Friday, December 14, 2012

ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර පළමු තරගය අද


ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර පැවැත්වෙන 11 වැනි ටෙස්‌ට්‌ තරගය මෙය වන අතර මුරලි-වෝන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තෙවැනි ටෙස්‌ට්‌ තරගාවලියේ පළමු තරගය අද (14 දා) බිලර්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ඔස්‌ට්‍රේලියාවේදී පළමු වරට ටෙස්‌ට්‌ තරග ජයක්‌ ලැබීමේ දැඩි බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙවර තරගාවලියට සහභාගි වන අතර මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වය ලබා දෙන අවසන් ටෙස්‌ට්‌ තරගාවලියද මෙය වේ.

"තේරීම් කමිටුවේ ඉල්ලීම මත මම මාස 12 ක කාලයකට තමයි නායකත්වය ලබාගත්තෙ. මේ සංචාරයෙන් පසු මම නායකත්වයෙන් ඉවත් වෙනවා. ඒ ගැන තේරීම් කමිටු නිලධාරීන් සමගත් මම සාකච්ඡා කළා. ඇන්ජලෝ මැතිව්ස්‌ මගෙන් පස්‌සෙ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය සඳහා සූදානමින් සිටිනවා.
ඔස්‌ට්‍රේලියාවේදී ටෙස්‌ට්‌ ජයක්‌ ලැබීමට මෙම තරගාවලිය අපිට හොඳ අවස්‌ථාවක්‌. ටෙස්‌ට්‌ තරග තුනක්‌ තිබීම ගොඩක්‌ හොඳයි." යනුවෙන් ටෙස්‌ට්‌ තරගය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මහේල ජයවර්ධන අදහස්‌ දක්‌වා ඇත.

අද තරගය පිළිබඳව
ඔස්‌ට්‍රේලියානු නායක මයිකල් ක්‌ලාක්‌ පවසා සිටියේ, "ශ්‍රී ලංකාව ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකුගෙන් සමන්විතයි. සංගක්‌කාර, මහේල සහ ඩිල්ෂාන් ශ්‍රී ලංකා පිතිකරු අංශය ශක්‌තිමත් කරන අතරවාරයේ රංගන හේරත් පන්දු යෑවීමේ ප්‍රධාන තුරුම්පුව වෙලා තියෙනවා.' යනුවෙනි.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමේ අංක 3 පිතිකරු වූ රිකී පොන්ටින් ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඔස්‌ට්‍රේලියාව සහභාගි වන පළමු ටෙස්‌ට්‌ තරගාවලිය මෙය වේ. පොන්ටින්ගේ ස්‌ථානය සඳහා පිලිප් හොග් කණ්‌ඩායමට එක්‌කොට ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායම වේග පන්දු යවන්නන් තිදෙනකු සමග අද තරගයට පිවිසෙන බව
ඔස්‌ට්‍රේලියාවෙන් වාර්තාවේ. රංගන හේරත් දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කරන බව වාර්තා වේ. ආරම්භක පිතිකරු තරංග පරණවිතාන වෙනුවට දිමුත් කරුණාරත්න අද තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම තරගය සඳහා සකසා ඇති ඕවල් තණතීරුව ටෙස්‌ට්‌ ක්‍රීඩාවට උචිත ලෙස සකස්‌ කර ඇති අතර එය පිතිකරුවන්ට වාසිදායක වනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්‌ට්‌ තරග දෙකම පරාජයට පත්ව තිබේ. ශ්‍රී ලංකා ප්‍රධාන පිතිකරුවන් යුගල වන මහේල ජයවර්ධන (104) සහ කුමාර් සංගක්‌කාර (192) ඕවල් ක්‍රීඩාංගණයේදී ශතක ලැබූ පිතිකරුවන් වේ.

ඔස්‌ට්‍රේලියාව ඕවල් ක්‍රීඩාංගණයේදී තරග 10 කට සහභාගි වී ඉන් තරග 7 ක්‌ ජය ගෙන ඇති අතර අවසන් වරට ඉකුත් 2011 දී නවසීලන්තය හමුවේ ලකුණු 07 ක පරාජයක්‌ ලබා තිබේ.

ටෙස්‌ට්‌ ලකුණු දස දහසේ සීමාව ඉක්‌මවා යැම සඳහා ලකුණු 107 ක්‌ පිටුපසින් පසුවන සංගක්‌කාරට මෙම තරගයේදී අදාළ ඉලක්‌කය පසුකිරීමට හැකියාව ලැබුනොත් ලොව ටෙස්‌ට්‌ ලකුණු දස දහස සීමාව ඉක්‌මවා ගිය 11 වැනියා ලෙස ඔහු ඉතිහාස ගත වේ.

ඔස්‌ට්‍රේලියානු කාලගුණ වාර්තාවලට අනුව මෙම ටෙස්‌ට්‌ තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවස්‌ථාවක්‌ පවතින අතර තරගයේ පළමු දින හතරේදී එම අවධානම පවතින බව වාර්තා වේ.

1 comment:

  1. lunch එකට නවත්තන කොට Australia 97/2 (26.2 ov)

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්