Friday, April 15, 2011

අපි නොදන්නා ආහාර සකස්‌ කිරීම්

පිටි කැඳ සකස්‌ කිරීම

හාල් පිටි කැඳ පිසින විට ඊට, කුඩාවට ලියන ලද පොල් කැබැලි එකතු කරයි. මේ කැඳ පොල් කිරෙන් පිසින අතර ලුණු සෑහෙන ප්‍රමාණයක්‌ එකතු කරයි. ඝන තලප ස්‌වභාවයක්‌ ගන්නා බැවින් මේ කැඳ පානය කළ නොහැකි අතර ඇඟිල්ලේ දවටා ආහාරයට ගත යුතු වෙයි. බොහෝ ගැමියෝ මෙය කිරිපැණි යනුවෙන් ද හඳුන්වති.

ඇහි රොටි සෑදීම

කුල්ලෙන් පොලා ඉතිරි වන සුන් සහල්වලට වඩා කුඩා සහල් කැබැලි ඇහි යනුවෙන් හැඳින්වෙයි. ඇහි හොඳින් ගරා ලුණු සෑහෙන ප්‍රමාණයක්‌ එකතු කර හොඳින් අනාගත යුතු ය. ලිප තබා හොඳින් රත් වූ කබල මතට අනාගත් ඇහි හැන්දක්‌ පමණ දමා පොල්කටු හැන්දෙන් තලා රොටියක්‌ ලෙස සකස්‌ කරගත යුතු ය. සාමාන්‍ය රොටියක්‌ පුළුස්‌සන ආකාරයට පුළුස්‌සාගත් මෙය ඇහි රොටි යනුවෙන් හැඳින්වෙයි. ඇහි රොටි සීනි, පොල් සමග මිශ්‍ර කර වංගෙඩියේ දමා කොටා අනා ගැනීමෙන් ආහාරයක්‌ ලෙස ගැනීමට ගැමියෝ පුරුදු වී සිටිති.

පාණු හොද්ද සැකසීම

කැකුළු සහල් සෝදා ගත් ජලය පාණු ජලය හෙවත් පාණු වතුර යනුවෙන් හැඳින්වෙයි. හීනටි හාල් පාණු වතුරට දෙකට තුනට කඩාගත් වියළි මිරිස්‌ කැබැලි හා කපාගත් මුරුංගා, ලුණු සෑහෙන පමණ එක්‌ කර හොද්දක්‌ ලෙස පිළියෙල කර ගත හැකි ය. මේ හොද්දට කරවල කැබැලි කීපයක්‌ හෝ සියඹලා මල් හෝ අමු අඹ කැබැලි කීපයක්‌ එක්‌ කර රසවත් පාණු හොද්දක්‌ සාදාගත හැකි ය.

කෝන් අනුග

කෝන් ගෙඩිවල පොත්ත ඉවත් කර වළඳක දමා රත් කරගනු ලැබේ. එවිට කෝන් ගෙඩිවල ඇඹුල හෙවත් කෝන් ඇඹුල ගෙඩියේ ඇටවලින් එකිනෙක වෙන් වෙයි. ඉන්පසු ඇට ඉවත් කර වළඳේ ඉතිරි වන ඇඹුලට ලුණු, කොච්චි අඹරා දමා පදමට එන තුරු රත් කර ගත් විට ලැබෙන මිශ්‍රණය කෝන් අනුග යනුවෙන් හැඳින්වෙයි. මේ කෝන් අනුග කඩ පිම්මකින් හෙවත් වළඳේ කට පිරිසිදු රෙදි කඩකින් බැඳ කල් තබාගත හැකි ය. පොල් සම්බෝලවලට හෝ වෙනත් වෑංජන සඳහා හෝ මේ කෝන් අනුග මිශ්‍ර කරගත්තේ රසවත් බව වැඩි කිරීමේ අරමුණිනි.

කෝන් අනුග යන ග්‍රාම්‍ය භාෂාවෙන් ගෙවිලිය හැඳින්වූයේ ස්‌වාභාවික රසකාරකයක්‌ ම බැව් අමුතුවෙන් කිව යුතු නො වේ. කෝන් යනු පෝෂ්‍යදායි වනගත ග්‍රාම්‍ය පලතුරකි.

අමු දිවුල් හොද්ද

කහට ගතිය තිබෙන අමු දිවුල් මද ගලවා වියළි මිරිස්‌ කරල් හා ලුණු පමණට දමා වතුර ස්‌වල්පයක්‌ එක්‌ කිරීමෙන් පසු ලිප තබා හැඳි ගා ගත යුතු වෙයි. හොද්ද හොඳින් නටන විට එය කිරි පැහැයට හැරෙයි. මෙය අමු දිවුල් හොද්ද යනුවෙන් හැඳින්වෙයි. කැකුළු බත් සමග අමු දිවුල් හොද්දත් අගුණ කොළ මැල්ලුමත් ගැලපෙන ආහාරයකි.

කුරක්‌කන් කැඳ

කුරහන් පිටි පොල් කිරි සමග දිය කර ලිප තබා හොඳට තැම්බෙන තෙක්‌ රත් කර කුරහන් කැඳ සාදා ගන්න. මෙයට සීනි පමණට මිශ්‍ර කිරීමෙන් රසයේ වැඩිවීමක්‌ සිදු වේ. එසේ ම ගම්මිරිස්‌ හා සුදු ලූනු අඹරා එකතු කිරීමෙන් රසයේ වෙනසක්‌ ඇති වේ.

මාළු මැල්ලුම සෑදීම

වැලිගොව්වා යනු ශ්‍රී ලංකාවේ ඇළදොළ ගංගාවල සිටින ආහාරයට ගන්නා දේශීය මත්ස්‍ය විශේෂයකි. මාළු මැල්ලුම සඳහා යොදා ගන්නේ වැලිගොව්වන් ය. කපා සෝදා පිරිසිදු කරගත් වැලිගොව්වන් ගේ කටු ඉවත් කර අමු මිරිස්‌, පොල්, ලුණු, රතු ලූනු, කරපිංචා කොළ වැඩියෙන් දමා මලවා ගැනීමෙන් පසු ආහාරයට ගත හැකි ය.

පලු පැණි

පලු යනු රසවත් ගුණවත් දේශීය පලතුරකි. හොඳින් ඉදුණු පලු ගෙඩි විශාල ප්‍රමාණයක්‌ සෝදා හොඳින් පිරිසිදු කර, ප්‍රමාණයෙන් විශාල වළඳකට දමා වතුර දමා රත් කරන්න. වතුර හොඳින් නටන විට වළඳ ලිපෙන් බාගන්න. පසුව පලු ඇට මිරිකා ඇට හා පොතු ඉවත් කර ගන්න. ඉන්පසු වළඳේ ඉතිරි වන මිශ්‍රණය පෙරා නැවත ලිප තබා පැණි මෙන් පදමට එන තුරු හොඳින් රත් කර ආහාරයට ගන්න.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අප්‍රකට ආහාරවල තාක්‍ෂණ ක්‍රමවේදය

සබරගමු පළාතට අයත් රත්නපුර දිස්‌ත්‍රික්‌කය යනු ඉතා දිගු ග්‍රාමීය ඉතිහාසයකට නෑකම් කියන සරුසාරු පරිසර පද්ධතියකින් යුත් දිස්‌ත්‍රික්‌කයකි. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ආවේනික ශාක රැසක්‌ දක්‌නට ලැබෙන බැවින් ආවේනික ශාක ඇසුරෙන් ආහාර පිළියෙල කර ගැනීමට පැරැණි ගම්වැසියෝ සමත් වූ හ. අද වන විට අප්‍රකට ව ඇති මේ ආහාර පිළියෙල කරගැනීමේ දී භාවිත කළ පාරම්පරික තාක්‍ෂණ ක්‍රමවේද නූතන ආහාර තාක්‌ෂණ ක්‍රමවේද පරයා යන බවක්‌ දක්‌නට ලැබේ. මී මල් හැලප, කහට ගෙඩි වෑංජනය, පතරාජ වෑංජනය, හාතාවාරිය දෝසි, හාල් පිට්‌ටු, තුඹ කොළ මැල්ලුම හා වෑංජනය, කළු අල කොළ වෑංජනය, තිත්ත තිබ්බටු වෑංජනය, කැබෙල්ල දලු වෑංජනය, කරකොළ මැල්ලුම හා කටු අල වෑංජනය ප්‍රධාන තැනක්‌ ගනී. වෑංජනවල අන්තර්ගත සුවිශේෂී ලක්‍ෂණය වන්නේ මේවා ආහාරයට ගැනීමෙන් දියවැඩියාව, සෙම් රෝග, වාත රෝග, හෘදරෝග වැනි රෝග ගණනාවක්‌ නිවාරණය කර ගැනීමට හැකි වීම ය. රෝග නිවාරණයට පාදක වූයේ එම ආහාරය පිළියෙල කළ පරිසරයත් සකස්‌ කර ගන්නා ආකාරයත් අතර තිබුණේ මනා සබැඳියාවකි.

මී මල් හැලප

සැම වසරක ම ජුනි, ජූලි මාසවල මී මල් හටගනී. පිපෙන අවස්‌ථාවේ දී නෙළා ගන්නා මී මල් හොඳින් වියළා ගනී, වියළාගත් මී මල් තලා රේණු ඉවත් කර ගනී. ඉන්පසු සෝදා පැය කීපයක්‌ ජලයේ පෙඟෙන්නට ඉඩ හරියි. හොඳින් පෙඟුණු මී මල් ගලේ අඹරා ගනී. ඉන්පසු හාල් පිටි සීනි හා ලුණු අවශ්‍ය පමණට ගෙන හොඳින් මිශ්‍ර කර ගනී. ඉන්පසු මේ මී මල්, හාල් පිටි, සීනී හා ලුණු මිශ්‍රණය කුඩා කොටස්‌වලට වෙන් කර කැන්ද කොළයක තබා තුනී කර හැලප තම්බන්නා සේ වාෂ්පවලින් තම්බාගත් පසු රසවත් අතුරු ආහාරයකි.

කහට ගෙඩි වෑංජනය

කහට ගස අඩි 5ත් 6ත් අතර ප්‍රමාණයක්‌ උසට වැඩෙන ශාකයකි. සැම වසරක ම මාර්තු හා අප්‍රේල් යන මාසවල ගෙඩි ගට ගනී. කහට ගෙඩි වෑංජනය සෑදීමේ දී කහට ගෙඩි, මිරිස්‌ කුඩු, අමු මිරිස්‌, තුනපහ, ගොරකා, ලුණු, ලූනු, උම්බලකඩ සහ සුදු ලූනු අමුද්‍රව්‍ය වශයෙන් ගනී. කහට ගෙඩියේ දෙපැත්ත සුද්ද කර කුඩා කැබැලිවලට කපා ගනී. ඉන්පසු එම කැබැලි ජලය පිරුණු භාජනයකට දමා ගොරකා කැබැලි අවශ්‍ය පමණ එකතු කර හොඳින් තම්බා ගනී. ඉන්පසු කළ යුත්තේ ජලය පෙරා කහට ගෙඩි කැබැලි වෙන් කර ඊට තුනපහ සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු කර හොඳින් කලවම් කර ගැනීමයි. බඳුනකට තෙල් ස්‌වල්පයක්‌ දමා තෙල් රත් කර ඊට තුනපහ සහ අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කර කහට ගෙඩි කැබැලි දමන්න. විනාඩි කීපයක්‌ තැම්බෙන්නට ඉඩ හැර පොල් කිරි ස්‌වල්පයක්‌ (අවශ්‍ය පමණට) දමා හොඳින් පිස ගැනීම කළ යුතු ය.

පැරැණි රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වැසියන් වාත රෝග, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝගවලින් වැළකී සිටීමටත් රෝග සඳහා ප්‍රතිකාරයක්‌ ලෙසත් දෛනික ආහාරයට මේ කහට ගෙඩි වෑංජනය එක්‌ කරගෙන ඇත.

නෙල්ලි වෑංජනය

නෙල්ලි ගෙඩි සැම වසරක ම මාර්තු අප්‍රේල් යන කාල සීමාවේ දී හටගනී. මිරිස්‌ කුඩු, අමු මිරිස්‌, තුන පහ, ගොරකා, ලූනු, ලුණු, උම්බලකඩ හා සුදු ලූනු යනාදිය භාවිත කරමින් ගෙවිලිය විසින් සාදන ලද නෙල්ලි වෑංජනය රසවත් බොජුනක්‌ විය. මෙහි දී නෙල්ලි ගෙඩි තම්බා ඇට ඉවත් කර ගනී. ඉන්පසු ජලය පෙරා තුනපහ සහ අනෙකුත් ද්‍රව්‍ය දමා ඊට පොල් කිරි ස්‌වල්පයක්‌ එකතු කර මඳ ගින්නේ පිසගත යුතු වෙයි. ඉන්පසු අවශ්‍ය නම් පමණක්‌ තෙල් ස්‌වල්පයක්‌ එකතු කරගත හැකි ය. ඖෂධීය ගුණයෙන් පිරිපුන් මේ නෙල්ලි වෑංජනය වාත අමාරුව, දියවැඩියාව වැනි රෝග සඳහා එදත් අදත් ගැමියෝ භාවිත කරති.

කැබැල්ල දලු වෑංජනය

අමු මිරිස්‌, තුනපහ, ගොරකා ලූනු, ලුණු, උම්බලකඩ සහ සුදු ලූනු පමණට භාවිත කරයි. පළමුව කැබැල්ල දලු සෝදා පිරිසිදු කර ජලයේ තම්බා ගනී. ඉන්පසු ජලය පෙරා ඉවත් කර තුනපහ සහ අනෙකුත් ද්‍රව්‍ය දමා ඊට පොල් කිරි ස්‌වල්පයක්‌ ද එකතු කර විනාඩි කීපයක්‌ මඳ ගින්නේ පිසගත යුතු වෙයි. දියවැඩියාවට වඩාත් ගුණ දෙන මේ කැබැල්ල දලු වෑංජනය එදත් අදත් ගැමියන් අතර ප්‍රසිද්ධ ය.

කරකොළ මැල්ලුම

කරකොළ, ලුණු, පොල්, අමුමිරිස්‌, රතු ලූනු යනාදිය අවශ්‍ය ද්‍රව්‍ය වෙයි. කර කොළ හොඳින් සෝදා කුඩා කැබැලි සිටින සේ කපාගත යුතු ය. ඊට පොල් සහ අනෙකුත් ද්‍රව්‍ය දමා මිශ්‍ර කර ලිප තබා ගත යුතු ය. මේ වෑංජනය දියවැඩියාවට හා හෘද රෝගවලට ගුණදායක වූ බැවින් ගැමියන් ගේ දෛනික ආහාරයේ ප්‍රධාන අංගයක්‌ විය.

හල් පිට්‌ටු

හල් ගෙඩිය කහට රසයකින් හා තිත්ත රසයකින් යුක්‌ත බැවින් හල් ගෙඩිය ගෙන සිහින් රැලි සිටින සේ කපා ගෙන රෙදි උරයක හෝ ගෝනියක දමා ජලය ගලා යන තැනක දින දෙකක්‌ හෝ තුනක්‌ රඳවා තබයි. එවිට හල් ගෙඩියේ අඩංගු කහට රසයට හේතු වන රසායනික ද්‍රව්‍ය ජලයේ දිය වී යයි. ඉන්පසු ජලයෙන් ඉවතට ගෙන හොඳින් සෝදා කුඩා කැබැලිවලට කපා වංගෙඩියේ දමා හාල් පිටි පොල් හා ලුණු සමග මිශ්‍ර කර පිට්‌ටු බම්බුව ආධාරයෙන් ජල වාෂ්පවලින් තම්බා ගනී. හල් පිට්‌ටු දියවැඩියාවට මෙන්ම හෘදරෝගවලට ද ගුණදායක බැවින් ගැමියා ගේ උදෑසන ආහාරයේ ප්‍රධාන තැනක්‌ ගත්තේ ය. 


විදුසර පුවත් පතෙන් උපුටා ගන්නා ලදි
http://www.vidusara.com/2010/11/03/feature6.html

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්