Monday, April 18, 2011

අයි.පී.එල්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආපසු කැඳවීම ගැන යළි සලකා බලන්නැයි ඉන්දියාව ඉල්ලයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මැයි මස 05 වැනිදාට පෙර හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවීම පිළිබඳ නැවත වරක්‌ සලකා බලන මෙන් ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ලිඛිතව දන්වා ඇතැයි කියන පුවතක්‌ "දිවයින"ට වාර්තා වෙයි.

ලබන මැයි මස 14 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන සියලුම ක්‍රීඩකයන් මැයි මස 05 වැනි දින ශ්‍රී ලංකාවේ පවත්වන පුහුණු සැසිය වෙනුවෙන් සහභාගිවිය යුතු බවත් සහ එසේ නොපැමිණෙන ක්‍රීඩකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ලිපියකින් දැනුම් දීමත් සමඟ මේ පිළිබඳ ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩල අවධානය යොමු වී තිබේ.

මෙහිදී ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් එවනු ලැබ ඇතැයි කියන ලිපියෙහි, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මැයි මස 20 වැනිදා තෙක්‌ අයි. පී. එල්. තරගාවලිය නියෝජනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලනාධිකාරිය අවසර දී තිබෙන බවද සඳහන් වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන සභාපති ඩී. එස්‌. ද සිල්වා මහතාගෙන් "දිවයින" විසින් මේ පිළිබඳ කරුණු විමසන ලදුව, ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් එවැනි ලිපියක්‌ තමාට ලැබී තිබෙන බව සඳහන් කර සිටියේය.

"ක්‍රීඩකයන් හදිසියේ කැඳවීම පිළිබඳ වූ ලිපියක්‌ ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයෙන් අපිට පසුගියදා එවලා තිබුණා. නමුත් ඇමැතිතුමා මේ දිනවල එංගලන්තයට ගොස්‌ සිටින නිසා අපිට ඒ ගැන හරි තීරණයක්‌ ගන්න විදියක්‌ නැහැ. කොහොම වුණත් අපි හෙට(අද) සියලුම අතුරු කමිටු සාමාජිකයන්ද ඇතුළුව ඇමැතිතුමා සමගින් සාකච්ඡා කරලා මේ පිළිබඳ තීරණයක්‌ ගන්නවා" යෑයි ද සිල්වා මහතා සඳහන් කළේය.

ටෙස්‌ට්‌ තරග 3 කින් සමන්විත එංගලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විට නම් කර නොමැති වුවත් එය ඉදිරි සතියේදී නම් කෙරෙනු ඇත. අදාළ නම් කිරීමෙන් අනතුරුව එම පුහුණුවීම් මැයි මස 05 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර මැයි මස 10 වැනිදා තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම පිටත්ව යැමට නියමිතය.

මෙහිදී මැයි 26 වැනිදා කාර්ඩිෆ්හි ආරම්භවීමට නියමිත පළමු ටෙස්‌ට්‌ තරගයට පෙර ශ්‍රී ංකා ක්‍රීඩකයන් සිව්දින පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිත අතර එහි පළමුවැන්න මැයි 14 වැනි දින මිඩ්ල්සෙක්‌ස්‌ ප්‍රාන්ත කණ්‌ඩායම සමඟ ආරම්භ වේ.

මේ වනවිටත් ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීමෙහි සිව්වැනි ස්‌ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්‌ඩායමට එංගලන්තය සමගින් යෙදී තිබෙන ටෙස්‌ට්‌ තරගාවලිය, 2013 වසරේදී එංගලන්තයේදීම පැවැත්වීමට නියමිත ටෙස්‌ට්‌ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් ඉතාමත් වැදගත් වනු ඇත.

අදාළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ 2011 වසර අවසානයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන කණ්‌ඩායම් 4 වන බැවින් එහිදී ශ්‍රේණිගත කිරීම් ඉදිරි ස්‌ථානයක්‌ ලබා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට බෙහෙවින්ම වැදගත් වේ.

මේ වන විටත් ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ ඉන්දියාවද(128), දෙවැනි ස්‌ථානයේ දකුණු අප්‍රිකාවද(117) සහ තෙවැනි ස්‌ථානයේ එංගලන්තයද(115) පසුවේ. ප්‍රසාද ලකුණු 109 ක්‌ ලබා සිටින ශ්‍රී ලංකා පිල යම් ලෙසකින් මෙම තරගාවලිය ජය ගැනීමට සමත් වුවහොත් තමන්ට වඩා ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන කණ්‌ඩායමක්‌ වන එංගලන්තය, ඔවුන්ගේ රටේදීම පරාජය කිරීම මත වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක්‌ ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු වේ. එම හේතුව මත අදාළ ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්‌ථානය දක්‌වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

එමෙන්ම දශකයකට ආසන්න කාලයක්‌ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවුණු ඔස්‌ටේ්‍රලියානු(107) කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ප්‍රසාද ලකුණු 2 ක පරතයකි. මේ හේතුව මත ඉතිහාසයේ පළමු වරට පවත්වනු ලබන ටෙස්‌ට්‌ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසුවෙයි.

2011 වසර අවසාන වීමට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඔස්‌ටේ්‍රලියාව සමගින් ටෙස්‌ට්‌ තරග 3 කට, පාකිස්‌තානය සමගින් ටෙස්‌ට්‌ තරග 3 කට සහ දකුණු අප්‍රිකාව සමගින් ටෙස්‌ට්‌ තරග 3 කට ක්‍රීඩා කිරීමට අවස්‌ථාව උදාවෙයි.

මෙවර අයි. පී. එල්. තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 11 දෙනකු සුදුසුකම් ලබා සිටින අතර එහිදී, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ තිසර පෙරේරා කෝචි ටස්‌කර්ස්‌ පිලටත්, ලසිත් මාලිංග සහ දිල්හාර ප්‍රනාන්දු මුම්බායි ඉන්ඩියන්ස්‌ පිලටත්, නුවන් කුලසේකර සහ සුරාඡ් රන්දීව් චෙන්නායි සුපර් කිංග්ස්‌ පිලටත් සහ ටී. එම්. ඩිල්ෂාන් සහ නුවන් ප්‍රදීප් බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස්‌ පිලටත් සහ හිටපු නායක කුමාර් සංගක්‌කාර ඩෙකෑන් චාජර්ස්‌ පිලටත් (ඇංජලෝ මැතිව්ස්‌ පූනේ වොරියර්ස්‌ කණ්‌ඩායම නියෝජනය කිරීමට නියමිත වුවද ආබාධයක්‌ මත ඔහුට අදාළ තරගාවලිය මඟහැරිණ) ක්‍රීඩා කරති.

මෙම සියලුම ක්‍රීඩකයන් අවසන් වරට රතු පන්දුවකට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය 2010 වසර අවසානයේ කොදෙව්වන් සමඟ පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී වුවත් එම තරග 3 ම වර්ෂාවට සේදී යැම මත රතු පන්දුවට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාව ඔවුන් වෙතින් ගිලිහී ගියේය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්