Tuesday, December 20, 2011

ඉදිරියේදී සිසුන්ට උසස්පෙළ දී තෝරා ගැනීමට අලුත් විෂයක්

ඉදිරියේදී සිසුන්ට උසස්පෙළ දී විෂය ක්ෂේත්‍රයක් තෝරා ගැනීම සඳහා අලූත් විෂයක් උසස් පෙළට ඇතුල් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 2011-12-02 පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

ඒ අනුව පෙර පැවති වාණිජ්‍යය, විද්‍යා, ගණිතය සහ කලා විෂයන්ට අමතරව  'තාක්ෂණය' ලෙස අලූත් විෂය ක්ෂේත්‍රයක් යටතේ සිසුන්ට අධ්‍යයන කටයුතු සිදුකළ හැකිය. උසස් පෙළ අවසන් කළ විට අස්වීමේ සහතිකයක් ලබා දෙනවා වෙනුවට නිපුනතා සහතිකයක් ලබා දීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
එමෙන්ම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ ද වෙනසක් සිදුවන අතර මෙම සංශෝධනයත් සමග,  සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂයන්ට අමතර අතිරේක විෂයන් තෝරාගැනීමේදී දරුවන් තමා උසස් පෙළට හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ක්ෂේත්‍රයට අදාළ විෂයක්, සාමාන්‍යපෙළ දී හැදෑරීමට හැකිවන අයුරින් විෂයන් තුනක් සාමාන්‍යපෙළ විෂය නිර්දේශයට අතුළත් වන බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. ඒ තුළින් උසස් පෙළ දී එකවර අදාළ විෂයට මුහුණ දීමට සිදුවීමෙන් සිසුන් පත් වන අපහසුතා මගහැරෙන අතර සිසු මනසට පීඩනයකින් තොරව සහ මූලික දැනුමක් සහිතව සිය උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකිවනු ඇත.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සිසුන්ට සහතික පත්‍රයක් ලබා දීමේ වැඩපිළිවෙළක් ද ඊයේ සිට ප්‍රථම වතාවට ආරම්භ කළ බවත් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

1 comment:

  1. ඇමතිවරයාගෙන් ඇමතිවරයාට, රජයෙන් රජයට මේ රටේ අධ්‍යාපනය අනනවා අනනවා ඉවරයක් නැහැ. මේ පාරවත් අඩුම ගානේ අවුරුදු 25 කටවත් වෙනස්නොවෙන්න මේ විෂය මාලාව හදනාවනම් කමක් නැහැ කියලා හිතෙනවා.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්