Wednesday, June 27, 2012

BPL වලටත් වඩා අඩු මුදලකට SLPL කණ්‌ඩායම් හතම විදේශිකයින් මිලදි ගනී

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කරන කණ්‌ඩායම් හත මිලදී ගැනීම සඳහා වූ අවසන් දිනය පෙරේදා (25 දා) අවසන් වූ අතර එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 4.3 ක මුදලකට (ආසන්න වශයෙන් රු. 576 200 000) කණ්‌ඩායම් හතම අළෙවි වී ඇත.

කණ්‌ඩායම් හතම විදේශීය ගැනුම් කරුවන් විසින් මිලදී ගෙන ඇති අතර අදාළ කණ්‌ඩායම් සඳහා වන අයිතිය වසර හතකින් පසුව නැවතත් ගැනුම් කරුවන් විසින් අලුත් කළ යුතු බව වාර්තා වේ.

ලබන අගෝස්‌තු 11 වැනිදා සිට 31 වැනිදා දක්‌වා කොළඹ ආර්. ප්‍රේදාස ක්‍රීඩාංගණයේදී සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණවල තරගාවලිය පැවැත්වීමට නියමිත අතර සමස්‌ත තරගාවලියට තරග 24 ක්‌ ඇතුළත් වෙයි.

තරගාවලිය සඳහා දේශීය සහ විදේශිය ක්‍රීඩකයන් කාණ්‌ඩ දෙකක්‌ යටතේ කණ්‌ඩායම් ගත කිරීමට නියමිත අතර ක්‍රීඩකයන් සඳහා ලන්සු තැබීම ලබන ජූලි 5 - 6 දිනවලට යොදා ඇත. මේ සඳහා දේශීය ක්‍රීඩකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක්‌ සහභාගි කරවීමට නියමිතව ඇත.

තරගාවලියේ සමාරම්භ උළෙල ලබන 10 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරගාවලිය නියෝජනය කරන විදෙස්‌ ක්‍රීඩකයන් ප්‍රමාණය උපරිමය එක්‌ කණ්‌ඩායම සය දෙනකු වශයෙන් 35 ක්‌ පමණ වනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග අනුව තරගාවලිය නියෝජනය කරන විදෙස්‌ ක්‍රීඩකයන් තම සහභාගීත්වය මෙතෙක්‌ සනාථ කර නොමැත. ඉන්දීය ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ප්‍රධාන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයද අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.

තරගාවලිය සඳහා කඳුරට කිඩ්ස්‌, නැගෙනහිර නාගාස්‌, රුහුණ රයිනෝස්‌, උතුර ඔරෙක්‌ස්‌, ඌව යුනිකෝන්, වයඹ වුල්ව්ස්‌ සහ බස්‌නාහිර බෙයාර් යන නම්වලින් කණ්‌ඩායම් නම් කර ඇත.

එස්‌.එල්.පී.එල්. තරගාවලියේ කණ්‌ඩායම් හත ඇමරිකානු ඩොලර් මිලියන 4.3 කට අළෙවි වුවද පළමු වරට පැවැත්වූ ඉන්දියානු ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 තරගාවලියේ කණ්‌ඩායම් අට ඇමරිකානු ඩොලර් මිලියන 723 කට අළෙවි වී ඇති බවත් පළමු වරට බංග්ලාදේශයේ පැවැත්වූ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්‌ඩායම් හය ඇමරිකානු ඩොලර් මිලියන 6.49 කට අළෙවි වී ඇති බවත් වාර්තා පෙන්වා දෙයි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්