සේවකයන් නඩත්තු කිරීමට අමතරව ලෝක කුසලාන වෙනුවෙන් අලුතින්ම හම්බන්තොට ක්‍රීඩාංගණයක්‌ ඉදිකිරීමට මෙරට ක්‍රිකට්‌ බලධාරීන් තීරණය කළේය. එහිදී හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 428 ක පමණ මුදලක්‌ වියදම් වූ බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අදාළ මුදල වියදම් වූයේ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලි පැවැත්වීමටය. එහිදී හම්බන්තොට පැවැත්වූයේ ලෝක කුසලාන තරග තුනක්‌ පමණි. අද හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වාර්තා වන අන්දමට තෙවැනි පෙළ ක්‍රීඩා කරන ක්‍රිකට්‌ ක්‍රීඩා සමාජයක්‌ හෝ නොමැත. එහිදී ජාත්‍යන්තර තරග හෝ පළමු පෙළ තරග පවත්වන්නේ වසරකට 10 කටත් අඩු ප්‍රමාණයකි. මෙවැනි දත්ත අනුව හම්බන්තොට ක්‍රීඩාංගණය සඳහා වැය වූ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පසුම්බිය සිඳීයැමේ එක්‌ පැතිකඩක්‌ බවට යමෙකුට තර්ක කළ හැකිය.

2011 ලෝක කුසලාන සංවිධානය සඳහා වැඩ භාර ගත් සුරාඡ් දන්දෙණියගේ කළමනාකාරණයෙන් යුත් සේවකයන් සඳහා මාස හයක සිට ලක්‍ෂ ගණනින් වැටුප් ලැබිණි. ඔවුන් වැඩ කරන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේවකයන් වැඩ නැතිව පඩි ගත්තේය. ඒ ඔවුන්ගේ රාජකාරිය වෙනත් අයෙකු කරන නිසාවෙනි. ලෝක කුසලාන සංවිධානය කළ මහත්වරු කළ කී දෑ අනුව අදටත් එම තරගාවලියේ විය හියදම් පිළිබඳව වාර්තාව සකස්‌ කිරීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතවී ඇත. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට්‌ ප්‍රවේශපත්‍ර මුදල් තවම නිසි ගිණුම්කරණයකට ලක්‌ව නොමැත. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කඩා වැටීමේ සාරාංශය එසේ සටහන් වුවද ඉන් ඔබ්බට ගිය කඩා වැටීමක්‌ දැන් ආරම්භ වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව ර¹ පවතින්නේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දක්‌වන දක්‍ෂතා අනුව මෙරටට ලැබෙන මුදල් ප්‍රමාණය නිසාවෙනි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කෝටි 35 කට ආසන්න මුදලක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ණය වී ඇත. එය ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්‌වා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල්ය. වර්තමානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ සිටින සුපිරි ක්‍රීඩකයන් වන ක්‍රිස්‌ ගේල්, රම්නරේෂ් සර්වාන් වැනි ක්‍රීඩකයන් තමන්ට හිටි වැටුප් මදි බැවින් ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීම වර්ජනය කර ඇත. එවැනි තත්ත්වයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට මෙතෙක්‌ උදාවී නොතිබීම සතුටට කරුණකි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මුදලින් ප්‍රශ්නයක්‌ නොමැති වුවද ඔවුන් වැටුප් නොතකා ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව රටක්‌ වශයෙන් සියල්ලෝම සන්තෝෂ විය යුතුය. එය ආභරණයකට ලක්‌කර ගනිමින් ඔවුන් තරග පරාජ විය නොහැකි බවද සිහිපත් කළ යුතුය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හි සේවය කරන වත්මන් සේවක සංඛ්‍යාව 263 ක්‌ පමණ බව වාර්තා වේ. ඔවුන්ට මාසිකව රුපියල් දෙකෝටි විසිපන්ලක්‍ෂයක පමණ මුදලක්‌ මාසික වැටුප් ගෙවිය යුතුය. එය මෙම මාසයේ මෙතෙක්‌ ගෙවා ගත නොහැකිව ඇත. ඔවුනට මෙම මස ගෙවීමට ඇති මුදලින් රුපියල් මිලියන 110 කට ආසන්න මුදලක්‌ පළමු පෙළ ක්‍රීඩා සමාජ වෙත ලබාදී එම තරගාවලිය පැවැත්වීමට ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව "දිවයින" නොයෙක්‌වර පෙන්වා දුන් අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේවකයන් කප්පාදු කිරීම ඇරඹූ ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් නඩත්තු වන හම්බන්තොට, ආර්. ප්‍රේමදාස, පල්ලකැලේ සහ දඹුලු ක්‍රීඩාංගණ නඩත්තු කිරීම ආරක්‍ෂක අංශ වෙත පවරන ලදී. ඉන් මසකට ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට මිලියන ගණනක්‌ වර්තමානයේ ඉතිරි වන බව තතු දත් උද විය පවසයි. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පුහුණුකරුවන් 40 ක්‌ ඇතුළු 100 කට වැඩි පිරිසක්‌ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකා සේවකයන් පිරිස 150 දක්‌වා අඩුවිය යුතුව ඇතැයි අපගේ මතයයි. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නගා සිටුවීමේ එක්‌ පැතිකඩක්‌ ලෙස හැඳින්විය හැකිය. එහෙත් ඉහළ ශ්‍රේණිවල පුටු රත්කරමින් ලක්‍ෂ ගණන් වැටුප් ලබන සේවකයන් අඩ නින්දේ සිට ලබන වැටුප් පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු බලධාරීන් තවම නිසි ක්‍රියාමාර්ග නොගැනීමද කනගාටුදායක තත්ත්වයකි. ඉවත්කරන ලද සේවකයන් ඇතුළු ගිය මස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේවකයන්ට ගෙවිය යුතු වැටුප රුපියල් දෙකෝටි විසි පන්ලක්‍ෂයක්‌ පමණ බව වාර්තා වේ.

ඉන් අඩක්‌ පමණ ඉවත් කිරීමට වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනය සමත්වීම මත එම මුදලද අඩුවිය යුතුය. ඊට පිං පඩි ගන්නා ඉහළ ශ්‍රේණියේ ටයි කෝට්‌ කාරයන්ව එලවා දැමීමට කටයුතු කළහොත් ගෙවිය යුතු මුදල තවත් අඩු වනු ඇත. එවිට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙත ලැබිය යුතුව ඇති මුදලින් අදාළ ණය බර 4 න් 3 ක්‌ ගෙවා ගත හැකි වනු ඇත. එය එසේ වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පෝෂණය කිරීම යළිත් ඇරැඹිය හැකිය. එය කළ හැක්‌කේ අනාගතයේදී නිලවරණයෙන් පත්වන ක්‍රිකට්‌ නිලධාරී මණ්‌ඩලයට පමණි. ඒ වනතුරු ක්‍රිකට්‌ ආයතනයට ඔක්‌සිජන් දීම ක්‍රීඩා ඇමැතිවරයාගේ වගකීමකි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ණය කළ බලධාරීන් සෙවීමට ඇමැතිවරයා සහ අලුතින් පත්වන නිලධාරීන් කටයුතු කිරීම එහි අත්‍යවශම රාජකාරිය බවට පත්විය යුතුව ඇත.

අසේල විතාන,
දිවයින ඇසුරෙනි

1 comment:

  1. සයිට් එක අඤ්ඤතොරොද් වෙලා...

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්