Sunday, June 24, 2012

ගාල්ල ලකුණු පුවරුව සංගාට ද්ත්ව ශතකය අහිමි කරයි


ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වැඩි ගෞරව ගෙන දෙමින් පාකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද නිමාවට පත්විය.
අද දිනය අවසන් වනවිට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 48ක් ලබා සිටී.ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිමට ලබාගත් ලකුණු 472ට පිළිතුරු වශයෙනි.අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9වැනි ද්විත්ව ශතකය ලබා ගැනීමට තිබූ මහඟු අවස්ථාව ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරට අහිමි විය.ඒ ඔහු එක් අන්තයක සිටියදි කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවීයාම හේතුවෙනි.
 

මේ අතර පාකිස්ථානයේ සයිඩ් අජ්මාල්ට ශ්‍රී ලංකාවේ නුවන් කුලසේකරට හා  සුරාජ් රන්දිව්ට කඩුලු ත්‍රිත්ව දවා ගැනීමට තිබූ අවස්ථා ද මඟ හැරී ගිය අතර අද දිනය තුළ ලකුණු 220කට කඩුලු 13ක් ද දැවීයාම විශේෂත්වයකි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ අද දිනය ආරම්භ වනවිට සිය පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 300ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ඉණිමේ මුළු ලකුණු ගණන 315ක් වනවිට දිනයේ පළමු කඩුල්ල ලෙස නායක මහේල ජයවර්ධන ලකුණු 62කට දැවී ගියේය.අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 335ක් වනවිට තිලාන් සමරවීර සයිඩ් අජ්මාල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 6කට දැවී ගියේය.එම පන්දුවාරයේම ඊළඟට යොමු කළ පන්දුවෙන් උප නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරිමට සයිඩ් අජ්මාල් සමත් විය.නමුත් අජ්මාල්ට කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමට නොහැකි විය.ප්‍රසන්න ජයවර්ධන ලකුණු 48කට දැවී ගියේය.නුවන් කුලසේකර හා රංගන හේරත් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය.මුළු ලකුණු ගණන 455ක් වනවිට ශ්‍රී ලංකා ඉණිමේ කඩුලු 9ක් දැවී ගියේය.

විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කරමින් හුදකලා සටනක නිරත වූ කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 199ක් ලබා ගත්තේය.සංගක්කාරට ලකුණු ද්විත්ව ශතකය අහිමි වූයේ ඉතා අවාසනාවන්ත අයුරිනි.ඔහු ලකුණු 193ක් ලබා සිටියදී දැවැන්ත හයේ පහරක් එල්ල කරනු ලැබිණි.එම අවස්ථාවේදි ගාල්ල ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුවේ සංගක්කාරගේ නම ඉදිරියෙන් ලකුණු 194ක් ලෙස සටහන්ව තිබුණි.එම නිසා සිය ටෙස්ට් දිවියේ 9වැනි ද්විත්ව ශතකය ලබා ගත්තේ යැයි සිතූ සංගක්කාර ක්‍රීඩා පිටියේදි තම පිත්ත ඉහළට ඔසවමින් සිය සතුට ප්‍රකාශ කළේය.ලකුණු පුවරුවේ සිදුවූ දෝෂයක් හේතුවෙන් එය එලෙස සටහන්ව තිබූ අතර අනතුරු තමාගේ නියම ලකුණු ගණන 200ක් නොව 199ක් බව සංගක්කාර දැන ගත්තේය.
නමුත් ලකුණු 200ට අවශ්‍ය කර තිබූ ඉතිරි ලකුණ එම පන්දුවාරය අවසන්වීමට පෙර සංගක්කාර ලබාගත නොහැකි විය.අනතුරුව උදා වූයේ ශ්‍රී ලංකා ඉණිමේ 153වැනි පන්දුවාරයයි.එම පන්දුවාරයේදි සංගක්කාර පන්දු යවන්නන්ගේ අන්තයේ සිටියදී කිසිදු ලකුණක් නොලබා සිටි නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා ඉණිමේ අවසන් කඩුල්ල ලෙස දැවි ගියේ කුමාර් සංගක්කාරට සිය ටෙස්ට් දිවියේ 9වැනි ද්විත්ව ශතකය අහිමි කරමිනි.
සංගක්කාරගේ ලකුණු 199ට පන්දු 387ක් වැය කර තිබූ අතර එයට හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ සයිඩ් අජ්මාල් ලකුණු 146කට කඩුලු 5ක් දවා ගත්තේය.ඔහු එක් ඉණිමකදී කඩුලු 5ක් දවාගත් 6වැනි අවස්ථාව මෙය වේ.මොහොමඩ් හෆීස් කඩුලු 3ක් දවා ගත්තේය.


අනතුරුව සිය පළමු ඉණිම වෙනුවෙන් පාකිස්ථාන ඉණිම ආරම්භ කිරිමට මොහොමඩ් හෆීස් සහ තවුෆික් උමාර් පිටියට පිවිසියේය.නමුත් පාකිස්ථාන පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ සාර්ථකවීමට නොහැකි විය.මුළු ලකුණු ගණන 17ක් වනවිට තවුෆික් උමාර් ලකුණු 9කට දවා ගැනීමට නුවන් කුලසේකර සමත් විය.

එම පන්දුවාරයේම ඊළග පන්දුවේදි යළිත්වරක් ක්‍රියාත්මක වූ කුලසේකර, අසාර් අලී ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තේය.නමුත් කුලසේකරට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට නොහැකි විය.ලකුණු පුවරුව 43ක් වනවිට පාකිස්ථාන ඉණිමේ තෙවැනි කඩුල්ල  ලෙස මොහොමඩ් හෆීස් සුරාජ් රන්දිව්ගේ පන්දුවකට දැවි ගියේය.හෆීස් ලබාගත් ලකුණු ගණන 20කි.

එම පන්දුවාරයේම ඊළඟ පන්දුවේදි පාකිස්ථානයේ සැදෑ පිතිකරුවා ලෙස පිටියට පිවිසි සයිඩ් අජ්මාල් ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරිමට රන්දිව් සමත් විය.නමුත් සුරාජ් රන්දිව්ට ද කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට තිබු අවස්ථාව අහිමි විය.දිනයේ අවසන් කඩුල්ල ලෙස අසාඩ් ශෆීක් දවා ගැනීමට රංගන හේරත්ට හැකිවිය.ශෆීක්ට ද ලකුණු ලබා ගැනීමට නොහැකි විය.පන්දු යැවීමේදි රන්දිව් හා කුලසේකර අතරේ කඩුලු 2බැගින් බෙදී ගොස් තිබේ.සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මොහොමඩ් අයුබ් සහ යුන්ස් ඛාන් නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

නුවන් ප්‍රදීප් වෙනුවට ධම්මික ප්‍රසාද් සිටියේනම්
කුමාර් සංගක්කාරට ද්ත්ව ශතකය ලබා වැඩිම ද්ත්ව ශතකලාභින් අතරින් දෙවත ස්ථානයට ඒමට හැකියාව තිබුනි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්