Sunday, June 10, 2012

තිසර පෙරේරා ශ්‍රීලංකාවට ජය ගෙන එයි


සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 76ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගය පැවැති පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
 


ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 280ක් ලබා ගැනීමට සමත් විය.ඊට පිළිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 2ක්
අවසානයේදි සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204ක් පමණි.
 
පළමු තරගයේදි මහේල ජයවර්ධන සහ ටී.එම්.ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළත් මෙම තරගයේදි ඩිල්ෂාන් සහ උපුල් තරංග ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය.ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 37ක් වනවිට පළමු කඩුල්ල බිඳ වැටුණි. ඒ අනුව පළමු කඩුල්ල ලෙස ලකුණු 18ක් ලබා සිටී උපුල් තරංග දැවී ගියේ සොහිල් තන්වීර්ගේ පන්දුවක් හමුවේ සෆ්රාස් අහමඩ් අතට උඩපන්දුවක් ලබාදීමෙනි.ශ්‍රී ලංකා ඉණිමේ දෙවනි කඩුල්ල ලෙස කුමාර් සංගක්කාර පිටියෙන් ඉවත් විය.ඔහුට ද ලබාගත හැකි වූයේ ලකුණු 18ක් පමණි.මොහොමඩ් හෆීස් යැවූ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබාදෙමින් සංගක්කාර දැවී ගියේය.අනතුරුව ඩිල්ෂාන් සමග එක්වූ චන්දිමාල් ලකුණු  70ක වේගවත් සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය.එහිදී චන්දිමාල් ලකුණු 37ක් ලබාගත් අතර ඊට හතරේ පහර 3ක් ඇතුලත් විය.ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු ගණන 154ක් වනවිට චන්දිමාල් පිටියෙන් ඉවත් විය.ඒ සයිඩ් අජ්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරිමේ වරදට හසුවීමෙනි.අනතුරුව නායක මහේල ජයවර්ධන පිටියට පිවිසියේය.මහේල සහ ඩිල්ෂාන් ඉදිරියේ පාකිස්ථාන පන්දුයවන්නන් ප්‍රබල ප්‍රහාරයකට ලක්විය.ඔවුන් දෙදෙනා පිටිය තුළ සිය අණසක පතුරවමින් ලකුණු එක්රැස් කර ගැනීමට සමත් විය.විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ඩිල්ෂාන් සිය එක්දින ක්‍රිකට් දිවියේ 13වැනි ශතකය ලබා ගැනීමට සමත් විය.

ඩිල්ෂාන්ට අනගි සහායක් ලබාදෙමින් පිතිකරණයේ යෙදුණු මහේල ජයවර්ධන සිය එක්දින ක්‍රිකට් දිවියේ 67වැනි අර්ධ ශකය අද ලබා ගැනීමට සමත් විය.
ඩිල්ෂාන් හා මහේල අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවති සබඳතාව ලකුණු 86කි.මහේල ලකුණු 53කට පිටියෙන් ඉවත් වූ අතර ඒ සදහා ඔහු වැය කළ පන්දු ගණන 45කි.එම ඉණිමට හතරේ පහර 8ක් ඇතුලත් වූ අතර සයිඩ් අජ්මාල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් මහේල දැවී ගියේය.තිසර පෙරේරා නොදැවී ලකුණු 24ක් ලබා ගැනීමට සමත් විය.විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ඩිල්ෂාන් නොදැවී ලකුණු 119ක් ලබා ගැනීමට සමත් වූ අතර එයට ඔහු වැය කළ පන්දු ගණන 139කි.එම ඉණිමට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය. 
පන්දු යැවීමේදි සොහිල් තන්වීර්, ශහිඩ් අෆ්රිඩි, සයිඩ් අජ්මාල්, සහ මොහොමඩ් හෆීස් අතරේ කඩුලු 1බැගින් බෙදී ගියේය.

අනතුරු පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් හෆීස් සහ අසාර් අලී ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය.
ඔවුන් දෙදෙනා විසින් වේගවත් ඉණිමක් දියත් කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය.තිසර පෙරේරා යැවූ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩපන්දුවක් ලබා දුන් මෙහොමඩ් හෆීස් ලකුණු 14කට දැවී ගියේය.ආරම්භක පිතිකරු අසාර් අලීට සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කිරිමට හැකිවිය.ඒ සදහා ඔහු පන්දු 50ක් වැය කළ අතර ඊට හතරේ පහර 9ක් ඇතුලත් විය.අනතුරුව දෙවන කඩුල්ල ලෙස යුනිස් ඛාන් තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රිඩක කුමාර් සංගක්කාරට උඩපන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය.ඔහු ලබාගත හැකි වූයේ ලකුණු 4ක් පමණි.සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් ගොඩනැංවීමට පාකිස්ථාන නායක මිස්බා උල්-හක් සහ අසාර් අලී සමත් විය.මිස්බා සහ අසාර් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා ආක්‍රමණශීලි ඉණිමක් දියත් කළේය.මිස්බා උල්-හක් ලකුණු 27ක් ලබා සිටියදී තිසර පෙරේරා පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරිමේ වරදට හසුවීමෙන් දැවී ගියේය.අනතුරුව පිටියට පිවිසි උමාර් අක්මාල්ට ශ්‍රී ලංකා පන්දුයවන්නන් හමුවේ සාර්ථකවීමට නොහැකි විය.අක්මාල් ද ලකුණු 3ක් ලබා සිටියදී දවා ගැනීමට තිසර පෙරේරා සමත් විය.සිය එක්දින ක්‍රිකට් දිවියේ කුළුදුල් ශතකය වාර්තා කිරිමට තිබූ මහඟු අවස්ථාව අසාර් අලීට අද අහිමි විය.ඒ නුවන් කුලසේකර යොමු කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනි.ඒ අනුව අසාර් ලකුණු 96කට පිටියෙන් ඉවත් විය.ඔහුගේ ලකුණු 96ට හතරේ පහර 12ක් ඇතුලත් වූ අතර ඊට පන්දු 119ක් වැය කර තිබුණි.අනතුරුව පාකිස්ථාන ඉණිමේ හයවැනි කඩුල්ල ලෙස ප්‍රහාරාත්මක පිතිකරු ශහිඩ් අෆ්රිඩි දැවි ගියේය.ඔහු ලබා ගත් ලකුණු ගණන 17කිසොහිල් තන්වීර් ලකුණු 3කට දැවී ගියේය.උමාර් ගුල් ලබාගත් ලකුණු ගණන 14කි. 
දක්ෂ පන්දුයැවීමක නිරත වූ තිසර පෙරේරා පන්දුවාර 10කදී ලකුණු 44කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.නුවන් කුලසේකර හා ලසිත් මාලිංග අතරේ කඩුලු 2බැගින් බෙදි ගියේය.
 තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරාට හිමිවිය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්