Monday, December 19, 2011

උ/පෙළ නිර්දේශ දෙකට සැකසූ ඉසෙඩ් ස්‌කෝර් සූත්‍රය තමාටත් නොතේරෙන බව ඇමැති කියයි

අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නව නිර්දේශයට හා පැරැණි නිර්දේශයට අදාළව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සකස්‌ කළ ඉසෙඩ් ස්‌කෝර් සූත්‍රය තමන්ට ද තේරුම්ගත නොහැකි බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (17 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. නිර්දේශයන් දෙකක්‌ යටතේ විභාගය පැවැත්වීම නිසා ප්‍රතිඵල සම තත්ත්වයට ගෙන ඉසෙඩ් ස්‌කෝර් ලකුණු සකස්‌ කිරීම සඳහා මෙම සූත්‍රය සාදා ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

ප්‍රතිඵල නිකුත් නොකරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මීට සති දෙකකට පෙර විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද... ඉසෙඩ් ස්‌කෝර් සඳහා මැදිහත්වී ගණිතය පිළිබඳ විද්වතුන්ගේ ශාස්‌ත්‍රීය කමිටුවක්‌ ලවා සූත්‍රයක්‌ සෑදීමට කොමිසම තීරණය කළ බවද ඇමැතිවරයා කීවේය.

නිර්දේශ දෙකක්‌ යටතේ එකම විෂයයට ප්‍රශ්න පත්‍ර දෙක බැගින් නිකුත් කර ඇතැයි ද කෙසේ වෙතත් මේ වන විට උත්තරපත්‍ර බලා අවසන් යෑයි ද කී ඇමැතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ ප්‍රතිඵල මීට මාසයකට කලින් වුවද නිකුත් කිරීමේ හැකියාව තිබූ බව ද කීවේය.

ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඉසෙඩ් ස්‌කෝර් ක්‍රමය ප්‍රශ්නයක්‌ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට විභාග දෙපාර්තමේන්තුව විසින් මීට මාස තුනකට පෙර දැනුම් දුන් නමුත් ඔවුන් ඊට මැදිහත් වූයේ සති දෙකකට පෙර බවද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

නව නිර්දේශය සහ පැරැණි නිර්දේශය යටතේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් ස්‌කෝර් ලකුණු තීරණය කිරීමට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ කමිටුව විසින් පේළි අටක සූත්‍රයක්‌ සෑදූ බව කී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එකී සූත්‍රය හැන්සාඩ් ගත කළේය.

එම සූත්‍රය තමන්ට ද නොතේරෙන බව කී ඇමැතිවරයා උසස්‌ පෙළ විභාගයට පිළිතුරු ලියූ ලක්‍ෂ තුනක සිසුන්ගේ ලකුණු මෙම සූත්‍රයට ආදේශ කර ඉසෙඩ් ස්‌කෝර් ලකුණු තීරණය කිරීමට සිදුව ඇතැයි ද කීය.

එම කටයුතු අවසන් වූ පසුව ලබන සතිය වෙද්දී ප්‍රතිඵල නිකුත් කළ හැකිවන බව කී බන්දුල ගුණවර්ධන මහතා මෙම ඉසෙඩ් ස්‌කෝර් ලකුණු දශමයකින් හෝ වෙනස්‌ වුවොත්... ඒ මත සිසුවකු දොස්‌තර කෙනෙක්‌ හෝ කොන්දොස්‌තර කෙනෙක්‌ විය හැකි බවද ප්‍රකාශ කළේය.

ඉසෙඩ් ස්‌කෝර් ලකුණු සකස්‌ කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කාර්යයක්‌ යෑයි ද ඒ බව මාස තුනකට පෙර කොමිසමට දැනුම් දුන් බවද කී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා "අනුන්ගේ දේවලට දැන් අපි නිකං බැණුම් අහනවා..." යෑයි ද කීය.

1 comment:

  1. මූට මේවා තියා ඉස්සර මූ උගන්නපු එවාවත් තේරෙනවද දන්නේ නැහැ. ඉස්සර මූ අවිස්සාවේල්ලේ සම්පත විද්‍යා පීඨය කියන ටියුෂන් ක්ලාස් එකේ වැඩ කරනකොට හැන්දෑවට යනවා අවිස්සාවේල්ලේ සමූපකාර හෝටලේ පිටිපස්සේ තියන පොඩි කාමරේට ගල් බාගෙකුත් අරගෙන. ඒ වෙලාවට මූ කියන දේවල් අහගෙන ඉඳලා අපිට බීම විතරක් නෙවෙයි ටියුෂනුත් එපා වුනා. මූ ඒ තරමට අමු පිස්සු කෙලින්නේ.

    පියරත්න පුවක්පිටිය.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්