Sunday, June 24, 2012

z ලකුණ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව හෙට

පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණුවලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හෙට (25 වැනිදා) ප්‍රකාශයට පත් කරන තීන්දුව දෙස ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ දැඩි අවධානයෙන් පසුවෙති.

ඉසෙඩ් ලකුණ නිකුත් කිරීමේදී සිසුන්ට අසාධාරණයක්‌ සිදුවී තිබේද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක්‌ පත් කිරීම සඳහා අනුමැතිය දෙන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා විසින් කරන ලද ඉල්ලීම ද
ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‍ෂේප කර තිබිණි.

නව හා පැරැණි වශයෙන් විෂය නිර්දේශ දෙකක්‌ යටතේ පැවැති මෙම විභාගයට අයදුම් කරුවන් දෙලක්‍ෂ හතළිස්‌ තුන්දහස්‌ අටසිය හැත්තෑ හය දෙනකු අයදුම්කර තිබූ අතර ඉන් 144,341 ක්‌ නව විෂය නිර්දේශය යටතේ ඉල්ලුම් කර තිබිණි.
 

විෂය නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි මෙම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගත වූ අතර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සංඛ්‍යා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ගෙන් යුත් කමිටුවක්‌ පත් කළේ ඉන් පසුවය.

විභාග දෙපාර්තමේන්තුව ඉසෙඩ් ලකුණු නිකුත් කළේ එම විද්වත් කමිටුව විසින් සකස්‌ කරන ලද සූත්‍රයකට අනුවය. මෙම ඉසෙඩ් ලකුණු ක්‍රමවේදය නිසා බොහෝ සිසුන්ට අසාධාරණයක්‌ සිදුව ඇති බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමය හා එම විභාගයට පෙනී සිටි සිසුහු කිහිපදෙනෙක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළහ. අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ එම පෙත්සම් විභාග විය. හෙට ප්‍රකාශයට පත් කෙරෙන්නේ එම නඩුවේ තීන්දුවය.
 

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව විභාගයේ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල ද නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.
 

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්