Monday, April 11, 2011

පස්‌දෙනකුගෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සභාපති ධුරය දුලිප් මෙන්ඩිස්‌ට

හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක දුලිප් මෙන්ඩිස්‌ මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවක්‌ පත් කිරීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙරේදා (08 දා) පියවර ගෙන තිබේ. මෙන්ඩිස්‌ මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවට සාමාජිකයන් පස්‌ දෙනෙකු ඇතුළත් වෙති.

ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලයෙදී ශ්‍රී ලංකා කණ්‌ඩායම අනුශූරතාවට පත්වීමෙන් අනතුරුව අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු හිටපු ක්‍රිකට්‌ තේරීම් කමිටුව අදාළ ධුරවලින් ඉල්ලා අස්‌වූ අතර අනතුරුව මෙම නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කොට ඇත.

මෙන්ඩිස්‌ මහතාග් සභාපතිත්වයෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස බ්‍රෙන්ඩන් කුරුප්පු, දොන් අරුණසිරි, රංජිත් මදුරුසිංහ සහ චමින්ද මෙන්ඩිස්‌ යන අයත් වෙති.

නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ පළමු කාර්ය භාරය වන්නේ හිස්‌වී තිබෙන ශ්‍රී ලංකා කණ්‌ඩායමට නායකයකු සහ උපනායකයකු පත් කිරීම වන අතර අනතුරුව එංගලන්ත සංචාරය සඳහා වන ශ්‍රී ලංකා කණ්‌ඩායම නම් කිරීමට නියමිත වේ. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එංගලන්ත සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමට යෙදී තිබෙන එංගලන්ත සංචාරය වෙනුවෙන් සහභාගිවන කණ්‌ඩායමද අදාළ නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් පත් කිරීමට නියමිත වේ.

නම කමිටුවට පත් වී සිටින සියලුම සාමාජිකයන් මීට පෙර තේරීම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කිරීමද විශේෂත්වයක්‌ වේ.

සභාපති ලෙස පත්ව සිටින දුලිප් මෙන්ඩිස්‌ මහතා 1975 වසරේ සිට 1989 වසර දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කර තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වයද හොබවා තිබේ. ටෙස්‌ට්‌ තරග 24 කට සහ එක්‌දින තරග 79 කට සහභාගි වී ඇති හෙතෙම අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ප්‍රධාන විධායකවරයා ලෙස කටයුතු කරමින් සිටින අතරතුරදී මෙම වසරේදී විශ්‍රාම ගියේය.

වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන අනුරු තෙන්නකෝන් මහතාට පෙර එහි කළමනාකරු ලෙස කටයුතු කළ කුරුප්පු මහතා 1987-1991 කාලයක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කර තිබේ.

අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු හිටපු ක්‍රිකට්‌ තේරීම් කමිටුව පෙර සිටි අසන්තද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ සාමාජිකයකුද වූ දොන් අරුණ සිරි ශ්‍රී ලංකාව වෙනුවෙන් 1986-1992 දක්‌වා කාලය තුළ ටෙස්‌ට්‌ තරග 18 කට සහභාගි වී තිබේ. දකුණත් පිට දඟ පන්දු යවන්නකු වූ මදුරුසිංහ මහතාද 1988-1992 කාලය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. සෙසු සාමජිකයා වන චමින්ද මෙන්ඩිස්‌, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරගයකට ක්‍රීඩා කර තිබෙන අතර ඔහුද අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුතු හිටපු ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

අදාළ නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉදිරි සතියේදී අදාළ තනතුරුවල වැඩ භාර ගැනීමට නියමිත වේ.



මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීමෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය


 අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩිවිල්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමි විය.
දිල්ලිහී පැවති තරගයේ කාසිය වාසිය දිනු දිල්ලි ඩෙයාර්ඩිවිල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එහිදී ඔවුන්ට පන්දුවාර 17යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 95ක් පමණි.

විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 19ක් ලබා ගත්තේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග පන්දුවාර 3යි පන්දු 4ක් තුළ එක් නිලකුණු පන්දුවාරයක් සහිතව ලකුණු 13කට කඩුලු 5ක්

බිඳහෙලීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 99ක් ලබා ගනිමින්

තරගයේ ජය වාර්තා කළේය.

සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්