Sunday, April 10, 2011

අපේ නව ක්‍රිකට් නායකයා කව්ද?

සංක්‍රාන්ති සමයක්‌ අවසානයේ තවත් සංක්‍රාන්ති සමයකට මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව දැන් අවතීර්ණව ඇත. ජාතික සංචිතය තේරීමට සුදුසු ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සිට කණ්‌ඩායමේ නායක, උපනායක සහ පුහුණුකරු දක්‌වා තනතුරු මෙරට අනාගත ක්‍රිකට්‌ වෙනුවෙන් යෑයි කියමින් දැන් ඇබෑර්තු වී අවසන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ නායකයකු සහ උපනායකයකු සොයා ගැනීමේ අපහසුම අවස්‌ථාව මෙවර උදාවී ඇත. මීට පෙර බන්දුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස්‌ වකවානුවෙන් පසු අරවින්ද සහ අර්ජුන වකවානුවේද නායකත්වයට සුදුස්‌සන් බොහොමයක්‌ සිටියහ. අනතුරුව හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු යුගයෙන් පසු මහේල යුගයත් ඉන්පසු සංගක්‌කාරත් අදාළ ඔටුන්න සඳහා සුදුස්‌සන් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. නමුත් සංගක්‌කාර නායකත්වයට සමුදීමත් සමග නායකත්වයට සුදුස්‌සකු පත්කිරීම පිළිබඳව දෙවරක්‌ සිතීමට සිදුව තිබේ. ඒ ජ්‍යෙෂ්ඨයන්ට වයස වැඩිවීමත් සහ නවකයන්ට අත්දැකීම් නොමැති වීමත් යන කරුණු නිසාය.

වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එක්‌දින සහ ටෙස්‌ට්‌ තරගවල ජ්‍යෙෂ්ඨයන් වන මහේල සහ සංගක්‌කාර නායකත්වය දරා එයට සමුදී ඇත. ඔවුන්ගෙන් පසු ජ්‍යෙෂ්ඨයන් වන්නේ තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්‌, තිලාන් සමරවීර සහ ලසිත් මාලිංගයි. මේ අතරින් නායකත්වයට සුදුස්‌සකු පත්කර ගන්නේ නම් ඒ සඳහා ඉදිරියෙන්ම සිටින්නේ ඩිල්ෂාන්ය. අනතුරුව මැතිව්ස්‌, තරංග සහ තිලාන් සමරවීරද එහි නායක උපනායක තනතුරු සඳහා යෝජනා විය හැකිය.

තිලකරත්න ඩිල්ෂාන් ටෙස්‌ට්‌ සහ එක්‌දින මෙන්ම 20-20 තරගවලදීත් හොඳින් දස්‌කම් දක්‌වමින් කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ හිමිකර ගැනීම මත අනාගත නායකත්වයට ඔහු ඉදිරියෙන්ම සිටී. ඇන්ජලෝ මැතිව්ස්‌ද අදාළ කණ්‌ඩායම්වල ස්‌ථානය තහවුරු කර ගත්තද ඔහු තවම ආධුනිකය. මැතිව්ස්‌ දැනට ටෙස්‌ට්‌ තරගය 13 ක්‌ සහ එක්‌දින තරග 43 කට පමණක්‌ සහභාගි වී සිටිති. උපුල් තරංග ටෙස්‌ට්‌ තරග 15 ක්‌ සහ එක්‌දින තරග 121 ක අත්දැකීම් ඇත්තෙකි. මේ සියලු දෙනා අතරින් නවකයකුට තැන දෙන්නේ නම් මැතිව්ස්‌ සහ තරංග ඉදිරියෙන් සිටිති. නමුත් උපුල් තරංගට ටෙස්‌ට්‌ සංචිතයේ ස්‌ථානයක්‌ ඉකුත් තරවල හිමි නොවීම මත ගැටලුකාරී තත්ත්වයක්‌ පැන නගී.

නායකයකු අනාගතය වෙනුවෙන් හුරු කිරීමේ සැබෑ ප්‍රතිඵලයේ සාර්ථකත්වය ඔස්‌ටේ්‍රලියාව ඉකුත් වසර කිහිපයේදීම අත්විද තිබේ. එහිදී ඔස්‌ටේ්‍රලියාව වෙනුවෙන් අවසන් නායකත්වය දැරූ රිකී පොන්ටින් 2003 සහ 2007 ලෝක කුසලාන දෙකම තම රටටම දිනා දුන්නද මෙවර (2011) ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට හෝ පැමිණීමට නොහැකි වීම මත ඔහු නායකත්වයෙන් ඉවත් විය. එය සාධාරණය. පොන්ටින් සමුගන්නා විට නායකත්වය භාරදීමට හැකි ක්‍රීඩකයකු ඔස්‌ටේ්‍රලියාව ඒ වන විටත් නිර්මාණය කර තිබිණි. පොන්ටින්ගේ උපනායකයා ලෙස මයිකල් ක්‌ලාක්‌ වසර ගණනාවක්‌ පත්කර ඔහුට නායකත්වය පිළිබඳ පෙරහුරුවක්‌ ලබාදී තිබීම මත ඔස්‌ටේ්‍රලියාවට නව නායකත්වය පිළිබඳව ගැටලුවක්‌ ඇති නොවීය. මීට ඉහත ශ්‍රී ලංකාවේ තේරීම්ද එසේ සිදුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකත්වය පිට පැනීම 2007 ආරම්භ විය. සනත් ජයසූරියගෙන් පසුව ටෙස්‌ට්‌ සහ එක්‌දින නායකත්වය මාවන් අතපත්තුට හිමිවිය. නමුත් ඔහු 2007 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති එංගලන්ත සංචාරයේදී ආබාධයකට ලක්‌වීම මත මහේලට නායකත්වය හිමිවිය. එතැන් සිට මහේල සාර්ථක වූ බැවින් 2007 ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය මහේලට හිමිවූ අතර එහි උපනායකත්වය සංගක්‌කාරට හිමිවිය. එවිට මාවන් පිතිකරුවකු ලෙස නායකයකු ලෙස සාර්ථකව සිටියද අවසානයේ කණ්‌ඩායමේ ස්‌ථානයද ඔහුට අහිමි කිරීමට එකල තේරීම් කමිටුව තීරණය කළේය. යම් හෙයකින් එම ලෝක කුසලාන තරගාවලිය මාවන් මෙහෙය වූයේ නම් ඉකුත්දා අවසන් වූ 2011 ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය දරන්නේ මහේලය. එවිට මහේලගෙන් පසුව මීළඟ ලෝක කුසලාන තරගාවලිය තෙක්‌ සංගක්‌කාරට නායකත්වය දැරීමට සිදුවනු ඇත. එවිට අනාගතයේදී මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග වැනි නවකයකුට නියම කාල සීමාවේදී අත්දැකීම් මතින් පරිපූර්ණ වී නායකයකු වීමට ඉඩ ප්‍රස්‌ථාව ලැබෙනු ඇත.

සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු නායකත්වය දරන අතරතුර මහේලව උපනායකත්වයට පත්කිරීමෙන් මහේල හොඳ පරිණත නායකයකු බවට පත්විය. නමුත් සංගක්‌කාර නායකත්වය දරන කාලයේදී අනාගත නායකත්වය ගැන නොසිතා කටයුතු කිරීමට තේරීම් කමිටු කටයුතු කිරීම මත ගැටලුකාරී තත්ත්වයක්‌ නිර්මාණය විය. සංගක්‌කාරගේ නායකත්වයෙන් විටෙක මුරලි උපනායකත්වයටද තවත් විටෙක මහේල උපනායකත්වයටද පත්කිරීමෙන් පෙනී ගියේ උපනායකත්වයටද සුදුස්‌සකු නොමැති බවයි.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ සිම්බාබ්වේ සංචාරයේදී තිලකරත්න ඩිල්ෂාන්ට නායකත්වය ලබා දුන් අතර එහිදී පැවැති තුන්කොන් ශූරතාව ජය ගෙන ඒමට ඩිල්ෂාන් ප්‍රමුඛ නවක ක්‍රීඩකයන්ට හැකිවිය. නමුත් අනතුරුව ඔහු උපනායකත්වයටද නුසුදුසු වූයේ ඔහුගේ වරදක්‌ නිසාද යන පැනය මතුවේ.

ඉදිරි ලෝක කුසලාන තරගාවලිය ඉලක්‌ක කරගනිමින් සංගක්‌කාර නායකත්වයට සමුදුන්නේ අනාගතය වෙනුවෙන් බව ඔහු කියයි. එහෙත් යථාර්තය අනුව හොඳට පදම්වූ ක්‍රීඩකයකු සහ නායකත්වයට ඔබින ගුණාත්මක ගති ලක්‍ෂණ තිබෙන ක්‍රීඩකයකු ඔහු සමුගන්නා විට මෙරට ක්‍රිකට්‌ තේරීම් කමිටු විසින් හඳුනාගෙන තිබේද? එසේ නම් සංගක්‌කාරගේ උපනායකයා වශයෙන් ඔහු පත් නොකළේ මන්ද? යන ප්‍රශ්න වර්තමානයේ මාර්තෘකාවට බඳුන් වී තිබේ.

කුමාර සංගක්‌කාර නායකත්වයට සමුදීමෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෙසේ පැවසීය. "2015 ලෝක කුසලාන සඳහා නව නායකයකු සමග නව අදහස්‌ ඇතිව ක්‍රීඩා කිරීම වෙනුවෙන් මම නායකත්වයෙන් ඉවත්වනවා. 2015 වන විට මට අවුරුදු 37 යි. ඒ කාලයේදී මට කණ්‌ඩායමේ රැදී සිටින්න පුළුවන් වෙයිද කියන එක සැකයි. ඉදිරි නායකත්වය සඳහා ඩිල්ෂාන්, තරංග, මැතිව්ස්‌ සහ ලසිත් මාලිංගත් සුදුසුයි. කොහොමත් ටෙස්‌ට්‌, එක්‌දින සහ 20-20 තරග සඳහා එකම නායකයකු පත්වීම තමයි සුදුසු" යනුවෙන් පැවසීය.

සංගක්‌කාර 2015 ලෝක කුසලාන වන විට අවුරුදු 37 ක්‌ වීම මත ඔහුට එම කාලයේදී කණ්‌ඩායමේ ස්‌ථානය වයසත් සමග අහිමිවීමට ඉඩ ඇති බව ඔහු පැවසීම සහ එහිදී ඩිල්ෂාන්ට නායකත්වය සුදුසුයෑයි සංගක්‌කාර පැවසුවේ ඩිල්ෂාන්ට 2015 වන විට වයස අවුරුදු 38 ක්‌ වන බව අමතක වී විය හැකිය.

ඒ අනුව ඩිල්ෂාන්ට නායකත්වය හිමි නොවුණහොත් මැතිව්ස්‌ට හෝ තරංගට නායකත්ව ලබා දීමට පුළුවන. නමුත් ඔවුන් ඒ සඳහා පරිපූර්ණ වී තිබේද යන ප්‍රශ්ණයට පිළිතුර ලැබෙන්නෙ එම වගකීම ඔවුන් දැරීමෙන් පසුවය. එවැනි අවදානමක්‌ අනාගතයේ පත්වන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව භාර නොගතහොත් ඩිල්ෂාන්ට නායකත්වය ලබා දීමට පුළුවන. නැතිනම් කිසිම අවදානමක්‌ නොගෙන යළිත් වරක්‌ නායකත්වයේ ඔටුන්න මහේලටම හිමිවීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී. මහේල එය භාරගතහොත් ඔහුගේ උපනායකයා යෞවනයේ පසුවන්නකු විය හැකිය.

නායකයා යනු කණ්‌ඩායම ජයග්‍රහණය කරා රැගෙන යැමේ පුරෝගාමියා විය යුතුය. අර්ජුන රණතුංග යුගයේ සිට සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ කුමාර සංගක්‌කාර යුගය දක්‌වා ශ්‍රී ලංකා පිල මෙහෙයවූ සැම දෙනාම මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව ඔසවා තබන්නට සමත් වූහ. ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට්‌ නායකයා 2015 ලෝක කුසලාන ජයග්‍රහණය කරවීමේ දක්‍ෂයකු විය යුත්තේ ඉකුත් ලෝක කුසලාන දෙකෙහිදීම ශ්‍රී ලංකාව අනුශූරයන් වූ හෙයිනි. නැවතත් අනුශූරතාව හෝ ඉන් පහළට නොවැටී ශූරතාව කරාම රැගෙන යන නායකයකු සොයා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉදිරියේ ඇති පළමු අභියෝගය වී තිබේ.

දිවයින පුවත් පත ඇසුරිනි

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්