Saturday, June 9, 2012

අද තරගයේදී මහේල ජයවර්ධන සුපුරුදු අංක 04හෝ 05 ස්‌ථානයේ

තරගයකට ක්‍රීඩා කිරීමේදී ඒ ඒ කණ්‌ඩායම්වලින් එල්ල වන අභියෝගයන්ට අනුව වෙනස්‌ වෙනස්‌ දේවල් කිරීමට පෙළැඹෙන බවත්, ඒ හරහා කණ්‌ඩායමට වාසිදායක තත්ත්වයන් මෙන්ම අවාසිදායක තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක මහේල ජයවර්ධන පවසයි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්‌දින තරගය අද ප.ව. 2.30 ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ෙපාකිස්‌තානය සමග පැවැති පළමු තරගයේදී ක්‍රියාත්මක කළ සියලු සැලසුම් අසාර්ථක වීම තරගයේ පරාජයට ඉවහල් වූ බවද මහේල පැවැසීය.තරග 5 කින් සමන්විත දෙරට අතර එක්‌දින තරගාවලියේ සමාරම්භක තරගය වූ පෙරේදා (07 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව කඩුලු 6 ක පරාජයක්‌ ශ්‍රී ලංකාව අත්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා, 'යම් යම් කණ්‌ඩායම් එක්‌ක ක්‍රීඩා කිරීමේදී ඔවුන්ගේ අභියෝගයන් හමුවේ අපි වෙනස්‌ වෙනස්‌ දේවල් කරනවා. මං හිතන්නේ සමහර වෙලාවට ඒවායෙන් යම් කිසි විදියක වාසිදායක තත්ත්වයන් මෙන්ම අවාසිදායක තත්ත්වයකුත් උදාවෙනවා. අපි බලන්නේ නිතරම ඒවා හොඳ අතට හරවා ගන්න' යනුවෙන් පැවැසීය.මෙම තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් සමගින් ඉනිම ආරම්භ කිරීම මහේල ජයවර්ධන සිදුකළ අතර ඒ අනුව ඔවුන් දෙදෙනාම ලකුණු 12 ක්‌ තුළදී ක්‍රීඩාගාරයට හරවා යෑවීමට පාකිස්‌තානු පන්දු යවන්නන් සමත්විය. ආරම්භක පිතිකරුවන්ගේ කඩා වැටීම මත ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවාර 15 අවසන් වීමටත් මත්තෙන්ම ඉදිරිපෙළ පිතිකරුවන් 5 දෙනාම දැවීයැම ශ්‍රී ලංකාවට ප්‍රබල ලෙසින් පාඩුවක්‌ ගෙන දුන්නේය.
'මං හිතන්නේ මේ පරාජයට මූලිකම හේතුව වුණේ පන්දුවට පහරදීම ආරම්භයේදීම අපේ කඩුලු ඉක්‌මනින් දැවී යැම. විශේෂයෙන්ම පළවැනි පන්දුවාර 10-15 ඇතුළත කඩුලු 5 ක්‌ දැවී ගියා. මේ වගේ තණතීරුවක ක්‍රීඩා කරද්දී ඒක ලොකු පසුබෑමක්‌. ඒ මත අපිට අවශ්‍ය ඉලක්‌කය වෙත යන්න බැරිවීම ලොකු පාඩුවක්‌ වුණා'යනුවෙන් ශ්‍රී ලංකා නායකයා පැවැසීය. මෙහිදී මහේල ජයවර්ධන ඉනිම ආරම්භ කිරීම මත කණ්‌ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයන් තිදෙනා (ඩිල්ෂාන් සහ සංගක්‌කාර ද ඇතුළුව) ඉදිරියෙන්ම පන්දුවට පහරදීම සිදුවන අතර පසුපෙළ ශක්‌තිමත් කිරීමේ කාර්යය පැවරී තිබෙන්නේ තරුණ ක්‍රීඩකයන් වන චන්දිමාල්, තිරිමාන්න සහ මැතිව්ස්‌ තිදෙනා වෙතය. මෙම තත්ත්වය ඔවුන්ට දැඩි පීඩනයක්‌ ගෙන දෙන්නක්‌ බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. මේ පිළිබඳවද මාධ්‍යවේදීන් ජයවර්ධනගෙන් කරුණු විමසන ලදුව, 'තරංගව ඔස්‌ටේ්‍රලියාවේදී ආරම්භක පිතිකරුවකු විදියට යොදා ගත්තේ. නමුත් තරග 4 ක්‌ 5 ක්‌ යද්දී අපිට තේරුණා ඔහුගෙන් අවශ්‍ය දේ සිදුවෙන්නේ නැහැ කියලා. ඉතිං අපි ඒ වෙලාවෙදි වෙනසක්‌ කළා. ඒ වෙලාවෙදි තමයි ළහිරුවයි තරංගවයි ගෙනාවෙ මැද පෙළ පිතිකරුවන් විදියට. ඒ වෙනස ඉදිරියට යන්න හොඳ රුකුලක්‌ වුණා. ඒ විදියටම අපි හිතුව මේ සංචාරයේත් අපිට ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා' වශයෙන් පැවැසීය.
වැඩිදුරටත් අදහස්‌ පළ කර සිටි ශ්‍රී ලංකා නායකයා, 'මම ඉස්‌සෙල්ල කිව්වා වගේ අපි වෙනස්‌ කම් කරනවා අපි හිතන විදියට කණ්‌ඩායමට වාසියක්‌ වෙයි කියලා හිතලා. සමහරක්‌ වෙලාවට ඒවා හරියනවා සමහර වෙලාවට වරදිනවා. අපි බලන්න ඕන ඉදිරියට යද්දී අපි ඒ වගේ තීරණ ගන්නේ යම් කිසි වාසියක්‌ බලාගෙන. ඉතිං ඒක වෙනස්‌ කරන්න ඕන නම් අපි කරන්න බලනවා' යනුවෙන් අද තරගයේදී පිතිකරණ ලැයිස්‌තුවේ වෙනසක්‌ සිදුවන බවටද මහේල ඉඟියක්‌ ලබා දුන්නේය.ඒ අනුව අද තරගයේදී මහේල ජයවර්ධන සුපුරුදු අංක 04 ස්‌ථානයේ හෝ අංක 5 ස්‌ථානය ක්‍රීඩා කොට උපුල් තරංග ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරනු ඇතැයි අපේක්‍ෂා කළ හැක. අද තරගයේ වැදගත් වන තවත් සාධකයක්‌ වන්නේ ප්‍රබල වේග පන්දු යවන්නන් පසුවන පාකිස්‌තානු කණ්‌ඩායම හමුවේ පළමු පන්දුවාර 10 හෝ 15 තුළදී කඩුලු ලබා නොදී ක්‍රීඩා කිරීම වේ. නව පන්දු දෙකක්‌ භාවිතයෙන් තරග කරන බැවින් ආරම්භක පිතිකරුවන් වැඩි වේලාවක්‌ කඩුල්ලේ රැඳී සිටීම අනිවාර්ය කටයුත්තකි.
පල්ලකැලේ තණතීරුවෙහි කාසියේ වාසිය තීරණාත්මකද යන්න පිළිබඳවද අදහස්‌ දක්‌වා සිටි මහේල ජයවර්ධන, 'මං හිතන්නේ මිස්‌බා වුණත් කරන්නේ කාසියේ වාසිය දිනුවනම් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන එක. විශේෂයෙන්ම විදුලි ආලෝක ධාරාවත් සමග රාත්‍රී කාලයේදී පන්දුවට පහර දෙන එක අභියෝගයක්‌. එම තත්ත්වය යටතේ ලකුණු 175 ක්‌ හෝ 200 ක්‌ හඹා යනවා කියන්නෙ අමාරු දෙයක්‌. නමුත් අපිට ලොකු ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගන්න නොහැකි වුණා. යම් විදියකින් අපි ලකුණු 190 ක්‌ පමණ ලබාගත්තා නම් ඒ තත්ත්වයන් යටතේ ඔවුන්ට ලකුණු ලබා ගැනීම අසීරු වන්නට තිබුණා' යනුවෙන් පැවැසීය.
'අපි බලන්න ඕන මේ තණතීරුවට කොහොම හරි හැඩගැහෙන්න. මේකෙ අපි ක්‍රීඩා කරපු නිසා දැන් අවබෝධයක්‌ තියෙනවා මොකද්ද කරන්න ඕන කියන එක. අපි බලනවා පාකිස්‌තාන කණ්‌ඩායමේ තර්ජන මොනවද අපි ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක.'
'මෙහිදී වැදගත් වන්නේ කිසියම් අවස්‌ථාවකදී අපිව අභියෝගයකට ලක්‌කළාම ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එය ඉතාමත් වැදගත්. පළමු තරගයේදී අපි ඒ අභියෝගවලට හොඳින් මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕන පාකිස්‌තානය වැනි හොඳ කණ්‌ඩායමක්‌ එක්‌ක ක්‍රීඩා කරද්දී ඒ අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න' යනුවෙන් මහේල වැඩිදුරටත් පවසා සිටියේය.

1 comment:

  1. නරකද මූලාස්‍ර ගැනත් සටහනක් තැබුවානම්. .. ඔබට ජය! ඒවාගෙම අද අපේ කන්ඩායමටත් ජය !!

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්