Wednesday, December 12, 2012

කෘෂි රසායන හා රජරට වකුගඩු රෝගය

රජරට පුරාවට නැවතීමක්‌ නැතිව පැතිරී යන වකුගඩු රෝගයට හේතුකාරකය වී ඇත්තේ ආසනික්‌ රසායනික මුහුවූ කිවුල් ජලය පානය කිරීමෙන් යෑයි දිවයිනේ විද්‍යාඥ කණ්‌ඩායම් මතුකළ සොයා ගැනීම පිළිගැනීමට තරම් ප්‍රබල සාධක ඇතැයි අන්තර්ජාතික වෝහාරික වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය "නූනෝ විෂ්රා" මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ගාලුමුවදොර හෝටලයේ පැවති විද්වත් සාකච්ඡාවට හවුල් වූ විෂ්රා මහතා රජරට ප්‍රදේශයේ පැතිරී යන වකුගඩු රෝගයට හේතු සාධක අනාවරණය කරගත් දේශීය විද්‍යාඥ කණ්‌ඩායම්වල සොයාගැනීම පැසසුමට ලක්‌ කළේය.

සමහර ලතින් ඇමරිකානු රටවල දැනට මතුවෙමින් පවත්නා වකුගඩු රෝගයද රජරට වකුගඩු රෝගයට බෙහෙවින් සමාන යෑයි සඳහන් කළ මහාචාර්යවරයා ලෝකයේ බොහෝ කෘෂිකාර්මික රටවල මතුවෙමින් පවත්නා රසායනික ජල අපවිත්‍රතාව පිළිබඳ ලාංකික විද්‍යාඥ කණ්‌ඩායම් මතුකරගත් සත්‍යය මුළුමහත් ලෝකයටම ඵලදායක වනු ඇතැයි අවධාරණය කළේය.

"කැල්සියම් ආසනේට්‌" සංයෝගයේ රසායනික හැසිරීම් රටාවේ ඇති සුවිශේෂත්වය නිසා "හේතු කාරකය" වෛද්‍ය විද්‍යාවට අබිරහසක්‌ව පැවති නමුත් ලාංකීය විද්‍යාඥ කණ්‌ඩායම් එය නිවැරදිව හඳුනා ගෙන එළියට දැමීම ගැන ජාත්‍යන්තර ඇගයීමකට මොවුන් ලක්‌වනු ඇතැයි මහාචාර්යවරයා තවදුරටත් අනාවරණය කළේය.

මුලදී කැල්සියම් ප්ලෝරයිඩ් සහ කැඩ්මියම් බැරලෝහ රජරට භූගත ජලයේ තැනින් තැන මුහුවී තිබූ අතර මෑතක දී ඉතා වේගයෙන් ආසනික්‌ සහ රසදිය ජලයේ කිව්ලට මුහුවන්නට විය. මෙම රසායනික ක්‍රියාකාරීත්වය ගැන කිසිවක්‌ නොදන්නා පොදු ජනතාව පුරුදු පරිදි ළිංවල, උල්පත්වල ජලය පානයට ලබාගත්හ.

අපේ විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි අඩසියවසක්‌ පුරාවට මෙරට මහ පොළවට වක්‌කරන ලද කෘෂි රසායනවල පවත්නා රසායනික විෂ කාරකයන් වන ආසනික්‌, රසදිය වැනි දේ භූගත ජලයට මුහුවී තිබීමේ හේතුවෙන් එම විෂකාරක මුහුවූ ජලය කාලයක්‌ තිස්‌සේ පානය කිරීම හේතුවෙන් රජරට ජනතාව වකුගඩු රෝගයට බිලිවන බව ලෝක විද්වතුන්ගේද, ලෝක සෞඛ්‍ය සංවිධානයේද පිළිගැනීම වී තිබේ. නමුත් මේ සියලු මත තවමත් පිළිගැනීමට මැළිවන්නේ රජරට ජනතාවට වගකිවයුතු උතුරු මැද පළාත් සභාව සහ මධ්‍ය රජයයි.

"නිකරගුවාවේ" බහුල ලෙස සිදු කෙරෙන උක්‌ වගාවට කෘෂි රසායන භාවිතා කිරීමේ හේතුවෙන් 2009 මැයි 22 වැනිදා වන විට "සෑන් ඇන්තෝනියෝ සීනි සමාගමේ සේවය කළ කම්කරුවන්ගෙන් 3251 ක්‌ වකුගඩු රෝගය සෑදීමෙන් මියගොස්‌ ඇති බව වාර්තාවේ. මේ උක්‌ ගොවිපළවල්වල බිමේ වල් නැසීම සඳහා ඔවුන් නිරන්තරයෙන් භාවිතා කර ඇත්තේ ග්ලයිපොසේට්‌, පැරකොට්‌, නමැති වල් නාශකයන්ය. දේශීය වශයෙන් දැනුදු භාවිතා කරන කෘමිනාශක හා වල් නාශකයන්ද මීට සමානය. 1960 ආරම්භ කළ හරිත විප්ලවයත් සමග මෙරට ගොවිතැනට කඩා වැදුණ ක්‌ලෝරිනී කෘත පළිබෝධ නාශකයන් ඩී. ඩී. ටී, ඩියෑල්ඩ්‍රන්, ඇල්ඩ්‍රන්, එන්ඩොසල්පාන්, මැලතියන් වැනි කෘෂි රසායන වර්ග 1976 දී කිලෝලීටර් 2000 ක්‌ ද 1978 දී කිලෝලීටර් 5000 ක්‌ ද මෙරටට ආනයනය කර තිබේ. අවුරුද්දක්‌ පාසා ක්‍රමයෙන් වැඩිකරන ලද මෙම සියලු විෂකාරකයන් අඩසිය වසක්‌ මුළුල්ලේ වක්‌කරන ලද්දේ අපේ මහ පොළවටය. මේ අනුව තවදුරටත් භූගතයේ පිරිසිදු ජලයක්‌ පවතීද?

තවමත් අපේ රටේ ගොවිතැනට යොදා ගන්නා පළිබෝධ නාශක හා දිලීර නාශකයන් ඇමරිකාවේ සෘජුවම තහනම් කර තිබේ.

ඇමෙරිකාවේ දී දශක දෙක තුනකට පෙර තහනම් කරන ලද පළිබෝධ හා දිලීර නාශකයන් තවමත් අප රටේ භාවිතයෙහි පවතී. ඒවා ගොවිතැනට යෙදීමෙන් අනෙකුත් රෝගවලට අමතරව ජල දූෂණයද සිදුවන බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. මේ අනුව අපේ විද්‍යාඥයන්ගේ සොයා ගැනීම එනම් ආසනික්‌, රසදිය ආදී රසායනික විෂකාරකයන් භූගත ජලයට මුහුවී එම ජලය පානයට ගැනීමෙන් වකුගඩු රෝගය වැළඳෙන බවට කර ඇති නිගමනය නිවැරදිය.

හරිත විප්ලවය පටන් ගත් 1960 සිට අඩසියවසක්‌ මුළුල්ලේ පළිබෝධ නාශක, දිලීර නාශක සහ වල් නාශක අපේ පොළවට වැක්‌කිරීමෙන් මේ වනවිට පටන් ගෙන ඇත්තේ මහා මිනිස්‌ ඝාතනයකි. අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ වෛද්‍ය පාලිත බණ්‌ඩාර මහාතට අනුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රජරට වකුගඩු රෝගය පිළිබඳ කර ගෙන යන පර්යේෂණ කණ්‌ඩායම් දහයක නිගමන අනුව රජරට ජනතාවගෙන් 15.5% කට මේ වනවිට වකුගඩු රෝගය වැළඳී තිබේ. අනුරාධපුර වකුගඩු රෝග පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අසංක රණසිංහ මහතාට අනුව අනුරාධපුරයේ දින දෙකකට එක්‌ රෝගියකු බැගින් වකුගඩු රෝගීන් මියයති. වකුගඩු උවදුරෙන් ජීවිත බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය කැඳවුම්කරු වූ වෛද්‍ය සුසිල් රණසිංහ මහතාට අනුව මේ වනවිට උතුරු මැද පළාතේ එක්‌ ලක්‍ෂ විසිදහසකට පමණ වකුගඩු රෝගය සෑදී තිබේ. "වකුගඩු රෝගය හැදුනා" යනු මරණ වරෙන්තුව අතට ලැබීමකි. මක්‌ නිසාද? මෙම වකුගඩු රෝගය නිට්‌ටාවට සුව කිරීමට මෙතෙක්‌ දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් කිසිදු ඖෂධයක්‌ සොයා ගෙන නැතිවීමය. දැනට වකුගඩු රෝගීන්ට සපයනු ලබන බටහිර ඖෂධවලින් කෙරෙන්නේ රෝගය උත්සන්න වන්නට ඉඩ නොදී ටික කලකට රෝගියා ජීවත් කරවීමය. ඖෂධවලට අඩංගු නොවන තැන තවත් බටහිර ප්‍රතිකාර ක්‍රමවේදයක්‌ වූ රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ කාර්යය සතියකට දෙතුන් වරක්‌ යන්ත්‍රානුසාරයෙන් ඉෂ්ට සිද්ධකරයි. ඒ මගින්ද වැඩි කලක්‌ රෝගියා ජීවත් කිරීමට නුපුළුවන. මේ සියල්ල බටහිර ඖෂධ මාපියාවේ රෝගීන් මුලා කිරීමේ ප්‍රතිකාර මිස රෝගය නිට්‌ටාවට සුව කිරීමේ පිළියම් නොවේ.

මේ දවාචකයේ අවසාන ප්‍රතිඵලය කුමක්‌ විය හැකිද? අතීතයේ පැවති මාඝ ආක්‍රමණයේ දී මෙන් රජරට ප්‍රදේශය යළිත් ජනශූන්‍ය ප්‍රදේශයක්‌ විය හැකිය. කුඹුරුපිටි පාලුවී... පුරන්වී වැව් අමුණු කැඩී බිඳී ගොස්‌ රටට බත සපයන පරිසරයත්, ගොවි හමුදාවත් නැතිවී යාහැකිය. දේශපාලකයන්ගේ ඉසුරුමත් ස්‌වර්ග රාජ්‍යයද සෝදාපාළු විය හැකිය.

ජනතාවට වතුර පෙරණයක්‌ නොමිලයේ ලබාදී ඔවුන් ටික කලකට රැවටිය හැකිය. නමුත් වකුගඩු රෝගය රවටන්නට ඒ මගින් නුපුළුවන. ජනතාවට පානයට පිරිසිදු ජලය ලබාදීමට අමතරව භූගත ජලයට විෂකාරක මුහුකරන කැඩ්මියම් සහිත ආනයනික රසායනික පොහොර, ආසනික්‌, රසදිය සහිත කෘමිනාශක, දිලීර නාශක සහ වල්නාශක යන සියලු දේ මෙරටට ගෙන්වීම නවත්වා ලෙඩවී ඇති රජරට මහපොළව යළි සුවපත් කිරීමත් රට හදන්නට ගොස්‌ සිටින රජරට දේශපාලකයන්ගේ පැහැර හැරිය නොහැකි වගකීමකි. ඡන්දය ලබා ගත්තාට මදි. ඉදිරියේදීත් ඡන්දය ලබා ගන්නට නම් ජනතාවගේ දිවි රැක දිය යුතුය.

1 comment:

  1. බොහොම වටිනා ගවේෂණාත්මක ලිපියක්....නියමයි...දියවන්නාවේ ගොයියන්ගේ ඇස් පැදේවා මේ වෙනුවෙන් යමක් කරන්නට..


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්