Saturday, April 9, 2011

අනේ හාමුදුරුවනේ මේකද බුදු බණේ! අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සැබැවින්ම සිදු වන්නේ කුමක්‌ද? රළුවේ පද්මසිරි හිමි කාථිකාචාර්ය, බෞද්ධ අධ්‍යයනාංශය, භික්‌ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර

අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂූ විශ්වවිද්‍යාලය 2011.03.22 අඟහරුවාදා දින නියමයක්‌ නොමැතිව වසා දැමීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ ද අනුදැනුම ඇතිව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් තීරණය කරන ලදී. විශ්වවිද්‍යාලය වසා දැමීම අත්තනෝමතික පරිපාලන තීන්දුවක්‌ බවත්. නවක වධ සිදුවීම් කිසිවක්‌ විශ්වවිද්‍යාලයේ සිදු නොවූ බවත් එනිසාම මෙම ක්‍රියාව රජයේ අවශ්‍යතාවක්‌ අනුව කරන ලද්දක්‌ බවත් විවිධ ජනමාධ්‍ය උපයෝගී කරගෙන ශිෂ්‍ය නියෝජිතයින් යෑයි පවසන විවිධ පුද්ගලයන් විසින් වරින් වර ප්‍රකාශ කරනු අසන්නට, දකින්නට ලැබිණි. විශ්වවිද්‍යාලය වසා දැමීමේ සැබෑ හේතු ප්‍රථම ගණයේ (First Hand) තොරතුරු උපයෝගී කරගෙන හෙළි කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණයි. ඇතැම් ශිෂ්‍ය සංගම් මෙන් සාක්‌ෂි රහිතව හුදු ප්‍රලාප නැගීමක්‌ මෙහිදී සිදු නොකරන බවත් වේලාසනින්ම කිව යුතුය.

බුද්ධශ්‍රාවක භික්‌ෂු විශ්වවිද්‍යාලීය පරිපාලනය පමණක්‌ නොව එහි සියලුම ආචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරුන් හා නේවාසිකාගාර පරිපාලකයන් ද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පළමු වසරේ සිසුන්ට නවක වධය දෙන ආකාරය පැහැදිලිව දුටු අතර එහි තත්ත්වය එන්න එන්නම බරපතල වූ බැවින් මෙම තීරණයට එළඹීමට පරිපාලනයට සිදුවිය. එබැවින් විශ්වවිද්‍යාලය වසා දැමීමේ සැබෑ හේතුව පරිපාලන දුර්වලතා වසා ගැනීමක්‌ හා රජයේ අරමුණු සාධනය කිරීමක්‌ යෑයි කරනු ලබන චෝදනා අසත්‍ය මෙන්ම විකෘති සහගත ද වේ.

විශ්වවිද්‍යාලය වසා දැමීමේ ප්‍රධානතම හා එකම හේතුව වන්නේ පාලනය කරගත නොහැකි තරමට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සිදු කළ අමානුෂික නවක වධයයි. මේ හැර විශ්වවිද්‍යාලය වසා දැමීමේ කිසිදු හේතුවක්‌ විශ්වවිද්‍යාලයට නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව වෙනුවෙන් වගකීමෙන් ප්‍රකාශ කළ හැකිය. විශ්වවිද්‍යාලය වසා දැමීමට තරම් නවක වධය උත්සන්න වුයේ කෙසේද යන්න සවිස්‌තරව පැහැදිලි කිරීමට සිදුවන්නේ ශිෂ්‍ය නායකයින් යෑයි ප්‍රකාශ කරන දේශපාලන හෙංචයියන්ගේ ප්‍රකාශවල ඇති සාවද්‍ය බව කරුණු සහිතව පෙන්වා දීම අවශ්‍ය වන බැවිනි. මෙවැනි පැහැදිලි කිරීමකින් විශ්වවිද්‍යාල පරිපාලනය වෙත එල්ල කොට ඇති චෝදනාවන්හි පදනම් විරහිත බව පැහැදිලි වේ.

විශ්වවිද්‍යාලය තුළ උද්ගත වන ගැටලු වෙනුවෙන් පෙනී සිටින අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්‌ඩලය හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බල මණ්‌ඩලය යනු කාගේ වුවමනා සඳහා කවුරුන් විසින් ක්‍රියාත්මක කරවන ඒවාද යන්න බත් කන ශ්‍රී ලාංකිකයෝ දනිති. එම මණ්‌ඩල නියෝජනය කරන්නේද ඔවුන්ගේ දේශපාලන පියවරුන්ගේ ක්‍රමවේදයන්මය. ඔවුන්ගේ ක්‍රමවේදය වන්නේ සැබෑ ප්‍රශ්නය යටපත් කිරීම සඳහා එම සිද්ධියට කිසිදු අදාළත්වයක්‌ නැති සිදුවීම් දාමයක්‌ මවා පා මහා ගෝනි බිල්ලකු නිර්මාණය කිරීමයි. මවා පෑමයි. මෙසේ නිර්මාණය කරන යෝධ ගෝනි බිල්ලා සකස්‌ කර ගත්තේ කාල් මාර්ක්‌ස්‌ගේ දේශපාලන සිද්ධාන්ත පටු අරමුණු උදෙසා ගණිකා වෘත්තියෙහි යෙදවීමෙනි. සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට නිර්මාණය කරගත්තාවූත් එම දේශපාලන පක්‍ෂ විසින් පමණක්‌ සත්‍ය යයි පිළිගන්නා වුත් මෙම ක්‍රමවේදය භික්‌ෂූ අන්තරය ද දැන හෝ නොදැන හෝ අනුගමනය කරනු පෙනෙයි. එම ක්‍රමවේදයට අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ මුළු ලෝකයේ ම මිනිසුන්ගේ කායික හා මානසික ප්‍රශ්න සියල්ලම විසඳී සුඛිත මුදිත වූ කොමියුනිස්‌ට්‌ තත්ත්වය ලෝකයට උදා වූ දාට පමණි. මෙවැනි දේශපාලන ප්‍රවණතා මගින් හික්‌මවන ලද මිනිසුන් යම් ප්‍රශ්නයක්‌ පිළිබඳ දක්‌වන අදහස්‌ සැබෑ ලෙසින්ම අසත්‍ය බවත් පදනම් විරහිත බවත් පහසුවෙන්ම තහවුරු කළ හැකි වීම රටේ වාසනාවයි.

අනුරාධපුර භික්‍ෂු සරසවියේ සැබෑ ප්‍රශ්නය වන නවක වධ සිද්ධියේ බරපතළ බව තහවුරු කිරීමට අවශ්‍ය සාක්‍ෂි විශ්වවිද්‍යාලය සතුය, ඒ සාක්‍ෂි අතර හඬ පටි, නවක සිසුන්ගේ අත්සන් හා ලියාපදිංචි අංක සහිත ලේඛන, වීඩියෝ කළ දර්ශන, ආචාර්යවරුන් සහ පරිපාලන නිලධාරීන් ඇසින් දුටු සාක්‍ෂි හා කනින් ඇසු සාක්‍ෂි ද රාශියකි. මෙතරම් ප්‍රමාණයක්‌ ප්‍රථම ගණයේ සාක්‍ෂි ( First Hand Evidence) තිබියදී සියල්ල දැන දැනම, කිසිදු දෙයක්‌ නොදන්නා වූ පුහුණු කරන ලද ගිරා පෝතකයින් සේ ප්‍රලාප දෙසාබාන අන්තරයේ භික්‍ෂුන්ගේ ප්‍රකාශ පිළිගැනීමට තරම් උසස්‌ අධ්‍යාපන ඇමැති, විශ්වවිද්‍යාල පරිපාලනය හෝ සාමාන්‍ය ජනතාව සූදානම් වෙතියි ඔවුන් සිතන්නේ නම් එය ඔවුන්ගේ තවත් එක්‌ මුළාවකි. එසේ වුවත් විශ්වවිද්‍යාලයට එරෙහිව විවිධ මාධ්‍ය ඔස්‌සේ සිදු කර ඇති අසත්‍ය ප්‍රකාශනවල සැබෑ ස්‌වභාවය රටේ ජනතාව දැන ගත යුතු බැවින් එම චෝදනාවල ඇති හිස්‌ බව කෙටියෙන් පෙන්වා දෙමු.

විශ්වවිද්‍යාලය වසා දැමූ පසු "අපේ ඉගෙනීමේ අයිතිය වහා ලබා දෙනු" යනුවෙන් සටන් පාඨ නගන සිසුන් විශ්වවිද්‍යාලයේ දේශන පැවැත්වෙන විට අධ්‍යයන කාර්යයන්හි නිරත නොවන බව ප්‍රකාශ කිරීමට සිදුවීම අපගේ ද අවාසනාවකි. 2011.03.08 දින විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට අධ්‍යයන කටයුතු ආරම්භ කළ අතර එතැන් සිට 2011.03.22 තෙක්‌ සති දෙකක කාල සීමාව තුළ දෙවන වසර සිසුන් දේශනවලට සහභාගි වුයේ එකම දිනක්‌ හෝ දෙකක්‌ පමණි. සති දෙකක අධ්‍යයන කාලයක්‌ තුළ දේශනවලින් එක්‌ දේශනයකට පමණක්‌ සිසුන් පැමිණියේත් අනෙක්‌ දේශන සියල්ල මග හැර සිටියේත් පරිපාලන වරදකින් හෝ දේශකයන්ගේ අඩුපාඩුවක්‌ නිසා හෝ නොවේ. උදෑසන 04.00 පමණ සිට උදෑසන 7.00 පමණ වන තෙක්‌ නවක සිසුන්ට නවක වධ දුන් දෙවන වසර සිසුහු නැවතත් සවස 6.00 පමණ සිට උදෑසන 1.00 පමණ වන තෙක්‌ නවක සිසුන්ට වධ දුන්හ. ඒවා විමසීමට පරිපාලන නිලධාරීන් යන විට ජ්‍යෙෂ්ඨ සිසුන් යෙදූ විශේෂ මුරකාවන්හි පිහිටෙන් අදාළ නිලධාරීන්ගේ පැමීණීම වේලාසනින්ම දැනගෙන මොවුහු අඳුරේ සැඟවෙති. රාත්‍රි කාලයේ ඔවුන් නිදනු ලබන්නේ පැය තුනක්‌ පමණි. පෙ.ව. 1.00 පෙ.ව 4.00 මෙසේ හිංසාවට පත්වන නවක සිසුන් බලෙන් පංතිවලට සහභාගි කරවා ජ්‍යෙෂ්ඨ සිසුහු දවල් දවසේ ම නිදති. පංති කාමරයට පැමිණෙන නවක සිසුහු ද පංති කාමර තුළ නිදා වැටෙති.

2011.02.28 දින නවක සිසුන්ට විශ්වවිද්‍යාලය ආරම්භ කළ අතර එදින සිට 2011.03.11 වන තෙක්‌ ඉතා උනන්දුවෙන් අධ්‍යයන කටයුතුවල නිරත වු පළමු වසර සිසුන් නවක වධය ඇරඹූ දා සිට දේශනවලට පැමිණි අවස්‌ථාවේ සිට නිද්‍රාශීලී වන්නේත් තැති ගැනීමෙන් මෙන් හාත්පස බලමින් ඉන්නේත් ඉගැන්වීම් කෙරෙහි අවධානයක්‌ යොමු නොකරන්නේ ඇයි ද යන්න විශ්වවිද්‍යාලයන්හි ඇසුර ලැබූ ඕනෑම කෙනකුට ඉතා පහසුවෙන් අවබෝධ වේ. පළමු වසර සිසුන්ගෙන් ලබාගත් ප්‍රකාශයන්ගෙන් බහුතරය කියාපාන්නේ මෙවැනි වධ දීමේ තත්ත්වයක්‌ යටතේ තමන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ අනවශ්‍ය බවයි. එසේ ම මේ සති දෙකක කාලය තුළ සියදිවි නසා ගැනීමට සිතුණු අවස්‌ථා අප්‍රමාණ බව ද ඔවුන්ගේ ප්‍රකාශනවලින් කියවෙයි. සාමාන්‍ය විශ්වවිද්‍යාලයක සිදුවන නවක වධය මෙන් සිය ගුණයකින් වර්ධනය වූ නවක වධ දීමක්‌ මෙම විශ්වවිද්‍යාලය තුළ සිදුවු බවට සාධක ඕනෑතරම් ඉදිරිපත් කළ හැකිය. නවක සිසුන්ගේ භාවිතයට පමණක්‌ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් වෙන් කර දී ඇති වැසිකිළි පද්ධතියේ ඇති වැසිකිළි දොරවල මැද සහ යටින් විශාල සිදුරු සදා ඇත්තේ නවක සිසුන් වැසිකිළි ගිය පසු ජලය පාවිච්චි කරනවාද යන්න පිටත සිට පහසුවෙන් බලා ගැනීම පිණිසයි. මෙම කරුණු මාගේ හෝ පරිපාලනයේ හෝ හුදු උපකල්පන නොවේ. මෙසේ සිදුරු කරන ලද වැසිකිළි දොරවල් මේ දක්‌වාම ඉවත් නොකර තබා ඇති අතර අවශ්‍ය කරන ඕනෑම කෙනකුට විශ්වවිද්‍යාල අවසරය සහිතව පැමිණ නිරීක්‍ෂණය කළ හැකිය. නවක සිසුන් විසින් ලබාදුන් ප්‍රකාශන ඇතුළත් වීඩියෝ පටවලින් සහ ඔවුන් ලබාදුන් ලිත ප්‍රකාශන මගින් ද මේ බව වඩාත් හොඳින් තහවුරු වේ. නවක සිසුන්ට මුහුණ සේදීමට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දෙන්නේ ජලය සබන් පියනෙන් එකකි. දත් මැදීමට ඔවුන්ට ලැබෙන කාලය තප්පර පහකි. වැසිකිළි යාමේ කාලය විනාඩි තුනකි. මේ තරම් කුරිරු වූ නවක වධයක්‌ ලෝකයේ වෙනත් කිසිදු හෝ විශ්වවිද්‍යාලයක තිබේ යෑයි අප අසා නැත. පළමු වසර සිසුන් ගමන් කරන සමීපයේ සිටීමටවත් නොහැකි තරමට දුගඳ හමයි. පංති කාමරය තුළ ආචාර්යවරයකුට සිටිය නොහැකි තරමට එම දුඟද දැඩිය. මේ තත්ත්වය උත්සන්න වූ නිසාම 2011.03.15 දින දේශන පැවැත්වීමෙන් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සිදු විය. මේ සියල්ල අසත්‍ය යෑයි අන්තරේ දේශපාලන අම්බරුවන් විලි බිය නොමැතිව මාධ්‍ය ඔස්‌සේ ප්‍රකාශ කරනු ඇත. නවක වධය පිළිබඳ මෙම විස්‌තරය ප්‍රමාණවත් නොවේ නම් ඒ පිළිබඳ මීට වඩා සවිස්‌තර වාර්තා ලබාදිය හැකිය.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම හා මෙම විශ්වවිද්‍යාලය වසා දැමීම අතර සම්බන්ධයක්‌ තිබෙන බවත් එය විශ්වවිද්‍යාල පරිපාලනය විසින් දැන දැනම සිදු කරන ලද්දක්‌ බවත් විශ්වවිද්‍යාලය වෙත යොමු කොට ඇති තවත් අභූත චෝදනාවකි. මෙම ප්‍රකාශය තේ කෝප්පයේ කිඹුලන් දැක බියවීමට නොදෙවෙනිය. අනුරාධපුර භික්‍ෂූ සරසවිය හදිසි තත්ත්වයක්‌ යටතේ තාවකාලිකව වසා දැමීම හා රජය පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ ක්‍රියාදාමය සමග කිසිදු සෘජු සම්බන්ධතාවක්‌ නොමැත. අන්තරේට අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාල සිසුවෙකුට සෑදුණු බඩේ අමාරුවක්‌, පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කිරීමේ ආණ්‌ඩුවේ පිළිවෙත නිසා ඇති වූ බව පෙන්වා දීමටයි. ඔවුන්ට වැළඳී ඇති බරපතල රෝගය වන්නේ ඇතැම් බංකොලොත් දේශපාලන පක්‍ෂවල මතවාද කරපින්නා ගෙන ඒවාට පණ දෙන්නට උත්සාහ දැරීමයි. දළදා මාලිගාවට ත්‍රස්‌තවාදීන් බෝම්බ දැමූ විට එය හෙළා දැකීමට පෝස්‌ටරයක්‌වත් ප්‍රදර්ශනය නොකළ මෙම අන්තරය කියූබාව අසලින් ඇමරිකානු නැවක්‌ ගමන් කළත් මහා උද්ඝෝෂණ සුදානම් කළ ඓතිහාසිකවම බංකොලොත් වූ දේශපාලන පක්‍ෂවල බළල් අත් ලෙස මෙම සිසුන් ද යොදා ගනු පෙනෙයි. මෙය ජාතික අධ්‍යාපනයේ අරමුණුවලට කණකොකා හැඩීමක්‌ බව අප අමතක කළ යුතු නැත. මෙම විශ්වවිද්‍යාලය වසා දැමීම හුදු නවක වධ සිදුවීම් රාශියක ප්‍රතිඵලයකි. එහි කිසිදු දේශපාලනික අරමුණක්‌ නැත. එවැනි නවක වධ දීමක්‌ සිදු නොවූ බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින භික්‌ෂූ අන්තරේ ප්‍රකාශ කරන විට අප මිනිසුන්ට ප්‍රකාශ කරන්නේ අනුරාධපුර උඩමළුව පොලිසියට අයත් භික්‍ෂූ සරසවිය වටා ඇති පොලිස්‌ බැරැක්‌කවල සිටි නිලධාරීන් හමුවීම පමණක්‌ අන්තරේ භික්‌ෂූන්ගේ ප්‍රකාශනයන්හි ඇති හිස්‌ බව, අසත්‍ය බව තහවුරු කරගැනීමට ප්‍රමාණවත් බවයි.

ශිෂ්‍ය ජීවිතවලට තර්ජන එල්ල වී ඇති විශ්වවිද්‍යාලයක්‌ තාවකාලිකව වසා දැමීමෙන් ආණ්‌ඩුවකට ලැබෙන කිසිදු ආර්ථික ප්‍රතිලාභයක්‌ නොමැති බව සාමාන්‍ය දැනුම සහිත මිනිසුන්ද දන්නා කරුණකි. විශ්වවිද්‍යාලයක්‌ තාවකාලිකව වසා ඇති මුත් එම වර්ෂයට වෙන් කොට ඇති මූල්‍ය ප්‍රතිපාදනවල අඩු කිරීමක්‌ නොසිදු වේ. නිලධාරී හා සේවක ගෙවීම්වල අඩු කිරීමක්‌ ද සිදු නොවේ. නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කළ පසු ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යත්ව දීමනා ද නොගෙවා නොසිටී. විභාග කල් යාම, අධ්‍යයන වර්ෂය කල් යාම හා ඉගැන්වීම කටයුතු අඩාල වීමක්‌ මෙහිදී සිදුවෙයි. ඒ හැරුණු විට විශ්වවිද්‍යාලයක කෙරෙන අනෙක්‌ කාර්යයන් සියල්ල මෙම කාල සීමාව තුළ ද සිදු කෙරේ. මේ කිසිදු කරුණක්‌ නොදැන හදිසි තත්ත්වයක්‌ යටතේ විශ්වවිද්‍යාලය වැසීම පෞද්ගලික විශ්වවිද්‍යාල හඳුන්වා දීමේ උත්සාහය සමග ගැට ගැසීමට වෙර දැරීම නොදන්නා බවේ සංකේතයක්‌ පමණි.

නවක වධයට ලක්‌ වී විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී ගිය හෝ ජීවිත ආශාවෙන් පැන ගොස්‌ නැවත විශ්වවිද්‍යාලයට නොපැමිණි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් පිළිබඳව මේ කිසිදු කාඩ් බෝර්ඩ් වීරයෙකු කතා නොකරයි. වසර පහක ඉතිහාසය තුළ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නවක වධය නිසාම ඉවත් වී ගිය සැලකිය යුතු ශිෂ්‍ය ප්‍රමාණයක්‌ ඇත. ඒ සියල්ලෝම පැන ගියේ මේ මහඟු උප සංස්‌කෘතියට පින් සිදු වන්නටය. පසුගිය වසරේත් ඊට පෙර වසරවලදීත් ඉංග්‍රීසී මාධ්‍යයෙන් පාඨමාලා හැදෑරීමට පැමිණි ශිෂ්‍ය භික්‌ෂූන් කිහිප දෙනෙක්‌ම මෙම නිහීන ක්‍රියාව ඉවසා ගත නොහී ඉවත්ව ගියහ. අන්තරේ පුහු බස්‌සෝ මේ සිසුන් පිළිබඳ කිසිදාක වචනයක්‌ වත් කතා නොකිරීමට තරම් කෛරාටික හා කුහක බවකින් යුක්‌ත වූහ. මෙවැනි සංකීර්ණ ප්‍රශ්නවලට ඔවුන්ට හුරුපුරුදු එකම පිළිතුර වන්නේ අලයෙක්‌ පරිපාලන ගැත්තෙක්‌ පරිපාලනය විසින්ම ඉවත් කරන්නට ඇති බවයි. එසේ කී පමණින් එම සිසුන්ගේ අධ්‍යාපන අයිතින් තහවුරු වේද?

මෙම විශ්වවිද්‍යාලය විනාශයේ හේතුකාරකය, රටේ ආණ්‌ඩුව හෝ විශ්වවිද්‍යාල පරිපාලනය හෝ නොව පරිපාලනය යනු තමන් යයි සිතන ශිෂ්‍යයන් ම බව පහසුවෙන් තහවුරු කළ හැකිය. එක්‌ වසරක නවක වධය අවසන් වන විට කඩා බිඳ දමා ඇති වැසිකිළි දොරවල්, යකඩ ඇඳන් සහ විනාශයට පත් කරන ලද කාමර බිත්ති පිළිබඳ විමසිලීමත්වීම පමණක්‌ වුව මේ සඳහා ප්‍රමාණවත්ය.

විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සිසුන්ගේ පුස්‌තකාල පරිහරණයට සීමා පණවා ඇති බවද භික්‌ෂූ අන්තරේ කැඳවුම්කරු ප්‍රකාශ කරයි. මෙයද අනෙක්‌ ප්‍රකාශන සේම පදනම් විරහිත වූත් අභූත වූත් චෝදනාවකි. විශ්වවිද්‍යාලයක නව අධ්‍යයන වර්ෂයක්‌ ආරම්භ වු පසු ශිෂ්‍යයන් ඒ සඳහා ලියා පදිංචි වීම සාමාන්‍ය දෙයකි. එම ලියාපදිංචිය අලුත් කරගන්නා තුරු බැහැර දෙන පොත් පුස්‌තකාලයකින් නිකුත් නොකෙරේ. වගකීමක්‌ සහිතව පොත් නිකුත් කිරීමට ශිෂ්‍ය අත්පොතක්‌ තිබීම අත්‍යවශ්‍යය. ශිෂ්‍ය අත්පොත නොමැතිව පුස්‌තකාල පොත් නිකුත් කිරීම විශ්වවිද්‍යාල නීතියට පටහැනිය. එවැනි තත්ත්වයක්‌ තුළ සතියක්‌ හෝ සති දෙකක්‌ බැහැර දෙන පොත් නිකුත් කිරීම නොසිදු වේ. එසේ ද වූවත් පුස්‌තකාලයට ගොස්‌ පොත් පරිශීලනයට මේ කාලය තුළ ද ශිෂ්‍යයන්ට අවසර ලැබේ. මෙවැනි තත්ත්වයක්‌ පුස්‌තකාල පරිහරණයේ කප්පාදුවක්‌ ලෙස ප්‍රකාශ කරන්නන්ට අං තට්‌ටුවක්‌ පැළඳවීම හැර කළ හැකි වෙනත් දෙයක්‌ නැත.

මෙහි ඇති පුදුමය වන්නේ නවක සිසුන් පුස්‌තකාලයට යැම වැළැක්‌වීමට තරම් මේ "අයියලාම" ක්‍රියා කිරීමයි. මේ තරමටම ජ්‍යෙෂ්ඨ සිසුන් පුස්‌තක ආලය ඇත්තෝය නවක ශිෂ්‍ය ආලය ඇත්තෝය. මෙමගින් හෙළි වන්නේ ද භික්‌ෂු අන්තරය පෙනී සිටින දේශපාලන මඩ ගොහොරුවේ ප්‍රමාණයයි. සමාසික ක්‍රමය ක්‍රියාත්මක නොවන පැරණි අධ්‍යාපන ක්‍රමය භාවිත වන විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයන් බහුල වශයෙන් පුස්‌තකාලය භාවිත කරන්නේ තෙවන අධ්‍යයන වාරයේය. එසේ වන්නේ වර්ෂාවසාන විභාගය එම වාරාවසානයේ දී පවත්වන බැවිනි. 2010 වසරේ තෙවන වාරයේ දී අනුරාධපුර භික්‌ෂු විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පුස්‌තකාල පරිහරණය පිළිබඳ වාර්තා අප සතුය. ඒ අනුව දිනකට පුස්‌තකාල පරිහරණය කරන ශිෂ්‍යයන්ගේ සාමාන්‍යය සියයට හයකි (6%) මෙම ශිෂ්‍යයන් හයදෙනා උදෙසා 2010 අගෝස්‌තු මස සිට එම වසරේ දෙසැම්බර් මස දක්‌වා විශ්වවිද්‍යාලය වැය කළ විදුලි බිල පමණක්‌ රුපියල් එක්‌ ලක්‍ෂ හාර දහස්‌ හත්සිය පනහයි ශත පනහකි (10450.50) එම වාරයෙහි පෙ.ව. 08.15 සිට ප.ව. 08.00 දක්‌වා පුස්‌තකාලය විවෘතව තිබූ අතර ඒ සඳහා වැය කළ සේවක අතිකාල දීමනාවේ එකතුව ආසන්න වශයෙන් රුපියල් දෙලක්‌ෂ විසිනම දහස්‌ හත්සිය පනහකි. රුපියල් ලක්‍ෂ දහයකට වැඩි ප්‍රමාණයක්‌ පසුගිය වසරේ පමණක්‌ අලුත් පොත් මිල දී ගැනීමට වැය කොට ඇත. සිසුන් පනහකට වැඩි ශිෂ්‍ය ප්‍රමාණයකට පහසුකම් ඇති වායුසමීකරණය කළ පරිශීලන අංශයේ බොහෝ අවස්‌ථාවන්හි දී එක්‌ ශිෂ්‍යයෙක්‌වත් නැත. මේ සියල්ලෙහිම වැරදිකරු විශ්වවිද්‍යාල පරිපාලනයද? විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද? රටේ ආණ්‌ඩුව ද? මෙපමණ මුදලක්‌ බදු මුදල් ලෙස ගෙවන අහිංසක ජනතාවද? එසේත් නැත්නම් අධ්‍යාපන අරමුණුවලට වසුරු මිශ්‍ර කර නවක වධය උපයෝගී කරගෙන සිසුන්ගේ හිස්‌, අධ්‍යාපනයෙන් ඉවත් කරවන මෙම කුහක දේශපාලන පිඹුරුපත්කරුවන්ද? යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්