Thursday, April 7, 2011

ක්‍රිකට්‌ තේරීම් කමිටුව සහ මහේලත් ඉල්ලා අස්‌වෙති

අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් සිව් පුද්ගල ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඊයේ (06 දා) සිය ධුරවලින් ඉල්ලා අස්‌වුහ.

ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය මේ වන විටත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා වෙත භාරදී ඇති අතර එම ලිපිය ඇමැති විසින් භාරගෙන ඇත.

ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව ක්‍රීඩා ඇමතිවරයා වෙත යොමු කරන ලද අදාළ ඉල්ලා අස්‌වීමේ ලිපියට අනුව කෙටි කාලවකවානුවක්‌ තුළ (2010 ජුනි මස සිට) මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ගනු ලැබූ තීරණ වල සාර්ථකත්වය සම්බන්ධයෙන් තේරීම් කමිටුවට සෑහීමට පත්විය හැකි බව සඳහන් කර ඇත.

2011 ලෝක කුසලාන දිනා ගැනීම, ටෙස්‌ට්‌ සහ එක්‌දින තරග අංශ වල ඉහළින්ම ශ්‍රේණිගතවීම වීම ආදී තම ප්‍රධාන ඉලක්‌ක වලින් අවසන් මහා තරගය තෙක්‌ පැමිණ කුසලාන ගිලිහීම විශාල කණගාටුවක්‌ මුත් ඒ කෙටි කාලය තුළ සෙසු ඉලක්‌ක බොහෝසෙයින් සපුරාගැනීමට හැකිවූ බවද එම ලිපියේ සඳහන්වේ.

ඉදිරියේදී වන තරග සංචාර වෙනුවෙන් ඉතා වැදගත් තීරණ මෙන්ම කෙටිකාලීන සහ දිගු කාලීන තීරණ ගතයුතු බැවිනුත් එය නව තේරීම් කමිටුවකට පවරමින් තමන් ඇතුළු පිරිස්‌ වහාම මෙම වගකීමෙන් ඉල්ලා අස්‌වන බව ලිපියේ අඩංගුය.

තම කාලය තුළ ඉතා මධ්‍යස්‌ථව සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

අරවින්දගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවට අමල් ද සිල්වා, රංජිත් ප්‍රනාන්දු, සහ සබීර් අස්‌ගර් අලී යන මහත්වරුන්ගෙන් සමන්විත විය.

අදාළ සිව් පුද්ගල තේරීම් කමිටුව ලෝක කුසලාන තරගාවලියට මාස අටකට පමණ පෙර නම් කළ අතර එහිදී වැඩ බාර ගත් අරවින්ද ද සිල්වා පැවසුවේ, කිසිවකුගේ බලපෑමක්‌ නොමැතිව සුදුස්‌සාට සුදුසු තැනදීමට තමා මැලි නොවන බවත් කණ්‌ඩායම් තේරීමේදී කිසියම් බලපෑමක්‌ ඇති වුවහොත් වහාම තනතුරින් ඉල්ලා අස්‌වන බවත්ය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ උපනායකත්වය දැරූ මහේල ජයවර්ධන අදාළ තනතුරින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත.

අදාළ ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතා වෙත මහේල ජයවර්ධන භාරදී තිබේ.

ඉකුත් 2007 ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගත් අවස්‌ථාවේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය දැරූ මහේල ජයවර්ධන ඉන් වසර 2 කට පමණ පසු අදාළ නායකත්වයෙන් ඉල්ලා අස්‌විය.

අනතුරුව හිස්‌වූ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය සහ උපනායකත්වය සඳහා සංගක්‌කාර සහ මුත්තයියා මුරලිදරන් පත් කළ අතර මුරලිදරන් ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව කණ්‌ඩායමේ උපනායකත්වය මහේල ජයවර්ධනට හිමිවිය.

කණ්‌ඩායමේ උපනායකත්වය මහේල විසින් භාරගෙන ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය තෙක්‌ පමණක්‌ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග පවසයි. "මහේල කොහොමත් උපනායකත්වය භාරගත්තෙ ලෝක කුසලාන තරගාවලිය තෙක්‌ පමණයි. කලින්ම ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහු ඉල්ලා අස්‌වන බව දැන්වූවා." යෑයි ඔහු පැවසීය.

කණ්‌ඩායමේ හිස්‌ව ඇති නායකත්වය සඳහා මහේල කැමැත්තක්‌ හෝ අකමැත්තක්‌ දක්‌වන්නේදැයි "දිවයින" නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී, "නායකත්වය පිළිබඳව මහේල කිසිම දෙයක්‌ මේ වන විට ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළේය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්