Wednesday, June 6, 2012

මෙවර විද්‍යාපීඨ ගුරුවරුන් කලකට පසු දුෂ්කර පළාත්වල සේවයට

දුෂ්කර පළාත්වල වසර ගණනක්‌ තිස්‌සේ සේවය කරන ගුරුවරුන්ට තමන්ගේ ගම් ප්‍රදේශවලට මාරු වීම සඳහා අනුප්‍රාප්තිකයන් වශයෙන් මෙවර විද්‍යාපීඨ ගුරුවරුන් ස්‌ථානගත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙවැනි ක්‍රියාමාර්ගයක්‌ ගැනෙන්නේ වසර 3 කට පසුවය. මෙලෙස ස්‌ථානගත කිරීමේදී පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී අවම ප්‍රතිඵල පෙන්වූ පාසල්වලට වැඩි අවධානයක්‌ යොමු කෙරේ.

අධ්‍යාපන විද්‍යා පීඨ පුහුණුව ලද ගුරුවරුන් 2306 දෙනකු සඳහා මෙම මස අවසාන වීමට පෙර පත්වීම් පිරිනැමීමට අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි. මෙම ගුරුවරුන් ස්‌ථානගත කිරීමේදී උතුර, නැගෙනහිර, උතුරුමැද හා ඌව යන පළාත් පිළිබඳවද විශේෂ අවධානය යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම ගුරුවරුන්ගේ සියලු ඇගයීම් කටයුතු අවසන් වී ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.

ඉන් පසු ඔවුන්ගේ ලකුණුවලට අදාළ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය පෙබරවාරි මාසයේදී ජාතික අධ්‍යාපන ආයතනයට ලබාදී ඇත. ජාතික අධ්‍යාපන ආයතනය මගින් අමාත්‍යාංශයට ප්‍රතිඵල ලබා දී ඇත්තේ පසුගිය මාසයේදීය. පත්වීම් ලබාදීම ප්‍රමාද කරන බවට ඇතැම් පිරිස්‌ චෝදනා කළද ඔවුන්ගේ පත්වීම් වලංගු වන්නේ මෙම මස පළමු වැනිදා සිට යෑයි අමාත්‍යාංශය පවසයි.

වසර ගණනක්‌ තිස්‌සේ දුෂ්කර සේවයේ සිටින ගුරුවරුන් පිරිසක්‌ එම පාසල්වලින් මාරුවීම සඳහා ඉල්ලා ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්