Monday, December 17, 2012

අම්පාරේ භූ චලන තවමත් ප්‍රශ්ණයක්


සති කිහිපයක සිට අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වඩිනාගල දේවාලහිඳ, ගල්කන්ද සෙත්සිරිගම, ගල්කන්ද ඇතුළු ගම්මාන රැසක සිදුවන භූ චලන නැවතත් පෙරේදා (15 වැනිදා) අවස්‌ථා 04 කදි සිදුවූ බව එම ගම්වාසීහු පවසති. 15 වැනිදා උදෑසන දෙවතාවක්‌ දහවල් 12.55 ට හා 1.01 ට මෙලෙස භූ චලනයන් සිදුව තිබේ. විශාල ශබ්ද දෙකක්‌ සහිතව සිදුවන මෙම පිපිරීම් නිසා මෙම ප්‍රදේශවල නිවාස රැසකම බිත්ති පිපිරී ගොස්‌ ඇතැයි මෙම ගම්මානවල ජනතාව පවසති. මෙලෙස ඇතිවන භූ චලන නිසා ඉඟිණියාගල ජලාශයේ බැම්මටද හානි සිදුවීමට ඉඩ ඇතැයි ඔවුහු සැක පළ කරති.

මෙම භූ චලනයන් සිදුවන ගම්මානවලට පැමිණි භූ විද්‍යාඥ මහින්ද සෙනවිරත්න හා තාක්‌ෂණික නිලධාරී සුපුන් භානුක මහත්වරුන් ඇතුළු නිලධාරීහු දින කිහිපයක සිට මේ පිළිබඳව පරීක්‌ෂණ කටයුතු සිදු කරමින් සිටිති. පෙරේදා සිදුවූ භූ චලනයන් පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඔවුන් පැවසුවේ දහවල් 12.55 හා 1.01 ට සිදුවූ භූ චලනයන් පිළිබඳව තාවකාලිකව සවිකර තිබෙන භූ කම්පන මානවල සටහන් වී ඇති බවයි. ඒවා ප්‍රබලතාවය අඩු භූ චලනයන් බවද ඔවුහු පවසති.

මේ පිළිබඳව භූ විද්‍යා සමීක්‌ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එම්. පී. විජයානන්ද මහතා ගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීය.

මෙම භූ චලනයන් පිළිබඳව අපි දැඩි අවධානයකින් සිටිනවා. ඒ අනුව අපට මෙම භූ චලනයන් සෙනසුරාදා දිනවල වැඩි වශයෙන්ම සිදුවන බව පෙනී ගියා. අපි මෙම සෙනසුරාදා දිනයේද භූ චලනයන් ඇති වෙතැයි සිතුවා. ඒ අයුරින්ම පෙරේදා යළිත් භූ චලනයන් සිදුවුණා. දැනට පෙනී ගිය කරුණු අනුව අපට වැටහෙන්නේ ස්‌වාභාවික ක්‍රියාවලියකට වඩා මිනිස්‌ ක්‍රියාවලියන් නිසා මේවා සිදුවන බවයි. ඉදිරියේදී මේ තත්ත්වය තවත් පැවතියහොත් දැනට සිදුකරන පරීක්‌ෂණ කටයුතු තවත් පුළුල් කිරීමට කටයුතු කරනවා. යම් කිසි ආයතනයක්‌ ඉදිකිරීම් කටයුතු කිරීමේදී මෙලෙස සිදු වෙනවා නම් එම ආයතනය අප ආයතනයට මෙම පිපිරුම් සම්බන්ධව දැනුම් දුනහොත් මෙලෙස භූ චලනයන් සිදු නොවී අදාළ කටයුතු කිරීමට අප ආයතනයට උපදෙස්‌ ලබාදීමට හැකියි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්