Saturday, June 30, 2012

2වෙනි තරගය මහේලගේ පිටියේදීම අද

පාකිස්‌තානය සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියේ දෙවැනි තරගයට අද (30 දා) කොළඹ එස්‌. එස්‌. සී. පිටියේදී අවතීර්ණ වේ.
ශ්‍රී ලංකා කණ්‌ඩායම අවසන් වසර 3 ක කාලයේදී එතෙරදී හෝ මෙතෙරදී ටෙස්‌ට්‌ තරගාවලි ජයක පහස විඳ නොමැති නමුත් පාකිස්‌තානය සමග පැවැති පළමු තරගයෙන් දිනයක්‌ ඉතිරිව තිබියදීම ලකුණු 209 කින් ජය ගැනීම මත අද තරගාවලියට පිවිසෙන්නේ තරගාවලිය 1-0 ක්‌ ලෙස ජයග්‍රාහී ස්‌ථාවරත්වයක සිටය. එම තත්ත්වය මත පල්ලකැලේ තරගයට පෙර අද ආරම්භ වන තරගය ජය ගනිමින් තරගාවලිය 2-0 ක්‌ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිය උපරිම උත්සාහය යෙදීමට වග බලා ගත යුතුය.
ලොව සුපිරි පිට දඟ පන්දු යවන්නා වශයෙන් සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමට පෙර 2009 වසරේ නවසීලන්තයත් සමග පැවැති තරගාවලිය ශ්‍රී ලංකාව අවසන් වතාවට ජය ගත් (2-0) ටෙස්‌ට්‌ තරගාවලිය විය. ඉන්දීය කණ්‌ඩායම සමග 2010 වසරේ ගාල්ලේදී පැවැති තරගය මුරලිදරන්ගේ සමුගැනීමේ ටෙස්‌ට්‌ තරගය වූ අතර එම තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත් අනතුරුව පී. සරා පිටියේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම මත තරගාවලිය 1-1 ක්‌ ලෙස අවසන් විය.
ගාල්ල ක්‍රීඩාංගණය මෙන් එස්‌. එස්‌. සී. ක්‍රීඩා පිටියද ශ්‍රී ලංකාවට වාසිදායක ක්‍රීඩා පිටියක්‌ බව අවසන් වරට එම පිටියේදී ශ්‍රී ලංකාව තරග වැදි වාර්තා නිරීක්‍ෂණය කිරීමේදී දැකගත හැක. ශ්‍රී ලංකාව මෙම පිටියේදී අවසන් වරට පරාජයට පත්ව ඇත්තේ 2004 වසරේ ඔස්‌ට්‍රේලියාව සමග පැවැති තරගයේදීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්‌ඩායම එස්‌. එස්‌. සී. පිටියේදී ටෙස්‌ට්‌ තරග 11 කට ක්‍රීඩා කොට ඇති අතර එහිදී හය වතාවක්‌ ජය ගැනීමට සමත් වීම අදාළ වාසිදායක තත්ත්වය බවට හොඳම නිදසුන ලෙස ගත හැක.

දුර්වල විනිසුරු තීරණ 14 ක්‌ හේතුවෙන් ගාල්ල තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාව සතු වුවද මෙම තරගයේදී එවැනි කිසිදු අවස්‌ථාවක්‌ පාකිස්‌තානය හමුවේ ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වග බලා ගත යුතුවීම අනිවාර්ය වේ. එමෙන්ම පළමු ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කිරීම තහනම් වුණු පාකිස්‌තානු කණ්‌ඩායමේ නිත්‍ය නායක මිස්‌බා උල් හක්‌ද මෙම තරගයේදී පාකිස්‌තානු කණ්‌ඩායමට නැවත එක්‌ වීමද ශ්‍රී ලංකාවට එල්ල වන තවත් අභියෝගයක්‌ ලෙස සැලකිය හැක. මිස්‌බා කණ්‌ඩායමට නැවත පැමිණීම මත පළමු තරගයේදී ටෙස්‌ට්‌ වරම් ලද මොහොමඩ් ආයුබ්ට අද තරගයේ ස්‌ථාන අහිමිව යනු ඇත. එමෙන්ම ජුනයිඩ් ඛාන් වෙනුවට මොහොමඩ් සමීව ක්‍රීඩා කරවීමේ අදහසක්‌ද පාකිස්‌තානුවන් සතුව පවතිනු ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායමෙත් අද තරගයේදී එක්‌ වෙනස්‌කමක්‌ බලාපොරොත්තු විය හැකි අතර පළමු තරගයේදී සිය මංගල කඩුල්ල දවා ගත් නුවන් ප්‍රදීප්ට විවේකයක්‌ ලබාදී ඔහු වෙනුවට තරග කිරීමේ අවස්‌ථාව තිසර පෙරේරාට හෝ දිල්හාර ප්‍රනාන්දුට හිමිවනු ඇත.
මෙම තරගයේදී අපේ උපරිමය යෙදිය යුතුයි. වේග පන්දු යවන්නන් පිළිබඳ වෙනසක්‌ කරනවාද නැද්ද කියන එක තවම තීරණය කරලා නැහැ. තිසර නැගී එන ක්‍රීඩකයෙක්‌. අත්දැකීම් අතින් දිල්හාර ඉදිරියෙන් ඉන්නවා. ඩර්බන්හි අපි ජය ගත්ත තරගයෙදීත් දිල්හාර විශාල කාර්යභාරයක්‌ ඉටු කළ ක්‍රීඩකයෙක්‌. කොහොම වුණත් උදෑසන තණතීරුව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව කුලසේකර සමග ක්‍රීඩා කරන අනෙක්‌ වේග පන්දු යවන්නා කවුද කියල තිරණය කරනවා යනුවෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පැවැසීය.
දෙවැනි ටෙස්‌ට්‌ තරගය සඳහා සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 15 දෙනාගෙන් ක්‍රීඩකයන් සිව් දෙනකුගේම මව් ක්‍රීඩාංගණය වන්නේ එස්‌. එස්‌. සී. ක්‍රීඩා පිටිය වීමද ඔවුන්ට අද තරගයේදී අතිරේක වාසියක්‌ ගෙන දෙන්නක්‌ වී තිබේ. නායක මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, තරංග පරණවිතාන සහ දිල්හාර ප්‍රනාන්දු එස්‌. එස්‌. සී. ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයෝ වෙති. ක්‍රීඩාංගණයේ වාසියද දිල්හාරට හිමිවීම මත තිසර පෙර්රාට වඩා අද තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක්‌ ඔහු වෙනුවෙන් පවතියි.
ලොව පිතිකරුවන් අතර තනි ක්‍රීඩාංගණයකදී වැඩිම ලකුණු රැස්‌ කළ ක්‍රීඩකයාගේ වාර්තාවට එස්‌. එස්‌. සී. පිටියේදී හිමිකම් කියන මහේලට අද තරගය තරමක්‌ සුවිශේෂීතාවක්‌ උසුලනු ඇත. එස්‌. එස්‌. සී. පිටියේදී මුළු ලකුණු 2697 ක්‌ රැස්‌ කරගෙන ඇති මහේල ටෙස්‌ට්‌ තරගයකදී ශ්‍රී ලංකාව මෙහෙයවනු ලබන 32 වැනි අවස්‌ථාව මෙය වන අතර මෙම තරගයෙන් ජය ලද හොත් ශ්‍රී ලංකාවට වැඩිම ටෙස්‌ට්‌ තරග සංඛ්‍යාවක ජය ලබා දී තිබෙන සනත් ජයසූරිය සමගින් සම තැන් ගැනීමේ අවස්‌ථාව ඔහුට හිමිවනු ඇත. ජයසූරිය මෙහෙයවන ලද ටෙස්‌ට්‌ තරග 38 කදී තරග 18 ක ජය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන අතර මහේල මේ වන විටත් ටෙස්‌ට්‌ තරග 31 කදී තරග 17 ක ජය ශ්‍රී ලංකාවට හිමිකර දී තිබේ. එහෙත් ජයග්‍රාහී ප්‍රතිශතය අනුව මහේල, සනත් ජයසූරියට වඩා ඉදිරියෙන් පසුවේ.
මහේලට පසු එස්‌. එස්‌. සී. පිටියේදී වැඩිම ලකුණු වාර්තා කළ ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්‌කාර වන අතර ඔහුට ලකුණු 2000 සීමාව පසුකර යැමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 57 ක්‌ පමණි. සංගක්‌කාරට ඉදිරියෙන් මහේල ජයවර්ධන(එස්‌. එස්‌. සී. 2697 සහ ගාල්ල 2193) ජැක්‌ කලිස්‌ (2098) සහ ග්‍රැහැම් ගුච් (2015) එක්‌ ක්‍රීඩාංගණයක වැඩිම ලකුණු රැස්‌ කළ පිතිකරුවන් බවට පත්ව සිටිති.
මෙහිදී පාකිස්‌තානු නායක මිස්‌බා උල්හක්‌ද අදහස්‌ දක්‌වමින්, zමේක අලුත් තරගයක්‌. පෙර තරගයට වුණ දේ ගැන හිතලා වැඩක්‌ නැහැ. අපි මේ තරගයට හොඳින් ක්‍රීඩා කොට ශ්‍රී ලංකාවට තරගයක්‌ ලබාදිය යුතුයි. යනුවෙන් පැවැසීය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්