Wednesday, December 19, 2012

අයහපත් කාලගුණය නිසා විභාගය අහිමිවූ සිසුන්ට පසුව නැවත විශේෂ විභාගයක්‌


අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඊයේ (18 වැනිදා) සහ පෙරේදා (17 වැනිදා) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකිවූ සිසුන්ට ඒ වෙනුවෙන් විශේෂ විභාගයක්‌ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පෙරේදා (17 දා) පැවැති ගණිතය I හා II ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටීමට නොහැකි වූයේ සිසුන් 18 දෙනකුට පමණක්‌ වුවද ඊයේ (18 දා) පැවැති සෞන්දර්ය ප්‍රශ්න පත්‍රවලට සිසුන් සැලකිය යුතු පිරිසකට පෙනී සිටීමට නොහැකි වූ බවට දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබිණි. කුලියාපිටිය ප්‍රදේශයේ විභාග මධ්‍යස්‌ථාන දෙකක සිසුන් ඊයේ (18 දා) විභාගයට නොපැමිණි අතර මධ්‍යම හා ඌව පළාත්වලද අම්පාර ප්‍රදේශයේ තවත් සිසුන්ට විභාගයට පැමිණීමට නොහැකි වී තිබිණි. එම සිසුන් සංඛ්‍යාව කෙතෙක්‌ද යන්න පිළිබඳව ඊයේ (18 දා) දහවල් වනතුරුත් විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී නොතිබූ අතර මෙම සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයයන්ට හා ගණිතයට අදාළ විභාගය ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී විශේෂ විභාගයක්‌ ලෙස පැවැත්වීමට දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

විභාගයට පෙනී සිටීමේදී උද්ගත වන ගැටලු සම්බන්ධයෙන් 1911 දුරකථන අංකයට වහාම දන්වන ලෙස ද සියලුම අයෑදුම්කරුවන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්